නිහඬ මෙහෙවරක අමිල සටහන්…….

Uncategorized

(පළාත් පාලනය පිළිබඳ ශ්‍රී ලංකා ආයතනයට වසර 20ක් පිරීම නිමිත්තෙනි)

පුර සොබාව ගම තුලාන
පොබකර ලංකා
පෙදෙසි පාලනය කරවමු
සිරිසර ලංකා

සෞභාග්‍යය ගමින් ගමට ගෙන යමින් සිරිසර ශ්‍රී ලංකාවේ පුරවර පාලන උදෙසා වන පළාත් පාලන අමාත්‍යාංශයේ
කාර්යයභාරය වඩා සාර්ථකත්වයට පත්කිරීමට සහාය වන ආයතනයක් ලෙස පළාත් පාලනය පිළිබඳ ශ්‍රී ලංකා ආයතනය හඳුන්වා දිය හැකි ය.අසිරිමත් ලංකා භූමිය අතීතයේ පටන්ම නමත් දිනා ඇත්තේ එහි පුරවරින් පුරවරට පවතින භූගෝලීය මෙන් ම සංස්කෘතිකමය, දේශපාලන හා සමාජයීය කාරණාවන්ගේ පවතින විවිධත්වය හා අසිරිය නිසා ය. මේ අසිරිය වඩාත් විචිත්‍ර කරවීමට නම් ශක්තිමත් පාලන ක්‍රමවේදයක් අවශ්‍ය ය.

අදින් වසර දහසකට එපිට රජ කාලයේ පටන්ම ප්‍රාදේශීය පාලන ක්‍රම සඳහා මෙතෙර එතෙර රාජ්‍යයන් යොමුව ඇත්තේ එහි ඇති පහසුව හා සාර්ථක්තවය නිසාමය. ප්‍රාදේශීය පාලන ක්‍රමය වඩා ඵලදායී වීමට නම් පාලන ක්‍රමය අධීක්ෂණය කරමින් මග පෙන්වන යාන්ත්‍රණයක් තිබිය යුතුම ය.

පළාත් පාලන සේවයේ පවතින ශක්‍යතා මෙන්ම දුර්වලතා හඳුනාගනිමින් වඩාත් ඵලදායී හා ගුණාත්මක රාජ්‍ය සේවයක් කරා මෙරට රාජ්‍ය සේවය යොමු කිරීම සඳහා වන ආයතන ඇත්තේ ඉතාමත් අල්ප වශයෙනි. ඒ අතුරින් වසර 20 ක කාලයක් පුරාවට නිහඩවම විශාල සේවයක් සිදු කළ ආයතනයකි පළාත් පාලනය පිළිබඳ ශ්‍රී ලංකා ආයතනය. පළාත්පාලන ක්ෂේත්‍රයට අයත් ප්‍රදේශීය සභා, නගර සභා මෙන් ම මහ නගර සභාවන් ඉලක්ක කරගනිමින් අධ්‍යයන හා පුහුණු වැඩමුළු හා උපදේශන සේවා දියත් කරන පළාත් පාලනය පිළිබඳ ශ්‍රී ලංකා ආයතනය ශ්‍රී ලංකාවේ පළාත් පාලන ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම අධ්‍යයන හා පුහුණු ආයතනයයි.

1999 අංක 31 දරන පාර්ලිමේන්තු පනත අනුව එම වසරේ ඔක්තෝබර් මස පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය යටතේ පළාත් පාලනය පිළිබඳ ශ්‍රී ලංකා ආයතනය ආරම්භ කර ඇත. අමාත්‍යංශයේ ලේකම්වරයාගේ සභාපතීත්වයෙන් යුත් අධ්‍යක්ෂ මණ්ඩලයක් මඟින් ආයතනයේ පාලන කටයුතු සිදු වන අතර ආයතනයේ ප්‍රධානියා වන්නේ එහි අධ්‍යක්ෂවරයා ය.

පළාත් පාලනය පිළිබඳ ශ්‍රී ලංකා ආයතනය, පළාත් පාලනය පිළිබඳ ජාත්‍යන්තර සංවිධානය (IULA/ASPAC) සමඟ අනුබද්ධිත ආයතනයකි. එසේම ADB, UNESCAP,UNDP, Asia Urbs, USAID, UN HABITAT, JICA, Chrysalis, Economic and Social Commission for Asia and the Pacific (ESCAP All India Institute of Local Self Governance, Kerala Institute of Local Administration යන රාජ්‍ය නොවන ජාත්‍යන්තර සංවිධාන සමඟ පළාත් පාලනය පිළිබඳ ශ්‍රී ලංකා ආයතනය සමීපව කටයුතු කරයි.

දිවයින පුරා පළාත් පාලන ආතනයන්හී සේවය කරන නිලධාරීන් ඇතුළු කාර්යය මණ්ඩලයට වඩාත් හොඳ මහජන සේවයක් සපයා දිම උදෙසා ආයතනය විසින් පාඨමාලා හා වැඩමුළු ගණනාවක් හඳුන්වා දී තිබේ. එසේම අවශ්‍ය අවස්ථාවන්හී මඟපෙන්වීම් හා උපදෙස් මෙන්ම තොරතුරු ලබා දීම ආයතනයේ කාර්යභාරයන් අතුරින් ප්‍රධාන තැනක් ගනී. අධ්‍යක්ෂ අංශය, පරිපාලන හා ගිණුම් අංශ, පර්යේෂණ හා සංවර්ධන අංශය, අධ්‍යයන හා පුහුණු අංශය, මූල්‍ය කළමණාකරණ අංශය, නීති හා ව්‍යවස්ථාපිත අංශය, භෞතික සැළසුම් හා පරිසර අංශය, මානව සම්පත් සංවර්ධන හා පොදු කළමණාකරණ අංශය මෙන්ම තොරතුරු තාක්ෂණ අංශය යන අංශ ආයතනයේ ප්‍රධානතම අංශයන් වේ. එම සෑම අංශයක් මඟින් අදාල විෂයානුබද්ධ පුහුණු වැඩසටහන් සැළසුම් කර දියත් කරනු ලබයි. යහ පාලනය සහ ප්‍රජාතන්ත්‍රවාදය සහතික කිරීම, තිරසර සංවර්ධනය සදහා පළාත් පාලන ආයතන බලගැන්වීම, ප්‍රාදේශීය සංවර්ධනය උදෙසා රාජ්‍ය පෞද්ගලික හවුල්කාරීත්වයක් ගොඩනැංවීම, පළාත් පාලනය, යහ පාලනයට කාන්තා සහභාගීත්වය දිරි ගැන්වීම ආයතනය මඟින් අවධානය යොමු කරන ප්‍රධාන ක්ෂේත්‍රයන් ය.

ඊට අමතර ගැටුම් නිරාකරණය, කුසලතා වර්ධනය මෙන්ම තොරතුරු තාක්ෂණ පද්ධති ගොඩනැංවීම හා ඒ ආශ්‍රිත කුසලතා සංවර්ධනය සෙසු ප්‍රධාන ක්ෂේත්‍ර වේ. පාඨමාලා හා වැඩමුළු සැලසුම්කිරීමේ දී හා සංවිධානයේ දී උක්ත විෂයය ක්ෂේත්‍ර පිළිබඳ වැඩි අවධානයක් යොමු කරනු ලබයි.

පළාත් පාලන සේවය සඳහා යම් මහජන නියෝජිතයෙක් තේරී පත්වූ පසුත් නිලධාරියෙක් සේවයට බඳවා ගත් පසුවත් ඔවුන්ගේ රැකියාවේ ස්වභාවය අනුව අවශ්‍ය පුහුණු වීම් ලබාදීම සඳහා මෙරට ඇති අවස්ථා ඉතාමත් විරලය. ඒ සඳහා පවතින රාජ්‍ය හෝ පෞද්ගලික අංශයේ පාඨමාලා වැඩි වශයෙන් කොළඹ නගරය කේන්ද්‍ර කරගනිමින් පවතින නිසා ගමනාගමනයේ දුෂ්කරතා හේතුවෙන් එම පුහුණු අවස්ථා බොහෝ දෙනාට මඟහැරී යයි. එවන් නිලධාරීන් සඳහා ඔවුන්ගේ ප්‍රදේශයටම ගොස් පුහුණු වැඩමුළු පවත්වා ඔවුන්ගේ රාජකාරීය වඩාත් කාර්යක්ෂමව හා ඵලදායීව සිදු කිරීමට අවශ්‍ය
දැනුම හා මඟපෙන්වීම් ලබාදෙයි.

දිවයින පුරා විවිධ පළාත් ආවරණය කරමින් මානව සම්පත් කළමණාකරණය,නීතිය, ගිණුම්/ මූල්‍ය කටයුතු සහ භෞතික සම්පත් කළමණාකරණය, පළාත්පාලනය, ප්‍රජා සංවර්ධනය, ඉදිකිරීම් තාක්ෂණය සහ අපද්‍රව්‍ය කළමණාකරණය
වැනි විවිධ විෂයන් ඔස්සේ සිදු කරන පාඨමාලාවන් සඳහා ඉහළ ඉල්ලුමක්ද සෑම පළාත් පාලන ආයතනයකින්ම පාහේ දක්නට ලැබීම සතුටට කරුණකි.

විවිධ වූ දේශපාලන මතිමතාන්තර, අදහස් උදහස් දරන මහජන නියෝජිතයන් සමඟ කටයුතු කිරීම ඇතැම් අවස්ථාවන්හීදී අභියෝගාත්මක වුවත් මේ වනවිට දස දහසකටත් අධික මහජන නියෝජියන් පිරිසක් සඳහා පුහුණුව ලබා
දීමට ආයතනය සමත්ව තිබේ. ආයතනයේ පාඨමාලා සාර්ථකව හැදෑරූ සහ ඒ පිළිබඳ ප්‍රශංසාත්මකව කතා කරන්නන්ද වැඩි පිරිසක් මහජන නියෝජිතයන් වීම ද සතුටට කරුණකි.

පළාත් පාලන ක්ෂේත්‍රයේ කටයුතු කිරීමේදී මුහුණදෙන ගැටලු හා අභියෝග සම්බන්ධයෙන් පර්යේෂණ සිදු කිරීම මෙන්ම ඒවා අදාළ ක්ෂේත්‍රයේ ප්‍රගමනය සඳහා යොදා ගැනීමටද ආයතනය කටයුතු කරයි. තව ද ශ්‍රාස්ත්‍රීය ලිපිවලින්
සහ පළාත් පාලන ආයතනවල සේවය කරන නිලධාරීන්ගේ නිර්මාණ ඇතුළත් පළාත් පාලනය පිළිබඳ වාර ප්‍රකාශනය සහ පර්යේෂණාත්මක ලිපි සංග්‍රහ ආදී ප්‍රකාශන ගණනාවක්ම ප්‍රකාශයට පත් කොට බෙදා හරී.

ඉකුත් වසර ගණනාව තුළ ආයතනයේ සේවය කළ කාර්යමණ්ඩලයේ කැපවීම සහ උනන්දුව හේතුවෙන් පුහුණු වැඩමුළු පැවැත්වීම සඳහා දේශන ශාලාවක්,පරිගණක විද්‍යාගාරයක් මෙන්ම පළාත් පාලන ක්ෂේත්‍රය සම්බන්ධ වටිනා පොත්පත් හා රජයේ සෙසු ප්‍රකාශන වලින් සමන්විත පුස්තකාලයක් ආයතය සතු කරගැනීමට මේ වනවිට හැකියාව ලැබී ඇත.

සීමිත කාර්යය මණ්ඩලක් සහ අවම සම්පත් යටතේ කටයුතු කිරීමේදි එළඹෙන විවිධ දුෂ්කරතාවන් හා අභියෝග බාධාවක් සේ නොතකා තව තවත් පුහුණු පාඨමාලා හා වැඩමුළු සංවිධාන කිරීම සදහා ආයතනය කටයුතු කරමින් පවතී. සම්පත් දායකයින් පාඨමාලා සඳහා සම්බන්ධ කරගැනීමේ ගැටළු ,විවිධ පළාත්වල සිටින පුහුණුලාභීන් පාඨමාලා හා පුහුණු වැඩමුළු සඳහා කැඳවීමේ දි පවතින සන්නිවේදන බාධා මෙන්ම ආකල්පමය ගැටළු ආයතනය මේ වනවිට මුහුණදෙමින් සිටින ප්‍රධාන අභියෝග ලෙස පෙන්වා දිය හැකිය.

යටිතල පහසුකම්, සෞඛ්‍ය සේවා ඇතුළු පළාත් පාලන ආයතන වෙතින් මහජනතාව වෙත ලබා දෙන පොදු සේවාවන්ගේ ගුණාත්මකභාවය වර්ධනය කිරීම, රාජ්‍ය සේවයේ ඵලදායිතාවය වර්ධනය කිරීම මෙන්ම ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීම ආදි අරමුණු ආයතනයේ ප්‍රධානතම අරමුණු ය.

අද වනවිට පළාත් පාලන ආයතනයන්හී මහජන නියෝජිතයන්, නිලධාරීන් ඇතුළු සෙසු සේවකයන් සුවිශාල පිරිසකගේ පුහුණු අවශ්‍යතා ඉටු කරදෙමින් ආයතනය විශාල අමිල මෙහෙවරක් සිදුකර තිබේ. තවදුරටත් දිවයිනේ සෑම පළාතක්ම ආවරණය කරමින් සුවහසක් රාජ්‍ය සේවකයන්ගේ පුහුණු අවශ්‍යතා ඉටු කරදීමට ආයතනයටට හැකියාව ලැබේවා යන්න අපගේ ප්‍රාර්ථනයයි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *