ඖෂධ හිඟයක් නෑ..

රෝහල්වල ඖෂධ හිඟයක් නොවන සෞඛ්‍ය අමාත්‍යාංශය අවධාරණය කරයි. 

කොළඹ ජාතික රෝහල ඇතුළු සමස්ත රෝහල් පද්ධතිය තුළ දැඩි ඖෂධ හිඟයක් වන බවටත්, උතුරුමැද පළාතේ ග්‍රාමීය රෝහල් වැසී යාමේ අවදානමක් ඇති බවටත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මාධ්‍ය වෙත කර ඇති ප්‍රකාශ සම්පූර්ණයෙන් ම අසත්‍ය බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය 12 වැනි දා නිවේදනය කර තිබේ.

කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහගේ අත්සනින් නිකුත් කළ නිවේදනයක සඳහන් වන්නේ එම රෝහලේ ඖෂධ හිඟයක් නොමැති බවයි. රෝගීන්ට අභන්තර සහ බාහිර වශයෙන් ලබාදෙන ඖෂධ අඛණ්ඩ ව ලබාදෙන බව ද එහි වැඩිදුරටත් සඳහන් ය.

උතුරු මැද පළාතේ වැලිකන්ද, කහටගස්දිගිලිය, ගලෙන්බිඳුණුවැව, කැබිතිගොල්ලෑව වැනි රෝහල් වැසී යාමේ අවදානමක් වෙතැයි සංගමය කර ඇති ප්‍රකාශය උතුරු මැද පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ඩබ්.එම් පාලිත බණ්ඩාර ප්‍රතික්ෂේප කරයි. අදාල රෝහල් වැසී යාමේ තර්ජනයක් කිසිලෙසකින් නොව බවත්, රෝගී සත්කාරක සේවා නිසි පරිදි සිදු කෙරෙන බවත්, උතුරු මැද පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා අවධාරණය කර ඇත.

සමස්ත රෝහල් පද්ධතිය තුළ කිසිදු ඖෂධ හිඟයක් නොමැති අතර, ඖෂධ හිඟය මගහැරවීම සදහා මෘදුකාංගයක් ද හඳුන්වා දී ඇත. ඒ අනුව කිසියම් රෝහලක ඖෂධ හිඟයක් පවතී නම් ළඟම පිහිටි රෝහලෙන් එම හිඟ ඖෂධ ලබාගැනීමට රෝහල් බලධාරීන්ට අවසර ලබා දී තිබේ.  වෛද්‍ය සැපයීම් අංශය රෝහල්වලට අවශ්‍ය ඖෂධ අඛණ්ඩ ව ලබාදෙන අතර,  කිසිම ඖෂධ හිඟයක් වාර්තා නොවන බව ද  වාර්තා වේ.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මෙවැනි අසත්‍ය ප්‍රචාර වරින් වර නිකුත්කිරීමෙන් ජනතාව තුළ වැරදි මත ඇතිවීමේ අවදානමක් වන හෙයින් එවැනි අසත්‍ය ප්‍රචාරවලට නොරැවටෙන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය ජනතාවගෙන් ඉල්ලා සිටියි. 

පසිඳු නිර්මාල් ගුණතිලක
වැඩිදුර තොරතුරු යවන්න

ඔබේ අදහස දක්වන්න