පාසල් විවෘත කිරීම අර්බුදකාරීයි.

අධ්‍යාපන

පාසල් යළි විවෘත කිරීමේ තීරණයට එකඟ විය නොහැකි බව ලංකා ගුරු සංගමය නිවේදනය කරයි.

පාසල් දරුවන් සහ දෙමාපියන් විශාල සංඛ්‍යාවක් එය ගැටළු සහගත බව තමා වෙත දන්වා ඇතැයි එහි ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ පෙන්වා දේ.

වේලාවන් කිහිපයක දී පාසල් අවසන්වීම මෙන් ම නිසි ලෙස විෂය නිර්දේශ ආවරණය නොවූ තත්ත්වයක් පැවැත්වෙන උසස්පෙල විභාගය ද අර්බුද රැසක් නිර්මාණය කරන බව විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ඔහු පැවසී ය.

අදාල නිවේදනය –

2020. 06. 11

අධ්‍යාපන අමාත්‍ය,
ඩලස් අලහප්පෙරුම මැතිතුමා,
අධ්‍යාපන අමාත්‍යාංශය,
ඉසුරුපාය,
බත්තරමුල්ල.

ඇමතිතුමනි,

පාසල් යළි විවෘත කිරීම හා අපොස උ/පෙළ විභාගය පැවැත්වීම සම්බන්ධව පැන නැගී තිබෙන ගැටලූ සම්බන්ධවයි.

දිවයිනේ පාසල් අදියර 4 කින් යුතුව යළි විවෘත කරන බවට ඔබ විසින් පසුගියදා මාධ්‍ය වෙත ප‍්‍රකාශ කරන ලදී.

එහිදී ඒ ඒ අදියරයන්වලදී පාසල් විවෘත කිරීමත්, අපොස උ/පෙළ විභාගය හා 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය පැවැත්වීම පිළිබඳවත් එළඹ ඇති තීරණ සම්බන්ධව යම් ගැටලූකාරී තත්වයන් මතුව පවතින බව දෙමව්පියන් සහ ගුරුවරුන් විසින් අප සංගමය වෙත දැනුම් දී තිබේ.

විශේෂයෙන්ම ශ්‍රේණි මට්ටම් කිහිපයක පාසල් කටයුතු වේලාවන් කිහිපයකදී අවසන් කිරීමට ගෙන ඇති තීරණය හේතුවෙන් දරුවන් පාසල් අවසන් වී නිවෙස් වෙත පැමිණිමේදී අදාල පාසල් ප‍්‍රවාහන සේවාවන් සහ සිසුසැරිය ප‍්‍රවාහන සේවය එකී වේලාවන්ට අනුකූලව ක‍්‍රියාත්මක නොවීම නිසා දරුවන්, ගුරුවරුන් හා දෙමව්පියන් අසීරුතාවයට පත්වන බව මෙහිදී පෙන්වා දෙමු. තවද දෙමව්පියන් පවසා සිටින්නේ, ශ්‍රේණි කිහිපයක සිටින තම දරුවන් එකම පාසල් බස් රථයේ හෝ වෑන් රථයේ ගමන් කරන බැවින් එම බස් රථය හෝ වෑන් රථය දරුවන් ආපසු රැගෙන ඒම ගමන් වාර දෙකකදී හෝ කිහිපයකදී සිදු නොවන බැවින් දරුවන් පාසලෙන් ආපසු රැුගෙන ඒම නිසි පරිදි සිදු නොවන බැවින් දරුවන් ආපසු නිවෙස්වලට පැමිණීම පිළිබඳ ගැටලූකාරී තත්වයක් මතුවීමත් පාසල අවසන් වී දරුවන්ට පාසල තුල හෝ පාසලෙන් බැහැරව අනවශ්‍ය කාලයක් රැඳී සිටීමට සිදුවීමත් හේතුවෙන් දරුවන් දැඩි අනාරක්‍ෂිත තත්වයකට පත්වීම සිදුවිය හැකි බවත්ය.

තවද විවිධ ශ්‍රේණිවල ඉගෙන ගන්නා දරුවන් පාසල් කිහිපයකම සිටින ගුරුවරුන්ද දැඩි අපහසුතාවයකට පත්ව ඇත. සමහර ගුරුවරුන් ප.ව. 3.30 දක්වා පාසලේ සේවය කරන විට ප.ව. 12.00 ට සහ ප.ව. 1.30 ට පාසල්වලින් තම දරුවන් ගැනීම ගැටලූවක් බවට පත්ව ඇත.

අපොස උ/පෙළ විභාගය පැවැත්වීම සැප්. 7 වෙනිදා සිට දින නියම කර තිබීමද ගැටලූවකි. උ/පෙළ දරුවන්ට තම විභාගයට සූදානම්වීමට අවශ්‍ය ආවරණය නොවූ විෂය කොටස් පසුගිය මාස 4 කට ආසන්න කාලයක් තුලදී නිසියාකාරව සිදු නොවීම හා යළි පාසල් හා උපකාරක පන්ති ආරම්භ කර මාස 2 ක් වැනි කෙටි කාලයකදී එකී විෂය කොටස් ආවරණය කළ නොහැකි වීමත් යන කරුණු හේතුවෙන් සැප්. 7 සිට විභාගය පැවැත්වීම විභාගයට ඉදිරිපත්වන දරුවන්ට සිදුකරන බලවත් අසාධාරණයකි. මේ තුළ මේ වන විටත් මෙම දරුවන් බලවත් අපහසුතාවයටත් පීඩනයටත් පත්ව සිටින බවට දරුවන්ගේ දෙමව්පියන් අප සංගමයට දන්වා ඇති බව ඔබගේ අවධානයට යොමු කරමු.

පාසල් යළි විවෘත කළේ යැයි යන මානසිකත්වයක් රටේ ජනතාව මත ආරෝපණය කරවීමේ හුදු දේශපාලන මනෝභාවයකින් පෙළෙන ආණ්ඩුව පාසල් දරුවන්ගේත්, දෙමව්පියන්ගේත් අපහසුතාවයන් හා පීඩාවන් නොසලකා කටයුතු කර ඇති බවට පාසල් යළි විවෘත කිරීමට ගෙන ඇති තීරණවල තිබෙන ගැටලූකාරී තත්වයන් කදිම නිදසුන් බව අප සංගමය ඔබ වෙත අවධාරණය කර සිටිමු.

තවද ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ලතින් ඇමෙරිකානු හා දකුණු ආසියානු කලාපයේ #කොවිඩ්- 19 #Covid- 19 වසංගතය ව්‍යාප්තියේ අවදානම හා අනතුරුදායක තත්වය ඉදිරියේදී තවදුරටත් වර්ධනය විය හැකි බව පවසා සිටියදීත්, ඔබ විසින් යළි පාසල් විවෘත කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ හෝ අනුමැතිය අපට අවශ්‍ය නැතැයි පැවසීමත් සම්බන්ධව අවධානය යොමු කරන අප සංගමය ආණ්ඩුව පාසල් විවෘත කිරීමට ගෙන ඇති නොසැලකිලිමත් හා වගකීම් විරහිත හුදු දේශපාලන තීරණ සම්බන්ධව විරෝධය දක්වන බවත් පෙන්වා දෙන්නෙමු.

ස්තූතියි.

මෙයට,
විධායක සභාව වෙනුවෙන්,
මහින්ද ජයසිංහ
ප‍්‍රධාන ලේකම්
ලංකා ගුරුසේවා සංගමය.

පිටපත් – ලේකම් – අධ්‍යාපන අමාත්‍යාංශය
– සියලූම ජන මාධ්‍ය වෙත.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *