එතෙර ශ්‍රී ලාංකිකයන් ගෙන්වීමට නව ක්‍රමයක්

රටතොට

කොවිඩ් 19 වසංගතය ව්‍යප්තිය හමුවේ අතරමං ව හෝ විවිධ දුෂ්කරතාවන්ට මුහුණ පා සිටින විදේශගත ශ්‍රී ලාංකිකයන් මව්බිමට ගෙන්වාගැනීම සඳහා නව ක්‍රමයක් සැකසේ.

මැයි 27 වැනි දා පැවැත්වෙන සාකච්ඡාවක දී නව වැඩපිළිවෙළ පිළිබඳ තීරණය කෙරෙන බව ජනාධිපති මාධ්‍ය ඒකකය පවසයි.

විදේශගත ශ්‍රී ලාංකිකයන් ගෙන්වා ගැනීමේ ජූනි මස ගුවන් ගමන් ඒ අනුව සැලසුම් කෙරෙනු ඇත.

වසංගතයේ ගෝලීය ව්‍යප්තිය හේතුවෙන් පීඩාවට පත් එතෙර වෙසෙන ශ්‍රී ලාංකිකයන් සියරට ගෙන්වා ගැනීමේ වැඩසටහන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ නියමයෙන් ඉකුත් ජනවාරියේ ආරම්භ කෙරිණි.

චීනයේ වුහාන් නගරයේ විසූ සිසුන් ඇතුළු ශ්‍රී ලාංකිකයෝ 33 දෙනෙක් පෙබරවාරි 01 වැනි දා දිවයිනට පැමිණි අතර
නිරෝධායනයෙන් අනතුරුව නිවෙස් බලා ගිය හ.

වන්දනාවේ ගොස් ඉන්දියාවේ නගර කිහිපයක කොටු වී සිටි ශ්‍රී ලාංකිකයෝ 839 දෙනෙක් මාර්තු 19 වැනි දා දිවයිනට
ළඟා වූ හ.

ඉකුත් මැයි 25 වැනි දා වනවිට රටවල් 20 ක සිට මෙසේ ගෙන්වාගත් පිරිස 5485 දෙනෙකි. ඔවුන්ගෙන් 4826 දෙනෙක්ම විදේශ සබඳතා අමාත්‍යාංශය හා විදේශයන්හි ශ්‍රී ලංකා දූත මණ්ඩල එක් ව හඳුනාගත් අය වෙති.

PCR පරීක්ෂණවලින් පසු ඔවුන් අතරින් කොරෝනා ආසාදිතයන් ලෙස නිගමනය වූයේ 05 නෙකු නැතහොත් 0.01% ක් පමණි.

එසේ වුව ද පසුගිය දා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායිහි සිට පැමිණි 197 දෙනාගෙන් 22ක් ආසාදිතය න් බව නිගමනය කෙරිණ.

කුවේට් සිට පැමිණි 462 දෙනාගෙන් දැනට 150 ක් PCR පරීක්ෂණයට ලක් කර ඇති අතර 96 දෙනෙක්ම කොරෝනා රෝගීන් ලෙස හඳුනාගනු ලැබූ හ. තවත් 300 කට අධික පිරිසක් පරීක්ෂණයට භාජන කළ යුතුව තිබේ.

කුවේට්හි සිට මෙහි පැමිණි ආ සියලු දෙනාම පාහේ විවිධ හේතු නිසා එරට රැඳවුම් ස්ථානවල හෝ පිටුවහල් කිරීමේ කඳවුරුවල සිටි අය වෙති.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *