ඊ බලපත්

ආනයන අපනයන දෙපාර්තමේන්තුව සිය බලපත්‍ අන්තර්ජාලයෙන් ලබාදීමට පියවර ගනී.

ඒ අනුව,ඕනෑ ම තැනක සිට අන්තර්ජාලය හරහා අදාල අයදුම්පත්‍ යොමු කළ හැකි වේ.

අයදුම්පත ලැබීමත් සමග අයදුම්කරුගේ ජංගම දුරකතනයට කෙටි පණිවුඩයක් මගින් මුරපදයක් (Password) ලැබේ. එමගින් අන්තර්ජාලය හරහා සිය අයදුම්පත් ක්‍රියාත්මක වන ආකාරය අයදුම්කරුට දැන ගැනීමේ පහසුකම හිමි වනු ඇත.

ඊට සමගාමී ව ආනයන අපනයන දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය ජනගත කිරීම ද 22 වැනි දා සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍ය මලික් සමරවික්‍රම සහරාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණි.

මෙහි දී අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ -

රජයේ ඉදිරි සංවර්ධන ක්‍රියාවලිය කඩිනම් වීමත් සමග ආනයන අපනයන කටයුතු ශීඝ්‍රයෙන් ඉහළ යනවා. මෙම දෙපාර්තමේන්තුවේ සේවය අපේක්ෂා කරන්නන්ට කාලය වඩා වැදගත් වනවා. ඔවුන්ට අපහසුවෙන් තොරව කඩිනමින් හා විනිවිදභාවයෙන් යුතු සේවාවක් ලබා දීම අප අමාත්‍යාංශයේ අරමුණයි. අඩසියවසකටත් වඩා පැරණි මෙම දෙපාර්තමේන්තුව වර්තමානයට ගැලපෙන ලෙස යාවත්කාලීන කිරීම මේ අනුව සිදුවුණා..
මෙම ආයතනය සදහා දිනකට අයදුම්පත් 60-70ක් පමණ ලැබෙනවා. ඖෂධ, වාහන, විවිධ ආනයන අපනයන් ඊට ඇතුළත්. මෙහිදී මව්බිමේ ආරක්ෂාව, පාරිභෝගිකයන්ගේ ආරක්ෂාව, සෞඛ්‍ය
ආරක්ෂාව වැනි ඉතා සැලකිල්ලෙන් සොයා බැලිය යුතු අංශ පිළිබදව මෙම ආයතනයට විශාල වගකීමක් තිබෙනවා. එසේම රජයේ රෙගුලාසි අණපනත් ක්‍රියාත්මක කිරීමටත් ආනයන අපනයන
දෙපාර්තමේන්තුව බැදී සිටිනවා. ලාභ ඉපැයීම අරමුණු කර නොගත් දෙපාර්තමේන්තුවක් වුවත් මේ දෙපාර්තමේන්තුව රජයට විශාල ආදායමක් ලබා දෙනවා. පසුගිය වසරේ පමණක් රුපියල්
මිලියන 1487රජයට ලබා දීමට මෙම දෙපාර්තමේන්තුවට හැකි වුණා..
ආනයන අපනයන දෙපාර්තමේන්තුව සාමාන්‍ය ජනතාව අතරට නොගියත් රටේ ජන ජීවිතයට මෙන්ම ආර්ථික ශක්තියට සෘජුවම බලපාන දෙපාර්තමේන්තුවක්. විවිධ භාණ්ඩ 800-1000 පමණ
ප්‍රමාණයකට ආනයන අපනයන බලපත්‍ර ලබා දීම මෙම ආයතන මගින් සිදු කෙරෙනවා. බලපත්‍ර ලබා දීමේ දී අදාල අනෙකුත් ආයතන හා සම්බන්ධ වෙමින් නිර්දේශ ලබා ගැනීම ද මෙම දෙපාර්තමේන්තුවට පැවරෙන වගකීමක්..

නව ක්‍රමවේදයත් සමග මෙම ආයතනය බහුවිධ සේවා කවුළුවක් ලෙසත්, තොරතුරු පනත හමුවේ තොරතුරු දැනගැනීමේ හැකියාව ඇති ආයතනයක් ලෙසත් ඉදිරියේදී ක්‍රියාත්මක වීමට නියමිතයි.

මෙම අවස්ථාවට සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍යාංශයේ ලේකම් චාන්දනී විජේවර්ධන, රාජ්‍ය ලේකම් චින්තක ලොකුහෙට්ටි,සන්නිවේදන හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යාංශයේ ලේකම් වසන්ත දේශප්‍රිය, ආනයන අපනයන පාලක ජනරාල් දමයන්ති කරණාරත්න සහභාගී වූ හ.

ඡායාරූප - https://www.facebook.com/lakdana/posts/1432497123546313

අමිල වනිගසේකර
වැඩිදුර තොරතුරු යවන්න

ඔබේ අදහස දක්වන්න