අගෝස්තු 24 වැනි දා

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ හෙලිකොප්ටර් යානා නොමිලේ භාවිත කිරිමට හිමිකම් ඇත්තේ ජනාධිපති, අගමැති හා ආරක්ෂක ඇමතිට පමණක් බව ආරක්ෂක රාජ්‍ය ඇමති රුවන් විජයවර්ධන ප්‍රකාශ කළේ ය.
ජනාධිපති ලේකම් කාර්යාලයේ ඉල්ලිම පරිදි ජනාධිපතිවරයාටත්, අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලයේ ඉල්ලිම මත අග්‍රාමාත්‍යවරයාටත්, ආරක්ෂක ලේකම්ගේ ඉල්ලිම මත ආරක්ෂක අමාත්‍යවරයාටත් ගුවන් හමුදාවේ හෙලිකොප්ටර් යානා නොමිලේ භාවිත කිරිමට හිමිකම් ඇති බව ඔහු කීවේ ය.
ඊට අමතර විදේශ අමාත්‍යාංශයේ ඉල්ලීම මත මෙරටට පැමිණෙන විදේශ රාජ්‍ය නායකයන්ගේ දේශිය ගුවන් ගමන් පහසුකම් නොමිලේ සපයන බවත්,නොමිලේ ගුවන් යානා පහසුකම් හිමි ඉහත රාජ්‍ය නායකයන්ට අමතර අනෙක් ඇමතිවරුන් ගුවන් යානා පහසුකම ලබා ගන්නේ නම් ඒ වෙනුවෙන් අමාත්‍යාංශය හෝ ආයතනය මුදල් ගෙවිය යුතු බව ද හෙතෙම ප්‍රකාශ කරන ලදී.
එක්සත් ජනතා නිදහස් සන්ධාන කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී උදය ප්‍රභාත් ගම්මන්පිල ඇසූ වාචික පිළිතුරු අපේක්ෂිත ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමතිවරයා මේ බව කීවේ ය.

මෙම වර්ෂයේ පළමු කාර්තුවේ රාජ්‍ය ආදායමට වඩා දෙවන කාර්තුවේ රාජ්‍ය ආදායම රුපියල් කෝටි 1424 කින් පහත බැස ඇතැයි 2017 වර්ෂයේ අය වැයෙහි අර්ධ වාර්ෂික මුල්‍ය කාර්ය සාධන වාර්තාවේ දැක්වේ.
2017 වර්ෂයේ පළමු කාර්තුවේ රාජ්‍ය ආදායම රුපියල් කෝටි 44525 ක් වන අතර දෙවන කාර්තුවේ රජයේ ආදායම රුපියල් කෝටි 43101 ක් දක්වා පහත බැස තිබෙන බව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ එම වාර්තාවේ තවදුරටත් සඳහන්වේ.
එසේම අමාත්‍යාංශ 51 ක් සඳහා 2017 වර්ෂය වෙනුවෙන් ලබා දුන් මුළු ප්‍රතිපාදනයන්ගෙන් 67.8% ක මුදලක් වැය කර ඇත්තේ ණය ගෙවිම වෙනුවෙන් බවද අර්ධ වාර්ෂික මුල්‍ය වාර්තාවේ වැඩිදුරටත් දැක්වේ. 
එම අමාත්‍යාශ සඳහා වෙන් කළ ප්‍රතිපාදනයන්ගෙන් 49.4% ක ප්‍රමාණයක් වියදම් කර නැති බවද කාර්ය සාධන වාර්තාවේ වැඩිදුරටත් සඳහන් කර ඇත. අමාත්‍යාංශය සඳහා වෙන් කළ මුළු ප්‍රතිපාදනයන්ගෙන් දෙවන කාර්තුවේදි වැඩිම මුදල් ප්‍රමාණයක් වියදම් කර ඇත්තේ විදුලි බල හා පුනර්ජනනීය අමාත්‍යාංශය වන අතර එය 70.4% කි.
2017 වර්ෂයේ දෙවන කාර්තුව වෙනුවෙන් වෙන් කළ මුදල් අතරින් අඩුම මුදලක් වියදම් කර ඇත්තේ ජාතික ඒකාබද්ධතා සහ ප්‍රතිසන්ධාන අමාත්‍යාංශය හා විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යාංශයය.
එය එම අමාත්‍යාංශයන් වෙනුවෙන් වෙන් කළ මුළු ප්‍රතිපාදනයෙන් 3.3 % ක් හා 3.9% ක් වශයෙනි.

පළාත් පාලන ආයතන ඡන්ද විමසිම් (සංශෝධන) පනත් කෙටුම්පත වෙනුවෙන් වන ඡන්ද විමසිම සැප්තැම්බර් මස 06 දා පැවැත්වෙන බව කතානායක කරු ජයසූරිය පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.
පළාත් පාලන ආයතන ඡන්ද විමසිමේ පනත් කෙටුම්පත 24 වැනි දා විවාදයට ගෙන ඡන්ද විමසිම සඳහා ලබන 06 දා ඉදිරිපත් කිරිමට ආණ්ඩු තිරණය කර ඇති බව තමන්ට දැනුම් දී ඇතැයිද ඔහු සඳහන් කළේය.
පාර්ලිමේන්තු කටයුතු ආරම්භයේදි කතානායක නිවේදන ප්‍රකාශයට පත් කරමින් ඔහු මේ නිවේදනය කළ අතර එම අවස්ථාවේ නැගි සිටි ඒකාබද්ධ විපක්ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන මෙසේද කී ය.
මෙම පනත් කෙටුම්පතට සංශෝධන 50 ක් ඉදිරිපත් කරලා තියෙනවා. එම සංශෝධන නිත්‍යානුකූල ද නැද්ද ස්ථාවර නියෝගවලට අනුකූලද නැද්ද කියන කාරණය අධ්‍යයනය කරන්න කාලය ඕනා. ස්ථාවර නියෝග අනුව මේ විවාදය දික් කරන්න.
සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල - සංශෝධන අද ඊයේ ආපුව නොවෙයි. 27 වතාවක් පකෂ නායකයෝ සමඟ නිලධාරින් කතා කරපුවා. මෙයාලා ඡන්දය ඉල්ලලා උසාවි යනවා. ඡන්දය තියන්න අපි සුදානම් වෙන කොට කල් දාන්න කියනවා. මේකට සම්මාදම් වෙන්න. මේ මල්වට්ටියට අත ගහන්න. පනත සම්මත කරලා ඡන්දේ තියන්න යනකොට බාධා කරනවා. ඇයි ඡන්දේ තියනවාට බය....
දිනේෂ් ගුණවර්ධන - අපි ඡන්දය තියනවාට බය නැහැ. පනත ඉදිරිපත් කරපු වෙලාවේ ප්‍රකාශ කළා මැතිවරණ කොමසාරිස් හදපු පනත විතරයි දාන්නේ කියලා. දැන් සංශෝධන 50 ක් ඉදිරිපත් කිරිම ගැටලූවක්. ඡන්දය තියන්න කියලා දිගටම සටන් කළේ විපක්ෂය. ඔබ දැන් මේ කරන්න හදන දේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට වගේම පාර්ලිමේන්තු ස්ථාවර නියෝගවලටත් පටහැනියි.
කතානායක - සැප්තැම්බර් 06 දා පනතට ඡන්ද විමසන්න කල් දිලා තියෙනවා. දැනට විවාදය ආරම්භ කරලා එදාට සංශෝධන ඉදිරිපත් කරමු.
විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක - මැතිවරණ කොමසාරිස් දැනුම් දිලා දුන්නේ පනත සම්මත කරලා දින 75 ක කාලයක් ඔවුන්ට ඕනේ කියලායි. සැප්තැම්බර් 15 දාට පෙර පනත සම්මත කරලා දෙන්න බැරිනම් සාමාන්‍ය පෙළ විභාගයට පෙර ඡන්දය තියන්න බැහැ කියලා ඔහු මේ සම්බන්ධයෙන් තිබුණු සාකච්ඡාවකදි කිව්වා. විවාදය ආරම්භ කරමු සංශෝධන සම්බන්ධයෙන් පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ නිලධාරින් සමඟ අදම සාකච්ඡා කරමු. පනත සම්මත කරන්න කල් ගියොත් ඡන්දයත් කල් යනවා. ඒක නිසා අපේ ස්ථාවරය පනත විවාදයට අරගෙන 25 වැනි දා ඡන්දය ගනිමු කියන එකයි.
ඩලස් අලහප්පෙරුම - මැතිවරණය නැතුව දැන් අවුරුදු 2 යි මාස 3 ක් ගත වෙලා තියෙනවා. මැතිවරණය කල් දමන්න අපි සිහිනයෙන්වත් හිතලා නැහැ. ඒ චෝදනාව ඉල්ලා අස්කර ගන්න කියලා අපි සභානායකතුමාට කියනවා. මැතිවරණ කොමසාරිස් පක්ෂ නායකයන්ට ලිපියක් එවලා තියෙනවා අළුත් ඡන්ද ක්‍රමයක් නිසා දින 75 ක් ගත වන බැවින් ලබන 15 දා ට පෙර පනත සම්මත කරලා දෙන්න කියලායි. සංශෝධන 50 ක් තියන නිසා ලබන සතියේ අගහරුවාදා මේ විවාදය අරගෙන ඉවර කරමු. අපට තියෙන්නේ අධ්‍යයනය කරන්න විනාඩි 30 යි.
සභානායක – ඡන්දේ කල් ගියේ අපේ වැරැද්දෙන් නොවෙයි. පහුගිය ආණ්ඩුව කාලේ කොට්ඨාශ නිර්ණය කෙරුවේ ඇමති කෙනෙකුගේ ගෙවල්වල ඉදලයි.
වාසුදේව නානයක්කාර - අපි ආවේ මැතිවරණ කොමිසමේ යෝජනා අනුව කටයුතු කරන්නයි. නමුත් අද ඊනියා සංශෝධන ගෙනල්ල ආණ්ඩුව මේක අවුල් කරලා.
කතානායක – අපි පක්ෂ නායක රැස්විමේදි මේ ගැන අවසන් තින්දුවක් ගනිමු.

සෞඛ්‍ය, පෝෂණ හා දේශිය වෛද්‍ය ඇමති රාජිත සේනාරත්නට එරෙහි ඒකාබද්ධ විපක්ෂය චෝදනා 11 ක් යටතේ විශ්වාසභංග යෝජනාවක් පාර්ලිමේන්තු මහලේකම්වරයාට භාර දුන්නේය. 
මෙම විශ්වාසභංග යෝජනාව ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් 11 දෙනෙකුගේ අත්සනින් යුතුව බාර දී තිබේ.
ඒකාබද්ධ විපක්ය බාරදුන් විශ්වාසභංග යෝජනාව හැකි ඉක්මණින් විවාදයට ගන්නා ලෙස කතානායකවරයාගෙන් ඉල්ලා සිටි බව ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රී රංජිත් සොයිසා මාධ්‍ය හමුවේ ප්‍රකාශ කළේය.
ජනතා විමුක්ති පෙරමුණේ සහ ආණ්ඩුව තුළ සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් ද රාජිත සේනාරත්න ඇමතිවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්දය දෙනු ඇතැයි තමා විශ්වාස කරන බවද මන්ත්‍රීවරයා කීවේය.
විශ්වාසභංග යෝජනාවට ඇතුළත් චෝදනා මෙසේ ය.
1.    පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු විවිධ පාර්ශව විසින් රාජිත සේනාරත්න මහතාට එරෙහිව අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිෂන් සභාවට ඉදිරිපත් කර ඇති බරපතල වංචා සහ දුෂණ පිළිබඳ විමර්ශනයන්ට සහභාගී නොවීමෙන් යුක්තිය ඉටු කිරිමේ අවස්ථා අවුරා දමා ඇති හෙයින්ද
2.    එතුමා විසින් එකී විමර්ශනයන්ට මුහුණ දී සිය ප්‍රතිරූපය රැක ගනු වෙනුවට එකී විමර්ශනයන් මගහැරිම හේතුවෙන් එකී චෝදනාවන්ට ඔහු වැරදිකරු බවට ප්‍රබල සමාජ මතයක් ගොඩ නැගී ඇති හෙයින්ද
3.    ශ්‍රී ලාංකික වෛද්‍ය අධ්‍යාපනය වාණිජ අරමුණු පෙර දැරිගත් ව්‍යාපාරික ප්‍රජාවට බිලි දිම සඳහා රාජ්‍ය බලය අත්තනෝමතික ලෙස උපයෝගි කර ගනිමින් ශ්‍රී ලාංකික වෛද්‍ය අධ්‍යාපනය තුල බරපතල අර්බුදයක් නිර්මාණය කළ හෙයින්ද
4.    නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවරාගත් බවට ඇමති මණ්ඩලයත් සමස්ත ජාතියත් නොමඟ යවමින් එකී පෞද්ගලික හිමිකාරත්වයක් ඇති රෝහල මහජන මුදලින් නඩත්තු කිරිමට කටයුතු කර මහජන මුදල් අවභාවිතා කර ඇති හෙයින්ද 
5.    අභියාචනාධිකරනයේ දි විභාග වුණු සිඒ රිට් 87/2016 නඩුවේදි සෞඛ්‍ය ඇමතිවරයා ලෙස අධිකරණයට ඉදිරිපත් කළ යුතු කරුණු ඉදිරිපත් නොකරමින් ද නීතිපතිවරයා හරහා සයිටම් ආයතනයට පක්ෂග්‍රාහිව කරුණු දැක්වීමෙන් ද සෞඛ්‍ය අමාත්‍යධූරයේ බලය අයුතු ලෙස යොදා ඇති හෙයින්ද
6.    ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විසින් සකස් කළ වෛද්‍ය අධ්‍යාපනයේ අවම ප්‍රමිතින් ගැසට් මගින් ප්‍රසිද්ධ කිරිම උවමනාවෙන්ම මඟ හැරිමෙන් ශ්‍රී ලංකා වෛද්‍ය අධ්‍යාපනයේ ප්‍රමිතිය පිළිබඳ බරපතල අර්බුදයක් බිහි කළ හෙයින්ද
7.    ඩෙංගු වසංගත රෝගී තත්ත්වයක් ඇතිවුණු විට එයට ක්ෂණික පිළියම් යෙදීමට අසමත් වීමෙන් ද රජයේ රෝහල්වලට ඩෙංගු රෝගින් ඇතුළත් කර ගැනීම ප්‍රතික්ෂේප කිරිමෙන්ද ජනාතවගේ ජිවත්විමේ පරම අයිතිය බරපතල ලෙස අවදානමකට ලක් කළ හෙයින්ද
8.    පියයුරු පිලිකා රෝගය සඳහා අවශ්‍ය කරන ඖෂධ මිල දි ගැනිමට රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව විසින් ටෙන්ඩර් කැදවූ අවස්ථාවේ පිලිකා රෝගය පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන් විසින් ප්‍රතික්ෂේප කළාවූ ද මිළදි ගැනිමට පෙර භාවිතයේ පැවැතිය යුතු අවම වසර ගණන සම්පූර්ණ නොකළ වූද ඔඣීෂධයක් ඉදිරිපත් කළ විෂයභාර අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ ඉතාම සමිප හිතවතෙකු වන ඔහු විසින් එකී සංස්ථාවේ ක්‍රියාකාරි අධ්‍යක්ෂ තනතුරට පත් කළ රූමි මෙහොමඩ් මහතා යන අයගේ  ඥාති සහෝදරයෙකු වන ඩිල්ෂාඩ් මෙහොමඩ් ඉක්‍රම් මොහොමඩ් මහතා යන අයත් මෑතක ලියාපදිංචි කළ ෆාමේස් පෞද්ගලික සමාගමෙන් මිළදි ගැනිමට අයුතු ලෙස බලපෑම් කිරිමෙන්ද රුපියල් මිලියන 986 ක් වටිනා ඖෂධ එකී සමාගමෙන් මිලදි ගැනිමෙන්ද ශ්‍රී ලංකා ආණ්ඩුවට මුල්‍ය අලාභයක් ද දුෂණයක්ද සිදුකර ඇති හෙයින්ද
9.    ධිවර ඇමති ලෙස කටයුතු කළ සමයේදි මෝදර ධිවර වරාය ටෙන්ඩර් පටිපාටියෙන් බැහැරව ඉතාම අඩු මිලකට පෞද්ගලික ආයතනයකට ලබා දිමෙන් රජයට දැවැන්ත මුල්‍ය පාඩුවක් සහ වංචාවක් සිදු කර ඇති හෙයින්ද
10.    ධිවර ඇමති ලෙස කටයුතු කළ සමයේදි බ්ලූ ඕෂන් ෆිෂරීස් නම් චින සමාගමට ගැඹුරු මුහුදේ මසුන් ඇල්ලීම සඳහා බලපත්‍ර නිකුත් කිරිමේ කොන්දේසියක් ලෙස ලාභයෙන් කොටසක් ලබා දෙන මෙන් නියම කිරිමෙන් ද තමන්ගේ ලේකම්වරයෙකු වන ෙදාන් ලලිත් අනුරාධ සෙනවිරත්න මහතා එම සමාගමේ අධ්‍යක්ෂවරයෙකු ලෙස පත් කර ගැනිමෙන්ද ඇමතිවරයයෙකු ලෙස අල්ලස ගැනිමේ වරද මෙන්ම බලය අයුතු ලෙස භාවිතා කිරිම ද සිදුකර ඇති හෙයිද්
11.    නඩු පැවරිම් සහ විභාග කිරිම් සම්බන්ධයෙන් අධිකරණයට සහ නිතිපති දෙපාර්තමේන්තුවට බලපෑම් සහ තර්ජනය කිරිමෙන් අධිකරණයේ ස්වාධිනත්වය කෙලසා ඇති හෙයින් ද
සෞඛ්‍ය පෝෂණ හා දේශිය වෛද්‍ය ගරු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පිළිබඳ විශ්වාසනීයත්වය සම්පුර්ණයෙන්ම නොමැති බැවින් තව දුරටත් සෞඛ්‍ය පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍යවරයා විසින් එම ධූරයේ කටයුතු කිරිමේ හැකියාව පිළිබඳ විශ්වාසය භංග වී ඇති බවට මෙම පාර්ලිමේන්තුව යෝජනා සම්මත කර සිටියි.

පළාත් පාලන ඡන්ද විමසිම් (සංශෝධන) පනත් කෙටුම්පත තුළින් සිය ජනතාවට ගැටළු රැසක් මතුව ඇති බැවින් හෘද සාක්ෂියට එකඟ ව පක්ෂය ඡන්දය දිය නොහැකි බව මුස්ලිම් ඇමතිවරුන් දෙදෙනෙකු ප්‍රකාශ කරති.
මුස්ලිම් කොංග්‍රසයේ නායක හා ජල සම්පාදන හා ජලාපවාහන ඇමති රාවුෆ් හකිම් ප්‍රකාශ කළේ තමන්ට ඡන්දය දිමෙන් වැලකී සිටිමට සිදුවන බව ය. සමස්තලංකා මහජන කොංග්‍රසයේ නායක කර්මාන්ත හා වාණිජ කටයුතු ඇමති රිෂාඩ් බදියුධින් කිවේ අකමැත්තෙන්වුවත් තමන්ට පනතට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කිරිමට සිදුවන බවය.
පළාත් පාලන ඡන්ද විමසිම් (සංශෝධන) පනත් කෙටුම්පත පිළිබඳ විවාදයට එක් වෙමින් ඔවුන් මේ බව කී හ.
පනත් කෙටුම්පත අනුව ඡන්ද විමසිමේදි තම බල ප්‍රදේශවල මුස්ලිම් ජනතාවට බලවත් අසාධාරණයක් බවත් කොට්ඨාශ නිර්ණය කිරිමේදි තම ජනතාවගේ නියෝජිතයන්ට පළාත්පාලන ආයතනයට පත්විය නොහැකි ලෙස විෂමතාවයන් වන බවද ඇමතිවරු ප්‍රකාශ කළහ.
මේ සම්බන්ධයෙන් තමන් අගමැතිවරයා සමඟ සාකච්ඡා කළ බව කී රිෂාඩ් බදියුධින් ඇමතිවරයා ඔහු මෙය විසදන බවට පොරොන්දුවක් ලබා දුන් බව ද කීවේය. ඇමතිවරයා මෙය විසදන බවට පොරොන්දුවක් දෙනු ඇතැයි අපේක්ෂා කරන බවද ඔහු පැවසීය.

වැඩිදුර තොරතුරු යවන්න

ඔබේ අදහස දක්වන්න