සාර්ථක රාජ්‍ය ආයතනවලට සම්මාන

රටතොට

පාර්ලිමේන්තුවේ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව 2018 වර්ෂයේ මුල්‍ය පාලන නීති රීති හා රෙගුලාසිවලට අනුගතවීමේ කාර්යය සාධනය පිළිබඳ සාර්ථක ප්‍රතිඵල ලබාගත් ආයතන ඇගයේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් 28 වැනි දා පෙරවරුවේ ශ්‍රී ජයවර්ධනපුර පාර්ලිමේන්තු සංකීර්ණයේ
දී එය සිදු කෙරිණ.

රාජ්‍ය ගිණුම් කාරක සභාව 2018 වර්ෂයේ දී රාජ්‍ය, පළාත් සභා සහ පළාත්පාලන ආයතන 844ක් ඇගයීමට ලක් කරන ලදී. ඉන් තෝරාගත් රාජ්‍ය ආයතන 109කට සම්මාන පිරිනැමින.

රන් සම්මාන 55 ක්, රිදී සම්මාන 23 ක් හා සම්මාන සහතික 31 ක් ජනාධිපතිවරයා අතින් එහි දී ප්‍රදානය කෙරිණි.

රාජ්‍ය ගිණුම් කාරක සභාවේ අරමුණ රාජ්‍ය සේවකයන් නීතියෙන් බැඳ තැබීම නොවේ යැයි
උත්සවය අමතමින් ජනාධිපතිවරයා පැවසී ය.

ඉදිරියේ දී පාර්ලිමේන්තුවේ මුල්‍ය අධීක්ෂණයට ලක් වන සියලු රාජ්‍ය ආයතන ආවරණය වන පරිදි ඇගයීම සිදු විය යුතු බව හෙතෙම ප්‍රකාශ කරයි.

ඉදිරිපත් කෙරෙන ප්‍රශ්නාවලිය ද යාවත්කාලීන විය යුතුය. පුද්ගලික අංශය සිය ආයතන මෙහෙයවීමේ දී අනුගමනය කරන ක්‍රමවේද ආදර්ශයක් ලෙස ගැනීමේ වැදගත්කම ඔහු පෙන්වා දේ.

කළමනාකරණ විමර්ශනය වේගවත් මෙන්ම පුළුල් කිරීමට රජය කැප වී සිටී. දෛනික ව ජනාධිපති කාර්යාලය ඉදිරිපිටට රාජ්‍ය ආයතන උද්ඝෝෂණ කණ්ඩායම් කිහිපයක් පැමිණේ. මේ නිසා තම ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම වෙනුවට උද්ඝෝෂකයන් සඳහා වැඩි කාලයක් වෙන් කිරීමට ජනාධිපති කාර්යය මණ්ඩලයට සිදුව තිබේ. අවසානයේ දී උද්ඝෝෂන කණ්ඩායම්වල වගකීම අදාල අමාත්‍යාංශ භාරගත යුතු බව ජනාධිපතිවරයා පැවසී ය.

මහජන මුදල් පිළිබඳ පූර්ණ බලය පාර්ලිමේන්තුව සතු ය. ඇතැම් රාජ්‍ය ආයතනවල සිදුවන මුල්‍ය අවභාවිතය පිළිබඳ මාධ්‍ය වාර්තා කරයි. පාර්ලිමේන්තුව අනුමත කළ වියදම් ඉක්මවා ගනුදෙනු වංචා සිදුවීමේ දී රාජ්‍ය දේපල ආරක්ෂා වී ඇතිදැයි හෙළි කිරීමේ වැදගත් කාර්යය භාරය රාජ්‍ය ගිණුම් කාරක සභාව සතු බව හෙතෙම පවසයි.

කතානායක කරු ජයසූරිය. අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු, රාජ්‍ය ගිණුම් කාරක සභාවේ සභාපති රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න, සිසිර ජයකොඩි, ඩුලීප් විජේසේකර පාර්ලිමේන්තු මනිත්‍රීවරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක් වූ හ.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *