ඉත්තෑපානේ හිමි, කාදිනල්තුමා ජනපති හමු ව..

උණුසුම් දේශපාලන

එළඹෙන වෙසක් උළෙල නිමිත්තෙන් නිවසේ සිට ආගමික වතාවත් හි නිරත වන්නැයි බෞද්ධයින් දැනුවත් කිරීමට පියවර ගැනේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සමග 28 වැනි දා කොළඹ ජනාධිපති කාර්යාලයේ දී කෝට්ටේ ශ්‍රී කළ්‍යාණි සාමග්‍රී සංඝ සභාවේ මහානායක අතිපූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර මහා නා හිමිපාණන් වහන්සේ සහ අතිඋතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් හමු වී කාලීන විෂයයන් කිහිපයක් පිළිබඳ අදහස් හුවමාරුවක නිරත වීමේ දී පූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර නාහිමියෝ ඒ බව පැවසූ හ.

ඒ සඳහා ජනමාධ්‍ය උපයෝගී කරගැනීමේ හැකියාව ජනාධිපතිවරයා පෙන්වා දෙන ලදී.

පාස්කු ඉරිදා ප්‍රහාරයේ විමර්ශන ගැන විමසීමක් කළ එම හමුවට එක් වූ පූජ්‍ය මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණෝ මේ අපරාධය පිටුපස සිටින්නේ කවුදැයි හඳුනාගැනීමේ අවශ්‍යතාව අවධාරණය කළ හ.

මරාගෙන මැරෙන ප්‍රහාරයක දී පිරිසක් මරණයට පත්වීමෙන් ඔබ්බට ගිය අරමුණු ඇතැයි සඳහන් කළ ජනාධිපතිවරයා ඒ අරමුණු පසුපස සිටින්නන් හඳුනාගැනීම රජයේ ප්‍රයත්නය බව පෙන්වා දේ.

නාස්තිකාරී සහ වෛරය අවුළුවන ඡන්ද ප්‍රචාරණ ක්‍රමයෙන් බැහැර වී නව මැතිවරණ රටාවක් නිර්මාණය කිරීම කාලීන අවශ්‍යතාවකැයි ද කාදිනල් හිමිපාණෝ සඳහන් කළ හ.

නිෂ්ඵල සහ අධික වියදම් සහගත මැතිවරණ ප්‍රචාරණය වෙනස් කිරීමට තමාගේ ද අවධානය යොමු වී ඇතැයි ජනාධිපතිවරයා පැවසී ය.

කෘෂි භෝග වගා කරන ප්‍රදේශවල ඇතැම් වැව් සහ වාරිමාර්ග පරිහානියට ගොස් ඇතැයි පූජ්‍ය ධම්මාලංකාර මහ නා හිමිපාණන් සඳහන් කළ අතර, ඒවා පිළිසකර කිරීමට ලබන අයවැයෙන් ප්‍රතිපාදන වෙන් කරන බව ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ ය.

කොවිඩ්-19 වසංගතය පිළිබඳ වත්මන් තත්ත්වය විමසූ පූජ්‍ය ධම්මාලංකාර මහා නායක හිමිපාණෝ සහ කාදිනල් හිමිපාණෝ වෛරසය පාලනය කරමින් ජනතාව සුරක්ෂිත කිරීමට ජනාධිපතිවරයා ක්‍රියාත්මක කරන වැඩපිළිවෙළට ප්‍රසාදය පළ කළ හ.

වසංගතය ඉක්මණින් පාලනය කිරීමට හැකිවනු ඇතැයි ආගමික නායකයින් දෙනම විශ්වාසය පළ කළ අතර නොබෝ දිනකින් ඇඳිරි නීතිය ලිහිල් කිරීමට හැකිවනු ඇතැයි ජනාධිපතිවරයා පැවසී ය.

ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර සහ ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග ද සාකච්ඡාවට එක්ව සිටිය හ.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *