පවුල් ආර්ථික ඒකකය

පවුලේ ආර්ථිකය පිළිබඳ සොයා බලා විසඳුම් ලබාදීමට නව ඒකකයක් පිහිට වූ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසයි.

එමගින් පවුලේ ආර්ථිකයේ ඇති වියදම, ආදායම, එය රටේ ආර්ථිකයට කරන බලපෑම හා රටේ ආර්ථිකය පවුලේ ආර්ථිකයට බලපාන්නේ කෙසේ ද වැනි කරුණු පිළිබඳ සොයා බලන බව 08 වැනි දා අරලියගහ මන්දිරයේ පැවති සාකච්ඡාවක දී හෙතෙම සඳහන් කළේ ය.

ඒ පවුල් ආර්ථික ඒකකය පිහිටුවීමෙන් අනතුරුව එහි ප්‍රථම සාකච්ඡාව අවසානයේ මාධ්‍යයට විශේෂ ප්‍රකාශයක් සිදු කරමිනි.

අගමැතිවරයා තවදුරටත් -
ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යංශය යටතේ අලූත් ඒකකයක් ආරම්භ කරනු ලැබුවා. ඒ තමයි පවුල් ආර්ථික ඒකකය. ජාතික ආර්ථිකය පිළිබඳ තොරතුරු අප සතුව තිබෙනවා. එසේම ඒවා ක්‍රියාත්මක කරනවා. නමුත් ගෙදර ආර්ථිකය පිළිබඳ තොරතුර අප ලබාගත යුතු වෙනවා. ජීවන වියදම සලකා බැලීමේදී විශේෂයෙන්ම අපේ අවධානය යොමු වූයේ අත්‍යවශ්‍ය ආහාර පිළිබඳවයි.
නමුත් අද ගෙවල්වල අත්‍යවශ්‍ය ආහාර පමණක් නොව අනෙකුත් බොහෝ වියදම් දැරීමට සිදුවෙනවා. ගමනාගමනය, ඇඳුම් පැලඳුම්, ටියුෂන් ගාස්තු, දුරකතන ගාස්තු, නිවාස කුලී, පෙර පාසල් ගාස්තු ආදී වියදම් ගණනාවක් තිබෙනවා. සමහර පවුල්වල ආහාර පාන වියදමට වඩා මෙවැනි අංශවල වියදම ඉහළයි. ඒ නිසා පවුලේ ආර්ථිකයක තිබෙන වියදම කොපමණද? ආදායම කොපමණද? එය රටේ ආර්ථිකයට බලපාන්නේ කොහොමද? ඒ වගේම රටේ ආර්ථිකය පවුලේ ආර්ථිකයට බලපාන්නේ කොහොමද? ආදී වශයෙන් සොයා බැලීමට මෙම අලූත් ඒකකය කටයුතු කරනවා. ඊට සම්බන්ධ පාර්ශවයන්ගේ පළමු රැස්වීම අපි අද පැවැත්වූවා.
මේ රටේ ජනතාවට ජීවත්වීමට හැකි දියුණු ආර්ථිකයක් අපි සකස් කළා. ඒ වෙනුවෙන් සහන ලබාදුන්නා. ඒ වගේම අපි ඒ පිළිබඳව යලි සලකා බලනවා. ඒ අනුව මුදල් තියෙන ආකාරයට අනුව රජය ක්‍රියා කරනවා. මේ කර්තව්‍ය සඳහා පවුල් ආර්ථික ඒකකය නමැති අලූත් ඒකකය ඉතා වැදගත් වෙනවා.

මෙම අවස්ථාවට මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න, ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා, අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක, ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු පිළිබඳ අමාත්‍යංශයේ ලේකම් කේ.ඩි.එස්. රුවන් චන්ද්‍ර, ජනමාධ්‍ය හා මුදල් අමාත්‍යංශයේ ලේකම් ආචාර්ය ආර්.එච්.එච් සමරතුංග ඇතුළු නිලධාරීන් රැසක් සහභාගී වී සිටිය හ.

ඡායාරූප - https://www.facebook.com/lakdana/posts/1447850775344281

පසිඳු නිර්මාල් ගුණතිලක
වැඩිදුර තොරතුරු යවන්න

ඔබේ අදහස දක්වන්න