රුපියල් 5000 දෙන්න ප්‍රමාද ඇයි?

උණුසුම්

පවත්නා තත්ත්වය මත රටේ ජීවනෝපාය අහිමි වූ පවුල් සඳහා පිරිනැමෙන රුපියල් 5000 මුදල ලබාදීමට ප්‍රමාද වන්නේ මන්දැයි සමෘද්ධි ස්වර්ධන නිලධාරීන්ගේ සංගමය විමසයි.

සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත ලිපියක් යොමු කරමින් සංගමය පවසන්නේමැයි මස 18 වැනි දා සිට අදාල මුදල් ලබාදීමේ 2 වැනි අදියර ක්‍රියාත්මක කරන ලෙසට ඔහු විසින් සමෘද්ධි බැංකු වෙත දැනුම් දී ඇති බවයි.

එහෙත් මේ වනතුරුත් අදාල මුදල් ප්‍රමාණවත් ප්‍රමාණය සමෘද්ධි බැංකු වෙත ලැබී නැතැයි සංගමය පෙන්වා දේ.

ඒ පිළිබඳ ජනතාව නිරතුරුව කරන විමසීම්වල දී නිලධාරීන් මහත් අපහසුතාවට පත් වන බව ලිපියේ සඳහන් ය.

එබැවින් තෝරාගත් පිරිසට මැයි මාසය සඳහා ගෙවීමට අපේක්ෂිත මුදල වහා සමෘද්ධි බැංකු වෙත පිරිනමන්නැයි සංගමය ඉල්ලා සිටී.

අදාල ලිපිය –

2020. 05. 21

අධ්‍යක්ෂ ජනරාල්,
සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව,
බත්තරමුල්ල.

මැයි මස රු. 5000 දීමනාව ලබා දීම සඳහා අවශ්‍ය කරන මුදල් සමෘද්ධි බැංකු වෙත ලබා දීමේ පවතින ප‍්‍රමාදය සම්බන්ධව.

දීර්ඝ කාලීනව පැවති ඇඳිරිනීති තත්වය මත ජීවනෝපාය අහිමි වු පවුල් සඳහා රු. 5000 දීමනාවක් ලබා දීමට ගත්තා වු තීරණය මත මැයි මාසයට අදාල දීමනාව ලබා දීම සඳහා අවශ්‍ය කරන මුදල් සමෘද්ධි බැංකු වෙත ලබා දීමට පවතින ප‍්‍රමාදය පිළිබඳව අප සංගමය ඔබ වෙත මෙයින් අවධානයට මෙයින් යොමු කරවන්නෙමු.

02. රු. 5000 දීමනාව ලබා දීම සඳහා ඔබ විසින් සමෘද්ධි බැංකු සමිති කළමණාකරුවන් හා බැංකු කළමණාකරුවන් වෙත එවන ලද 2020. 05. 17 දිනැති DSD/HO/05/MF/2020/5 යන ලිපියෙහි 2 හි දක්වා ඇති පරිදි රු. 5000 මෙම දීමනාව ලබා දීම මැයි 18 වැනි දින සිට ආරම්භ කල යුතු බව උපදෙස් ලබා දී ඇති අතර ඒ සඳහා ග‍්‍රාමීය මටිටමින් සැලැස්මක් සකස් කර ඒ අනුව ගෙවීම් කිරීමට කටයුතු කරන ලෙස දන්වා තිබුනි.

03. ඒ අනුව 18 වැනි දින සිට සමෘද්ධිලාභී හා සහනාධාර අපේක්ෂාවෙන් පොරොත්තුවේ සිටින 2525528 වෙත 2 අදියරට රු.5000 දීමනාව ලබා දීම සඳහා දිවයිනේ සියළුම සමෘද්ධි සංවර්ධන නිලධාරීන් සැලැස්ම අනුව අපේක්ෂාවෙන් සිටියද සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් තවමත් සමෘද්ධි බැංකුව වෙත ප‍්‍රමාණවත් මුදල් ලබා නොදීම මත තවමත් සමෘද්ධිලාභීන් වෙතද රු. 5000 දීමනාව ගෙවා අවසන් කිරීමට නොහැකි වී ඇති බව කණගාටුවෙන් වුවද මෙයින් දන්වා සිටින්නෙමු.

04. සමෘද්ධිලාභීන්ට සමඟ ජීවනෝපාය අහිමි වු සමස්ත පවුල් 4825123 ආසන්න පිරිසකට මෙම රු.5000 දීමනාව ලබා දී ඇති අතර දිනපතා ගතවන සෑම මොහොතකම දුරකථන මඟින් විමසීම් කරන අතර එයින් සමෘද්ධි සංවර්ධන නිලධාරීන් විශාල ලෙස මේ වන විට දැඩි අපහසුතාවයට පත්ව ඇත.

05. මේ පිළිබඳව ඔබගේ විශේෂ අවධානය යොමු කර තෝරාගෙන ඇති කණ්ඩායම වෙත මැයි මාසය සඳහා ප‍්‍රමාදයකින් තොරව රු. 5000 දීමනාව ලබා දීම සඳහා අවශ්‍ය කරන මුදල් සමෘද්ධි බැංකුව වෙත කඩිනමින් ලබා දීමට පියවර ගන්නා මෙන් අප සංගමය මෙයින් ඉල්ලා සිටිමු.

මේ පිළිබඳව ඔබ දක්වන සහය ඉතා අගය කොට සලකමු.

ස්තූතියි.

මෙයට,
චාමර මද්දුමකළුගේ,
ප‍්‍රධාන ලේකම්.
(විධායක කම්ටුවේ නියමය පරිදි)

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *