ලංකාව අයිටී පාරාදීසයක්

විද්‍යා හා තාක්ෂණ ව්‍යාපාරික

තොරතුරු තාක්‍ෂණ ක්ෂේත්‍රය සඳහා නෝර්වීජියානු ආයෝජකයන්ගේ කාර්යයන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ඇගයීමට ලක් වේ.

අදාල නිපුණයින් ශ්‍රී ලංකාවෙන් ම බිහිකිරීම උදෙසා රජය හා පුද්ගලික අංශ එක් ව පොදු සැලසුමක් ක්‍රියාත්මක කළ යුතු බව ඔහු පැවසී ය.

අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේ නෝර්වේ – ශ්‍රී ලංකා ව්‍යාපාරික ප්‍රජාව සමඟ 05 වැනි දා පස්වරුවේ නෝර්වේ හි ඔස්ලෝ නුවර, පයර්එක්ස් හෝටලයේ පැවති විශේෂ සාකච්ඡාවකට එක්වෙමිනි.

දැනට ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක නොර්වීජියානු තොරතුරු තාක්‍ෂණ හා මෘදුකාංග නිර්මාණ ආයතන හා නෝර්වේ ඇතුළු ලෝකයේ බොහෝ රටවලට තොරතුරු තාක්‍ෂණ පහසුකම් සපයන ශ්‍රී ලාංකේය ආයතන මුහුණ දෙන ප්‍රධානතම ගැටළුව වන්නේ මිනිස් සම්පත් ඌනතාව යැයි අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කරයි.

එබැවින් අදාල ක්ෂේත්‍රයන්ට අවශ්‍ය උපාධිධාරීන් හා නිපුණයන් බිහිකිරීමට අවශ්‍ය අධ්‍යාපනික ආයතන අරඹන්නැයි හෙතෙම එරට ආයෝකයන්ට ආරාධනා කළ අතර, එසේ බඳවාගන්නා සිසුන්ට අවශ්‍ය සියළු මුල්‍යාධාර ලබාදීමට රජය සූදානම් බව
අවධාරණය කරන ලදී.

ඊට අමතර,ධීවර කර්මාන්තය, කෘෂි හා ධීවර නිෂ්පාදන ගබඩා ආදී අංශයන් හි ආයෝජන සඳහා එක්වන්නැයි ඔහු
නෝර්වේ ව්‍යාපාරිකයන්ට ආරාධනා කළේ ය.

එහි දී අදහස් දැක්වූ ස්ලැස්කොම් ආයතනයේ සභාපති ජීවන් ඥානම්,දෙරට අතර තොරතුරු තාක්‍ෂණ‍ ක්ෂේත්‍ර‍යේ දැවැන්ත කාර්යය භාරයක් සිය සමාගම සිදු කරන බවත්, එම ක්ෂේත්‍රය සඳහා ලංකාවේ බෙහෝ අවකාශ පවතින බවත් පෙන්වා දෙන ලදී.

ඔහු වැඩිදුරටත් පැවසුවේ දෙරට ම කුඩා රටවල් බැවින්, සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයන් දිරිමත් කිරීම ඉතා වැදගත් වන බවයි.

මේ අතර,ශ්‍රී ලංකාව ද්විත්ව පුරවැසිභාවය, සන්නිවේදන පහසුව හා ආයෝජන කෙරෙහි අවධානය යොමු කළ යුතු බවත්,සමාජ ව්‍යවසායකත්වය සඳහා ප්‍රමුඛතාව ලබාදීමේ සහ තවදුරටත් යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ අවශ්‍යතාවත් එම්බ්ලා (Emble) ආයතනයේ සභාපති ස්ටෙයින් ඉන්ග් හලන්ඩ් අවධාරණය කළේ ය.

එහිදී අදහස් දැක්වූ ටික්රි ආයතනයේ සභාපති ෆින් වෝර්ම් පීටර්සන් කියා සිටියේ පෞද්ගලික සමාගම් හා සෙසු කණ්ඩායම් එක් ව රාජ්‍ය හා පෞද්ගලික විශ්වවිද්‍යාල අතර ඇති හිඩැස පිරවීමට අවශ්‍ය වැඩසටහන් ක්‍රියාත්මක කළ යුතු බවයි.

ධාරිතාව ප්‍රමාණවත් නොවීමේ ගැටළුව විසඳීම සඳහා පෞද්ගලික අංශය හා අධ්‍යාපන පද්ධතිය අතර මනා සම්බන්ධතාවක් ගොඩනැගීමේ අවශ්‍යතාවයත්, මෘදුකාංග නිර්මාණය වැනි විෂයයන් අධ්‍යාපන පද්ධතියට අලුතින් හඳුන්වාදීම සිදු කළ යුතු බවත් අයිකේටී නෝර්වේ (IKT Norge) ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී හෙයිඩි ඔස්ටින් පැවසී ය.

99 එක්ස් ටෙක්නොලොජි ආයතනයේ සභාපති ඩැග් හොනිංන්ස්,ශ්‍රී ලංකාව යනු ඉතා ආදරණීය රටක් බවත්, තමා වසර 03 කට පෙර ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීම පිළිබඳ ඉතා සතුටට පත් වන බවත් පවසයි. තමා සිදු කළ හොඳ ම ආයෝජනය එය බව පෙන්වා දුන් හෙතෙම, ව්‍යවසායකත්වය වැඩිදියුණු කිරීම සඳහා ශ්‍රී ලංකාවේ තරුණ කණ්ඩායම් තවදුරටත් නව්‍යකරණය කෙරෙහි යොමු කළ යුතු පෙන්වා දේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ සහ කාවින්ද ජයවර්ධන, අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක, නෝර්වේ හි ශ්‍රී ලංකා තානාපතිනී මහාචාර්ය අරූෂා කුරේ, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් සමන් අතාවුදහෙට්ටි, විශේෂ සහායිකා සැන්ඩ්‍රා පෙරේරා ඇතුළු ශ්‍රී ලංකා නියෝජිත පිරිස මේ අවස්ථාවට එක් වූ හ.

RSS
Follow by Email
Facebook
Google+
https://lakdana.lk/2018/10/08/1184/
Twitter

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *