72 වන නිදහස් සැමරුම: ජනාධිපති ගෝඨාභයගේ කතාවේ කරුණු 11ක්

0
74

72 වන නිදහස් සැමරුම වෙනුවෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් නිදහස් සැමරුම් උත්සවය අගහරුවාදා (පෙබ: 04) පෙරවරුවේ කොළඹ නිදහස් චතුරශ්‍රයේදී පැවැත්විණි.

මෙහිදී පැවති ආරක්ෂක හමුදා ආචාර පෙළපාළියට සියලු ආරක්ෂක අංශ නියෝජනය කරමින් ආරක්ෂක භටයින් 7267 දෙනෙකු සහභාගි වූ බව යුද්ධ හමුදා මාධ්‍ය අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ පවසයි.

නිදහස් සැමරුම් උත්සවයේදී මෙවර පැරෂුට් භට සංදර්ශනය දක්නට නොලැබිණි.

මෙම උත්සවයට හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග සහභාගි වී සිටිය ද, හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන දක්නට නොවීය.

ජනාධිපති ධූරයට පත්වීමෙන් පසු නිදහස් සැමරුම් උත්සවය වෙනුවෙන් සිය පළමු කතාව කළ ගෝඨාභය රාජපක්ෂ ප්‍රධාන කරුණු 11ක් සම්බන්ධයෙන් සිය අරමුණු පැහැදිලි කළේය.

එම කරුණු 11 සම්බන්ධයෙන් ඔහු පළ කළ අදහස් පහත දැක්වේ.

1. මූලික මිනිස් අයිතිවාසිකම් ආරක්ෂා කිරීම

“ශ‍්‍රී ලංකාව තුළ ජීවත් වන සෑම පුරවැසියෙකුට ම නිදහස්ව, සුරක්ෂිතව ජීවත් වීමේ අයිතිය තිබෙන” බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිය කතාව ආරම්භ කරමින් පැවසීය.

“ශ‍්‍රී ලංකාව තුළ ජීවත් වන සෑම පුරවැසියෙකුට ම නිදහස්ව, සුරක්ෂිතව ජීවත් වීමේ අයිතිය තිබෙනවා. ඔවුන්ගේ නිදහසේ සිතීමේ අයිතිය, ස්වාධීන මතයක් දැරීමේ අයිතිය මෙන් ම අදහස් ප‍්‍රකාශ කිරීමේ අයිතිය අපි හැමවිට ම තහවුරු කරනවා. සෑම පුරවැසියෙකුට ම තමන් කැමති ආගමක් ඇදහීමට ඇති අයිතියට අපි හැමවිට ම ගරු කරනවා. තම හිතමිතුරන් තෝරා ගැනීමට මෙන් ම සාමකාමීව ඒකරාශී වීමටත් සෑම පුරවැසියෙකුට ම අයිතිය තිබෙනවා. මේ සියල්ල ම කිසිවෙකුට අභියෝග කළ නොහැකි මිනිස් අයිතිවාසිකම් ලෙස අපි සලකනවා.”

2. විධායකය, ව්‍යවස්ථාදායකය හා අධිකරණය අතර බල තුලනය කිරීම

ඔහු පැවසුවේ, ප්‍රජාතන්ත්‍රවාදය නිසියාකාරව ක්‍රියාත්මක කිරීම සදහා “විධායකය, ව්‍යවස්ථාදායකය හා අධිකරණය අතර වූ බල තුලනය ඉතාමත් ම වැදගත් වන,” බවය.

බලය බෙදා හැරීමේදී මධ්‍යම රජයේ හා විමධ්‍යගත වගකීම් ගැන ඉතා නිරවුල් එකඟතාවක් තිබිය යුතු බව ජනාධිපතිවරයා සදහන් කළේය.

“සාමාන්‍ය ජනතාව හා ආරක්ෂක අංශ එකිනෙකාගේ වගකීම් වටහා ගත යුතු අතර, පුරවැසියන්ට පෞද්ගලික අයිතිවාසිකම් මෙන් ම සාමූහික අයිතිවාසිකම් ද ඇති බව අප මතක තබා ගත යුතුයි. රජය හා ජනතාව අතර සම්බන්ධීකරණයත් මෙහිදී සුවිශේෂී වෙනවා,” යනුවෙන් ඔහු පැවසීය.

3. “ජාති, ආගම්, පක්ෂ හෝ වෙනත් කිසිදු භේදයක් නැහැ”

“මහජන ඡන්දයෙන් තෝරා පත් කර ගැනුණ වත්මන් රාජ්‍ය නායකයා ලෙස, මගේ ධුර කාලය තුළ රටේ සියලු දෙනාගේ ම නායකයා ලෙස, රටේ ශුභසිද්ධිය වෙනුවෙන් උපරිම වශයෙන් කැපවී සේවය කරන්නට මම සූදානම්. ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටක නිසි ක‍්‍රමවේදයට අනුව රාජ්‍ය නායකයෙක් පත්වූවාට පසු, ඔහු මේ රටේ සියලු ජනතාවගේම ජනාධිපතිවරයා වෙනවා. තමුන්ගේ ධුර කාලය තුළ ඔහු සේවය කළ යුත්තේ සමස්ත ශ‍්‍රී ලාංකික ජනතාවටයි.”

“එක් ජන කොටසකට සේවය කරන දේශපාලන නායකයෙකු නොව සියලු ජනතාවගේ රාජ්‍ය නායකයා වශයෙන් සේවය කළ යුතුය යන දැක්ම මට තිබෙනවා. ජනාධිපතිවරයා ලෙස අද මා නියෝජනය කරන්නේ ජාති, ආගම්, පක්ෂ හෝ වෙනත් කිසිදු බේදයකින් තොරව සමස්ත ශ‍්‍රී ලාංකික ප‍්‍රජාවයි,” ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අවධාරණය කළේය.

4. ශක්තිමත් විධායකයක්, ව්‍යවස්ථාදායකයක් සහ ස්වාධීන අධිකරණයක්

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පෙන්වා දුන්නේ, “සෑම ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමාජයක ම යහපැවැත්ම හා ප‍්‍රගමනය සඳහා ශක්තිමත් විධායකයක්, ව්‍යවස්ථාදායකයක් හා ස්වාධීන අධිකරණයක් අවශ්‍ය වන” අතර “රටක පැවැත්ම සඳහා අත්‍යවශ්‍ය මෙම ප‍්‍රධාන ආයතන ගැන කුමන ආකාරයකින් හෝ ජනතා විශ්වාසය පළුදු වන්නේ නම් එය රටක අරාජිකත්වයක් ඇති වීමට හේතු වන” බවය.

මේ හේතුවෙන් අදාළ “සියලු පාර්ශවයන් තමන්ට ලබා දී ඇති බලතල රටේ ශුභසිද්ධියට මෙන් ම ජනතා පරමාධිපත්‍යය ආරක්ෂා කිරීම සඳහා ජාතික දැක්මක් තුළ සිය කාර්යභාරය ඉටු කළ යුතු,” බව ද ඔහු පෙන්වා දුන්නේය.

5. “යල් පැන ගිය නීති සංශෝධනය කළ යුතුයි”

රටේ ජනතාවගේ අවශ්‍යතා ක‍්‍රියාත්මක කිරීමට “කිසි ම බාධාවක් රාජ්‍ය නිලධාරීන්ගෙන් හෝ ව්‍යවස්ථාදායකයෙන් හෝ අධිකරණයෙන් මම බලාපොරොත්තු වෙන්නේ නැහැ. මා ඔබගේ නිදහසට ගරු කරනවා පමණක් නොව, එය වර්ධනය කර අර්ථවත් ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටක දේශපාලන හා ආර්ථික නිදහස තහවුරු කිරීමට කටයුතු කරනවා.” යනුවෙන් ගෝඨාභය රාජපක්ෂ පැවසීය.

ඔහු පැවසුවේ, “නිසි අධ්‍යයනයකින් හෝ සම්බන්ධීකරණයකින් තොරව පනවා ඇති නීතිරීති හා රෙගුලාසි නිසා අද ජනතාව විශාල හිරිහැර රාශියකට මුහුණ දී තිබෙනවා. මේ හරහා විවිධ අක‍්‍රමිකතා දූෂණවලටත් මග පෑදී තිබෙනවා. ජනතාවට අහිමි වන කාලය, සම්පත් හා ජීවනෝපාය අවස්ථා අධිකයි. මිනිසුන්ගේ එදිනෙදා ජීවිතයට බලපාන බොහෝ දේවල් සඳහා බලපත‍්‍රයක් ලබා ගැනීමේ අවශ්‍යතාවයන් අපි යළි විමසා බැලිය යුතුයි. වැරදි කරනා සුළු පිරිසට එරෙහිව කඩිනමින් නීතිය ක්‍රියාත්මක කිරීම විනා, බහුතරය මත අනවශ්‍ය සීමා පැනවීම අප නොකළ යුතුයි. නීතිගරුකව, විනයගරුකව, ගුණගරුකව ජීවත් වීම සඳහා සැබෑ නිදහසක් අපි ජනතාවට ලබා දිය යුතුයි,” යනුවෙනි.

“ජනතාවට නිදහසේ ස්වයං රැකියාවක්, පාරම්පරික කර්මාන්තයක්, ව්‍යාපාරයක් කර ගන්නට බාධා පමුණුවන යල් පැන ගිය නීතිරීති රෙගුලාසි, බදු හා ගාස්තු කඩිනමින් සංශෝධනය විය යුතුයි. ජනතාවගේ ජීවත්වීමේ අයිතිය තහවුරු කිරීම සඳහා ඔවුන් මත පනවා ඇති අනවශ්‍ය තහංචි ඉවත් කිරීමට අපි කටයුතු කරනවා.”

6. සෑම පුරවැසියෙකුටම සම අයිතිවාසිකම්

ශ්‍රී ලංකාව “බෞද්ධ දර්ශනයෙන් පෝෂණය වූ, සියලු ආගමිකයන්ට, සියලු ජාතිකයන්ට ක්ෂේම භූමියක් වූ රටක්. මගේ පාලන කාලය තුළදී ද, සෑම අයෙකුට ම තමන්ට කැමති ආගමක් ඇදහීමේ නිදහස මා තහවුරු කරන,” බව එහිදී ජනාධිපතිවරයා පැවසීය.

“බෞද්ධ දර්ශනය තුළ අපේ රාජ්‍ය පාලකයන්ට හැමවිට ම උපදෙස් ලැබුණේ නීතිය, යුක්තිය හා සාධාරණත්වය සහතික වන කිසිදු පුරවැසියෙකුට අගතියක් නොවන ධර්මානුකූල රාජ්‍ය පාලන තන්ත‍්‍රයක් සඳහායි. මගේ ධුර කාලය තුළත් මේ රටේ බෞද්ධ දර්ශනය ආරක්ෂා කොට පෝෂණය කිරීමට මම කැප වෙනවා.”

ජනතාවට සැබෑ නිදහස ලබා දීම සදහා සමාජ හා ආර්ථික විෂමතා අවම කළ යුතු බවත් ඒකීය රාජ්‍යයක් තුළ සෑම පුරවැසියෙකුට ම සම අයිතිවාසිකම් හිමි විය යුතු බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ප්‍රකාශ කළේය.

7. දරිද්‍රතාව තුරන් කිරීම

ගෝඨාභය රාජපක්ෂ ප්‍රකාශ කළේ, “ජන සමාජය තුළ විශාල ඇති නැති පරතරයක් තිබෙනවා. නාගරික ප‍්‍රදේශවල ඇති පහසුකම් ග්‍රාමීය ප‍්‍රදේශවල නැහැ. අධ්‍යාපන පහසුකම් සෑම ප‍්‍රදේශයකට ම සමාන නැහැ. සෞඛ්‍ය පහසුකම් සෑම ප‍්‍රදේශයකට ම සමාන නැහැ. රැකියා අවස්ථා සෑම ප‍්‍රදේශයකට ම ව්‍යාප්ත වී නැහැ,” යනුවෙනි.

මේ කිසිවක් වාර්ගික හෝ ආගමික හේතු මත බල පවත්නා තත්ත්වයන් නොවන අතර නිදහස තහවුරු කිරීමේදී මුලින් ම කළ යුත්තේ ජනතාවගේ ආර්ථික ගැටලු විසඳා දීම වන හෙයින් ජනතාවගේ දරිද්‍රතාව තුරන් කිරීම රජයේ ප‍්‍රමුඛතාවක් ලෙස සලකන බව ද ඔහු පැවසීය.

8. පිරිසුදු රාජ්‍ය සේවයක්

“කාර්යක්ෂම හා පිරිසිදු රාජ්‍ය සේවයක් රටක සංවර්ධනයට අත්‍යවශ්‍ය සාධකයක් වන” බව ගෝඨාභය රාජපක්ෂ සදහන් කළේය.

“ජනතාවට නිදහසේ උපරිම ප‍්‍රයෝජන ලබා දීමට නම් රාජ්‍ය පරිපාලනය නිසියාකාරව ක‍්‍රියාත්මක විය යුතුයි. මේ සඳහා සමස්ත රාජ්‍ය පරිපාලනය ම වගකීම භාර ගත යුතුයි.”

“ත‍්‍රස්තවාදීන්, අන්තවාදීන්, සොර සතුරන්, මැරවරයන්, කප්පම්කරුවන්, කාන්තා හා ළමා හිංසකයන් නිසා සාමාන්‍ය ජන ජීවිතයට බාධා පැමිණෙනවා නම් එතන ජනතාවට නිදහසක් නැහැ. ජාතික ආරක්ෂාව මෙන් ම ජනතාවගේ ආරක්ෂාව තහවුරු කරන්නටත් අපි විශේෂ අවධානයක් යොමු කොට තිබෙනවා.

ත‍්‍රස්තවාදයට මගපාදන අන්තවාදී සංවිධානවලට තවදුරටත් මේ රට තුළ ක‍්‍රියාත්මක වන්නට අපි ඉඩ දෙන්නේ නැහැ.”

9. මත්ද්‍රව්‍ය උවදුර තුරන් කිරීම

“රට පුරා පැතිරී තිබෙන මත්ද්‍රව්‍ය උවදුරෙන් දරුවන් මුදා ගන්නා තුරු මව්පියන්ට නිදහසක් නැහැ. රාජ්‍ය ආයතන තුළ දූෂණය, වංචාව තිබෙන තුරු මහ ජනතාවට නිදහසක් නැහැ.”

මේ හේතුවෙන් සියලු සමාජ උවදුරු තුරන් කිරීම සඳහා නීතිය තදින් ම ක‍්‍රියාත්මක කරන අතර, එම කටයුතු කාර්යක්ෂම කිරීම සඳහා අවශ්‍ය කරන ප‍්‍රතිසංස්කරණ ආරක්ෂක අංශ තුළ දැනටමත් ආරම්භ වී ඇතැයි ඔහු පැවසීය.

10. සිතීමේ සහ ලිවීමේ නිදහස තහවුරු කිරීම

“සිතීමට ඇති නිදහස සහ ලිවීමට ඇති නිදහස සම්පූර්ණයෙන් ම මා තහවුරු කරනවා. දාර්ශනිකයන් මෙන් ම උසස් කලා නිර්මාණ බිහිවන්නේ එවිටයි. මගේ රජය විරුද්ධ මත ඉවසන්නට සැමවිට ම සූදානම්. මාධ්‍යවලට අද සම්පූර්ණ නිදහස තිබෙනවා. සෑම අයෙකුට නිදහසේ අදහස් ප‍්‍රකාශ කිරීමේ අයිතිය අපි ලබා දී තිබෙනවා.”

කෙසේ වෙතත් ඔහු ප්‍රකාශ කළේ, “සමාජ මාධ්‍යයන් ප‍්‍රජාතන්ත‍්‍රවාදයට නව අභියෝග එල්ල කරනවා. අන්තර්ජාලයේ වැඩි කාලයක් ගත කරමින්, බොහෝ අවස්ථාවන්හිදී ආගන්තුකයන් සමග සම්බන්ධ වීමෙන් ඔවුන්ගේ අගතීන් අනුව වැරදි තොරතුරු ප‍්‍රචාරයන්ට නතු වී, තමන්ගේ මතයට වඩා වෙනස් මත දරන්නන් ගැන වැරදි මතයන්ට ක්ෂණිකවම පෙළඹීමට අවස්ථාව තිබෙනවා,” යනුවෙනි.

ඔහු එහිදී රට වැසියන්ගෙන් ඉල්ලීමක් ද කළේය. “ඔබේ හෘද සාක්ෂියට එකඟව ක‍්‍රියා කරන ලෙස අප සෑම අයෙකුගෙන් ම ඉල්ලා සිටිනවා. හැමවිට ම රට ගැන හිතන්න. අනෙකුත් සහෝදර රට වැසියන් ගැන හිතන්න. දේශපාලන අවශ්‍යතා ගැන පමණක් නොසිතා ඔබ කරන කියනා දේවලින් රටට සිදුවන්නේ යහපතක් ද අයහපතක් ද යන්න හොඳින් සිතා බලන්න. නමුත් රජය වැරදි මගක යනවා යැයි ඔබේ හෘද සාක්ෂියට අනුව පෙනී යන සෑමවිට ම එය නොබියව පෙන්වා දෙන්න.”

11. නීතියේ ආධිපත්‍යයට ගරු කිරීම

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සදහන් කළේ, “අපි නීතියේ ආධිපත්‍යයට හැමවිටම ගරු කළ යුතු,” බවය.

“ජනතාවට සැබෑ නිදහස ලැබෙන්නේ නීතිය සාධාරණව ක‍්‍රියාත්මක වන විටයි. නීතිමය කටයුතු වලට දේශපාලන අතගැසීම් කරනා සංස්කෘතිය වෙනස්කරන්නට මගේ රජය පියවර ගෙන තිබෙනවා,” යනුවෙන් ද ඔහු පැවසීය.

“අප ඉදිරියේ අභියෝග රැසක් තිබෙනවා. ඒවා ජයගන්නට රජය දරනා උත්සාහයට ඔබ සියලු දෙනාගේ ම සහය අවශ්‍යයි. මා ඔබ ඉදිරියේ තැබූ ප‍්‍රතිපත්ති මාලාව අද ඔබ මුහුණපාන අභියෝගවලට මුහුණ දිය හැකි ක‍්‍රියාදාමයක්. ඒ තුළින් සෞභාග්‍යමත් දේශයක් ඇති කිරීම අපගේ බලාපොරොත්තුවයි,” ඔහු අවසන් වශයෙන් පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here