ජනාධිපති රන් කුසලාන වොලිබෝල්

ජනාධිපති රන් කුසලාන වොලිබෝල් තරගාවලිය සාර්ථක ව නිම වේ.

දක්ෂ වොලිබෝල් ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් සංචිතගත කර ජාත්‍යන්තරයට ගෙන යාම එහි අරමුණින් 12 වැනි වරටත් මෙවර එය සංවිධාන කර තිබිණ.

සමාප්ති උළෙල ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේනගේ ප‍්‍රධානත්වයෙන් 18 වැනි දා පස්වරුවේ කොළඹ සුගතදාස ගෘහස්ථ ක‍්‍රීඩාංගණයේ දී පැවැත්විණි. මෙවර තරගාවලිය විවෘත අංශයේ පිරිමි/ කාන්තා සහ වයස අවුරුදු 22 න් පහළ පිරිමි/කාන්තා ලෙස කාණ්ඩ 04 ක් යටතේ පැවැත්විණ.

විවෘත අංශයේ පිරිමි සූරතාව කටාන ඒකාබද්ධ ක‍්‍රීඩා සමාජයට සහ කාන්තා සූරතාව කොස්වාඩිය විජය ක‍්‍රීඩා සමාජයට හිමි වූ අතර ඔවුන් සඳහා රුපියල් 150,000 බැගින් චෙක්පත්, රන් සම්මාන සහ සහතිකපත් ප‍්‍රදානය කෙරිණි.

වයස අවුරුදු 22 න් පහළ පිරිමි අංශයේ සූරතාව යුනයිටඩු ක‍්‍රීඩා සමාජයටත්, කාන්තා සූරතාව ගලිගමුව සිරි පැරකුම් ක‍්‍රීඩා සමාජයටත් හිමි වූ අතර ඔවුන් සඳහා රුපියල් 100,000 බැගින් වන චෙක්පත්, රන් සම්මාන හා සහතිකපත් ද ජනාධිපතිවරයා අතින් ප‍්‍රදානය කෙරිණ.

වසර 10 කට වැඩි කාලයක් වොලිබෝල් ක‍්‍රීඩාව වෙනුවෙන් අනුග‍්‍රාහක දායකත්වය සැපයූ ආයතන අගයමින් විශේෂ සම්මාන ප‍්‍රදානයක් ද එහි දී සිදු කෙරිණි.

දිවයින පුරා පිහිටි ග‍්‍රාම නිලධාරී වසම් 300 කට අධික සංඛ්‍යාවක් නියෝජනය කරමින් කණ්ඩායම් 2500 කට අයත් ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් 40,000 කට අධික පිරිසක් තරගාවලියට සහභාගී වූ හ.

ශ‍්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ සභාපති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය, උප සභාපතිනි රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප‍්‍රනාන්දුපුල්ලේ, පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක ප‍්‍රියන්ත, වොලිබෝල් සම්මේලනයේ ප‍්‍රධාන ලේකම් ඒ.එස්.නාලක ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක් වූ හ.

ඡායාරූප - https://www.facebook.com/lakdana/posts/1399887643473928

වරුණ සිරිනාග
වැඩිදුර තොරතුරු යවන්න

ඔබේ අදහස දක්වන්න