කොරෝනා පාලනයට තීන්දු රැසක්

සෞඛ්‍යය

කොරෝනා වෛරසය පිළිබඳ ජාතික ක්‍රියාකාරි ආරක්ෂක කමිටුව හදිසියේ රැස්වෙයි.

කමිටුව සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා, කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චිගේ උපදෙස් පරිදි රැස්වූයේ 25 වැනි දා පස්වරුවේ කොළඹ සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී ය.

රැස්වීමට ප්‍රධාන හේතුව වූයේ කොරියාව, ඉතාලිය හා මැදපෙරදිග රටවල් කිහිපයක කොරෝනා වෛරසය ශීඝ්‍රයෙන් පැතිරයාමයි.

මෙම කමිටු රැස්වීමේ දී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ විසින් ලෝකයේ මේ වනවිට කොරෝනා වෛරසය පැතිරයාමේ වත්මන් තත්ත්වය පිළිබඳ සවිස්තර වාර්තාවක් ඉදිරිපත් කරන ලදි.

විශේෂයෙන් කොරියාව, ඉතාලිය හා මැදපෙරදිග රටවල වෙසෙන ශ්‍රී ලාංකිකයින් ඉදිරි අවුරුදු නිවාඩු කාලය තුල මෙරටට පැමිණීමත්, විදේශිකයින් පැමිණීමත් හේතුවෙන් මෙම රෝගය ශ්‍රී ලංකාව තුළට පැතිරීම වළක්වාගැනීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳත් මෙහිදී සාකච්ඡාවට ලක් විය. ලාංකික ශ්‍රමිකයින් 25,000 ක් පමණ සේවයේ නියුතු කොරියාව වෛරසය පැතිරෙන ඉතාමත් අවදානම් රටක් බැවින් අවුරුදු නිවාඩුව ගත කිරිම සදහා පැමිණෙන එම ශ්‍රමිකයින් පූර්ණ
පරීක්ෂණයකට ලක් කර, යම් රෝගි තත්ත්ව ඇති අය වෙතොත් ඔවුන් සිය නිවෙස් තුළ ම දින 14 ක් නිරෝධායනයකට ලක් කිරීමටත් නිර්දේශ කරන ලදි.

එමෙන්ම විශාල මගී නැව්වලින් පැමිණෙන සංචාරකයින් රට තුළට ඇතුළුවීම පාලනය පිළිබඳත්, ආගමන නීති පැනවීම සඳහාත්, කොළඹ සහ ගාල්ල වරායවලින් පැමිණෙන මගීන් විශේෂිත ආරක්ෂිත මෙවලම් යොදා ගනිමින් සුවිශේෂි
පරීක්ෂාවකට ලක් කිරීමටත් තීරණය කෙරිණ.

ධීවර වරාය තුළින් ද මෙරටට ඇතුළු වන විදේශීය ධීවර කාර්මිකයින් පිළිබඳ සුපරික්ෂාකාරී ව විමර්ශනය කරන මෙන්සෞ ඛ්‍ය බලධාරීන් දැනුවත්කිරීමට ද තීරණය කරන ලදි.

කණ්ඩායම් වශයෙන් පැමිණෙන විදේශකයින් පිළිබඳ සංචාරක නියෝජිතයින් මගින් ඔවුන් මෙරටට පැමිණීමට පෙර තොරතුරු ලබාගැනීමට ද තීරණය කෙරිණි.

මේ අතර දැනට මෙම වෛරසයට ලක්වූවන්ට ප්‍රතිකාර ලබාදීම සඳහා වෙන් කළ රෝහල් 17 ට අමතර දියතලාව හමුදා කඳවුරු භූමියේ ස්ථාපිත නිරෝධායන මධ්‍යස්ථානයට අමතර කොළඹට ආසන්න සහ දකුණු, මධ්‍යම හා වයඹ පළාත් මූලාශ්‍ර කරගනිමින් පූර්ණ නිරෝධායන මධ්‍යස්ථාන 04 ක් ස්ථාපිත කිරීමටත්,

කොරෝනා වෛරසය පැතිරයාම වැළැක්වීමට මුඛ ආවරණ අවශ්‍යතාවක් මතු වුවහොත් එම මුඛ ආවරණ සෞඛ්‍ය අමාත්‍යාංශයේ මැදිහත්වීමෙන් ආනයනය කිරීමටත්, මුඛ ආවරණ කඩිනමින් මෙරට නිෂ්පාදනය කර, ගබඩා කර තබාගැනිමටත්, තිරණය විය.

මෙම සියළු තීරණ පිළිබඳ කොරෝනා වෛරසය පිළිබඳ ජාතික ආරක්ෂක කමිටුව විසින් සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා, කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්ච් දැනුවත් කිරීමට කටයුතු කරන ලදී
.
කොරෝනා වෛසරය පැතිරීම පාලනය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යවරිය දැක් වූ අදහස් –

“ලෝකයේ බොහෝ රටවල කොරෝනා වෛරසය ශීඝ්‍රයෙන් පැතිර ගියත් ලංකාවේ අපිට හැකිවුණා පසුගිය කාලයේ දී අප ගත් ක්‍රියාමාර්ග අනුව රට තුල වෛරසය පැතිරිම වැළැක්වීමටත්, විදේශ රටකින් පැමිණි වෛරසය ආසාදිත චීන ජාතික කාන්තාව සුවපත් කරලා චීනයට බාරදිමටත්. මෙම වෛරසය නැවැත යම් කිසි තර්ජනයකට ලක්වෙමින් පවතිනවා. ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කර තිබෙනවා මෙය ජාත්‍යන්තර මට්ටමේ උවදුරක් බවට. එයට ප්‍රධාන හේතුව ඉතාලිය, දකුණු කොරියාව වැනි රටවල් වල නැවැත මෙම වෛරසය ශීඝ්‍රයෙන් පැතිරීම. දකුණු කොරියාවේ සිටින අපේ දරුවන් ඇතුළු පිරිස් ලංකාවට පැමිණෙමින් තිබෙනවා. එම නිසා නැවැත එම වෛරසය රට තුළට ඇතුළුවීම වැළැක්වීම, පැතිරීම වැළැක්වීම සඳහා විශාල සුදානම්වීමක් කරන්න සිදු වෙලා තිබෙනවා. පසුගිය කාලය තුළ ගත් පියවර තවදුරටත් ස්ථාපිත කරමින් කටයුතු කරන්න සිදු වෙලා තිබෙනවා.
ඒ සදහා ඊයේ ජාතික ක්‍රියාකාරි කමිටුව සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී රැස්වුනා. චීනයෙන් ලංකාවට වෛරසය පැමිණීම වැළැක්වීමට ගත් පියවරවලට වඩා දැඩි පියවර ගැනීමට අපට සිදුවෙනවා. මොකද දකුණු කොරියාවේ ශ්‍රි ලාංකික ශ්‍රමිකයින් විශාල ප්‍රමාණයක් වන නිසා.
යම් කිසි රෝගී තත්ත්වයකින් එම පිරිස් ලංකාවට පැමිණියොත් කටයුතු කළ යුතු ආකාරය ගැන ද සාකච්ඡා කළා. ඒ අනුව තීන්දු තීරණ රැසක් ගනු ලැබුවා. අපි වගකිව යුතු රජයක් විදිහට ලෝකයේ මොන රටක මේ රෝගය පැතිරී ගියත්, එම රටවල සිටින පිරිස් ලංකාවට පැමිණියත් රට තුළ එම වෛරසය පැතිරිම වැළැක්වීමට ගත හැකි සියලු පියවර ගන්නවා.”

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *