විකෘති වැටුප් විෂමතාවක්

දේශපාලන

වත්මන් රාජ්‍ය සේවය පිළිබඳ රාජ්‍ය නිලධාරීන් තුළ ඇත්තේ අතෘප්තියක් බව ජාතික ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් කණ්ඩායම් නායක අනුර කුමාර දිසානායක පවසයි.

රාජ්‍ය සේවය ශක්තිමත් කිරීමේ ප්‍රතිපත්තිමය දැක්මක් තමන් සතු බව ජූලි 13 වැනි දා බත්තරමුල්ල, පැලවත්ත ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු ප්‍රකාශ කළේ ය.

ඔහු දැක්වූ අදහස් –

කොවිඩ් 19 වසංගතය නැවත පැතිරීම පිළිබඳව මූලික වශයෙන් අදහසක් දක්වමින් අපේ ප්‍රධාන මාතෘකාවට යන්න බලාපොරොත්තු වෙනවා.

තමන්ගේ බල වුවමනාව වෙනුවෙන් පැවැත්වීමට සූදානම් කර සිටි මැතිවරණය සම්බන්ධයෙන් අවසන් තීරණය මැතිවරණ කොමිෂන් සභාව මැදිහත් වීමෙන් අපේ රටේ මළමිනීවලින් කිරීමට තිබූ තත්වය අවසන් කිරීමට සුවිශේෂී කාර්යභාරයක් ඉටු කළා. ඒ සම්බන්ධයෙන් අපි ඔවුන්ට විශේෂ ස්තුතිය පිරිනමනවා. ඒ වගේම අපේ රටේ සෞඛ්‍ය කාර්යය මණ්ඩලය මේ මට්ටමින් ක්‍රියාකර තිබෙන්නේ 1977 න් පසුව පැවති සෑම ආණ්ඩුවක් විසින්ම සෞඛ්‍ය සේවය පෞද්ගලික අංශයට පවරා වර්ධනය කරන්න පටන් ගත් පසුබිමකයි. නමුත් කොවිඞ් 19 වසංගතය පාලනය කිරීම සඳහා සෞඛ්‍ය අංශයේ මැදිහත්වීමෙන්, කැපවීමෙන් සුවිශේෂී කාර්යභාරයක් ඉටුකළා. ඔවුන්ගේ දැනුම සහ අත්දැකීම් නොතිබෙන්න මෙය තවත් ව්‍යසනයක් දක්වා වර්ධනය විය හැකිව තිබුණා. ඒ පිළිබඳව අපේ ඇගයීමක් පවතිනවා. පොලීසිය සහ හමුදාව මෙම තත්ත්වය මැඩපැවැත්වීමට විශේෂ කාර්යභාරයක් සිදුකළා. පමා වී හෝ ආණ්ඩුව ගනු ලැබූ තීන්දු-තීරණ මෙම තත්ත්වය මැඩපැවැත්වීමට ඉවහල් වුණා.

වසංගතය මැඩපැවැත්වීමේ මූලික කාර්යයභාරය අත්හැර අනියත විශ්වාසයක් සමාජය තුළ නිර්මාණය කරන්න ආණ්ඩුව ක්‍රියා කළා. මැතිවරණය ඉක්මනින් පවත්වා ගැනීමේ වුවමනාවෙන් ආණ්ඩුව දිගටම ක්‍රියා කළා. කල් දැමූ මැතිවරණය අගෝස්තු මාසේ 05 වැනිදාට කොමිසම විසින් දින නියම කළාට පසු මැතිවරණ ක්‍රියාවලිය පවත්වාගෙන යාමේ නිර්ණායක පද්ධතියක් දේශපාලන ව්‍යාපාරවලට ලබා දුන්නා. රැස්වීමකට සහභාගි විය යුතු සංඛ්‍යාව, ඒ සම්න්ධයෙන් ආසන පැනවිය යුතු ආකාරය, සහභාගි වන්නන්ගේ දත්ත රැස් කිරීම වගේ කොන්දේසි ගණනාවක් තිබුණා. නමුත් මැතිවරණ පනත අනුව කොමිසමට නීති පැනවීමේ බලයක් නැහැ. මේ නිසා නිරෝධායන පනත අනුව නීති පැනවීමේ බලය තිබෙන සෞඛ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල් තුමා මගින් මැතිවරණ ව්‍යාපාරයේ සීමාකම් සඳහා අවශ්‍ය වන රෙගුලාසි නීතියක් බවට පත්කිරීමේ ගැසට් නිවේදනය නිකුත් කළේ නැහැ. මෙය සෞඛ්‍ය අංශයේ මගහැරීමක් නොවෙයි. දේශපාලන අංශය විසින් හිතාමතාම අත්හැරීමක්. ආණ්ඩුවේ මැතිවරණ ව්‍යාපාරය සකස් කර තිබෙන්නේ සංදර්ශනයක ආකාරයටයි. රැස්වීමේදී ඉදිරිපත් වන කරුණු වෙනුවට මේ සංදර්ශනය සඳහා වැඩිම කාල වේලාවක් යොදවනවා. සෞඛ්‍ය රෙගුලාසි ගැසට් කළා නම් ආණ්ඩුවට විශාල බාධාවක් ඇතිවෙනවා. ඒ නිසා හිතා මතාම එම ගැසට් කිරීම අත්හැර දැමූ බව පැහැදිලියි.

මැතිවරණ ව්‍යාපාරය සඳහා තමන්ගේ ඡායාරූපයවත් භාවිතා නොකරන්නැයි කියූ ජනාධිපතිවරයා ජනහමු නොව කැන්වසිං ව්‍යාපාරවල යෙදෙන සංදර්ශනාත්මක තත්වය රූපවාහිනියෙන් අපි දැක්කා. ජනාධිපතිවරයා ජනතාව සමඟ මීටරයක දුරින් ඉන්නවා. හැබැයි ජනතාව සෙන්ටිමීරයට පැක් කරලා. එතැනිදිත් පෙන්නුම් කළේ නායකයන් උපරිමයෙන් ආරක්‍ෂා වී සාමාජිකයන්ට කවරක් වූවත් කම් නැතැයි කියන ප්‍රතිපත්තිය ක්‍රියාවට නැගීමයි. ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පරීක්‍ෂණාගාර තුළින් වෛරස් ආසාදනය සිදු වී ඇති බවට ලබා දී තිබූ තීරණ බැහැර කරමින් ඔවුන් පරීක්‍ෂණ ක්‍රියාවලියෙන් ඉවත් වී ඇති බව මාධ්‍ය වාර්තා කර තිබුණා. මෙයින් කියැවෙන්නේ රට තුළ සාමාන්‍ය තත්වයක් තිබෙන බව බලහත්කාරයෙන් ඒත්තු ගැන්වීමේ උවමනාවක් ආණ්ඩුවට තිබෙන බවයි. ඒ ඡන්දය සඳහායි. රැස්වීම්වල සීමාකම් පිළිබඳ නිර්ණායකයන් ඉදිරිපත් කර මැතිවරණ කොමිසමටත් එහි සාමාජිකයන්ටත් රාජපක්‍ෂලාගේ බුරා පනින කට්ටිය අවලාද නගන හැටි අපි දැක්කා. ප්‍රධාන රැස්වීම් අවලංගු කිරීම මැතිවරණ කොමිසමේ කුමන්ත්‍රණයක් බවට චෝදනාවක් තිබෙනවා. ඒනිසා ආණ්ඩුවට සාමාන්‍ය තත්වයක් ඇතිවේ යැයි කියා බොරු මතයක් නිර්මාණය කරන්න උත්සාහ කිරීමේ ප්‍රතිඵලයක් හැටියට සියලු ජනතාවන්ට මේ සම්බන්ධයෙන් තිබුණු බිය මුළුමනින්ම අත්හැරෙන්න පටන් ගත්තා. මේ නිසා කන්දකාඩුවේ මත්ද්‍රව්‍ය පුනරුත්ථාපන මධ්‍යස්ථානය මූලික කරගෙන බරපතළ වෛරස් ව්‍යාප්තියක් ඇතිවී තිබෙනවා.

මේ මධ්‍යස්ථානයට වෛරසය ඇතුළු වුණේ කොහොමද කියන එක තාමත් හොයාගෙන නැහැ. ඒ මධ්‍යස්ථානයේ සේවය කළ තනැත්තියකට කොවිඞ් 19 රෝගයේ සියලුම ලක්‍ෂණ තිබුණු බවත් එම මධ්‍යස්ථානයේ විශාල පිරිසකටද එම ලක්‍ෂණ තිබුණු බවත් නමුත් එය වෛරස් උණ තත්වයක් හැටියට කල්පනා කළ බව ෆේස්බුක් සටහනක තිබුණා. කොවිඞ් අනතුර පිළිබඳව අවධානයක් සමාජයේ තිබුණා නම් මේ ලක්‍ෂණ පහළ වන විට තමන්ට කොවිඞ් වෛරසය වැළඳී ඇති බවට සැක හිතෙනවා. නමුත් මැතිවරණය ඉලක්ක කරගෙන ආණ්ඩුව රට තුළ ගොඩනගා තිබූ සාමාන්‍ය තත්වය පිළිබඳව අවධානය නිසා ජනතාව අතරින් රෝගය සඳහා තිබූ බිය පහවී තිබුණා. ඒ නිසා දැන් පොදු ජනතාවගේ ආරක්‍ෂාව පිළිබඳව සැකයක්, අවිනිශ්චිතතාවයක් මතුවී තිබෙනවා. අපි මේකට අනියත බියක් නිර්මාණය කරගත යුතු නැහැ. නමුත් ඉදිරි ආසන්න දින කිහිපය පුරා අපි හැම දෙනාම දැඩි විමසිල්ලකින් පසුවිය යුතු තත්වයක් නිර්මාණය වී තිබෙනවා. පාලකයන් බලය වෙනුවෙන් මොන කටයුතු කළත් අපි ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ ඔබ ප්‍රවේශම් වෙන්න, සෞඛ්‍ය අංශ විසින් ලබාදී තිබෙන සෞඛ්‍ය ආරක්‍ෂණ කටයුතු නිසි පරිදි පිළිපදින්න කියන ඉල්ලීමත් කරනවා.

මේ මාධ්‍ය සාකච්ඡාවේ මූලික අවධානය ඊළගට යොමු කරන්න කැමතියි. ඒ, අපේ රටේ රාජ්‍ය සේවය මුහුණ දී සිටින ගැටළු පිළිබඳව. මේ කොවිඞ් වසංගතය හරහා පෙන්නුම් කර තිබෙන්නේ ශක්තිමත් රාජ්‍ය සේවක අවශ්‍යතාවයි. විශාල ගොඩනැගිලිවල සුව පහසුවට විශාල අයකිරීම් සහිත රෝහල් පද්ධතියක් පෞද්ගලික අංශයට තිබෙනවා. නමුත් එක කොවිඞ් රෝගියෙක්වත් එම රොහලකට බාර ගත්තේ නැහැ. එක පරීක්‍ෂණයක්වත් සිදුකළේ නැහැ. මෙම වසංගතයේ සියලුම බර රාජ්‍ය අංශයේ රෝහල්වලට පැවරී තිබෙනවා. රාජ්‍ය අංශය නීති සම්පාදනය සහ යටිතල පහසුකම් සම්පාදනයට පමණක් සීමා කිරීමට පැවති සෑම ආණ්ඩුවක්ම ක්‍රියාකර තිබුණා. රජයෙන් අත්හැරිය යුතු අත්‍යාවශ්‍ය මහජන සේවාන් අතර සෞඛ්‍ය සේවයත් තිබුණා. අපේ රටේ වතු, කර්මාන්ත ශාලා පෞද්ගලික අංශයට පවරමින් තිබෙනවා. එහි ප්‍රධාන දිගුවක් වශයෙන් රනිල් වික්‍රමසිංහගේ පාලනය තුළ 2016 ජනවාරි මස පළමුවැනිදා සිට රාජ්‍ය සේවයට බඳවා ගන්නා අයගේ විශ්‍රාම වැටුප අහෝසි කළා. මේ දිනයට පෙර ලබාදුන් පත්වීම් ලිපියක සඳහන් වෙන්නේ “මෙම තනතුර ස්ථිරය, මෙම තනතුර විශ්‍රාම වැටුප් සහිතය, තවද ඔබේ පත්වීම එක් වර්ෂයක පුහුණු කාලයකින් යුක්ත වේ.” කියලයි. නමුත් 2016 ජනවාරි 01වැනිදාට පසුව ලබාදුන් පත්වීම් ලිපියක සඳහන් වෙන්නේ “මෙම තනතුර ස්ථිරය, එතකුදු වුවත් ඔබ වර්ෂ 3ක පරිවාස කාලයකට යටත් විය යුතුය.” කියල විතරයි. විශ්‍රාම වැටුපක් පිළිබඳව පත්වීම් ප්‍රදානය කිරීමේ ලිපිය සඳහන් වෙන්නේ නැහැ. මේ දිනයේ ඉඳලා රාජ්‍ය සේවයට බඳවා ගන්නා අයගේ විශ්‍රාම වැටුප අහෝසි කරලා තියෙන්නේ. වෙනත් යෝජානා ක්‍රමයක් හදන බව කීවත් තාමත් ඒ කිසිවක් නැහැ.
ජීවනාංකය ඉහළ යාමට සමාන්තරව වැටුප් වර්ධකයක් නියම කර තිබුණා. 2016 ජනවාරි 01වැනිදා ඉඳන් 2020 ජනවාරි 01වැනිදා දක්වා විශ්‍රාම ගිය අයට ඔවුන්ගේ ස්ථිර වැටුපේ ගැටළු මතුවී තිබෙනවා. විශ්‍රාමය සම්බන්ධයෙන් ලබාදෙන ලිපියේ ඔහු විශ්‍රාම ගන්නා මොහොතේ විශ්‍රාම වැටුප සහ 2020 ජනවාරි 01වැනිදා සිට ලබාදීමට නියමිත වැටුප ගැන සඳහන් කර තිබුණා. සාමාන්‍යයෙන් ගත්තොත් රු. 10500 සිට 25,000 දක්වා මුදලකින් වැඩිවීමට නියමිතව තිබුණා. 2019 දෙසැම්බර් 10වැනිදා විශ්‍රාම වැටුප් අධ්‍යක්‍ෂ ජනරාල්තුමා චක්‍රලේඛයක් නිකුත් කරමින් ජනවාරි 01වැනිදා සිට නියමිත විශ්‍රාම වැටුප් ඉහළ දැමීම කරන බවට දැන්වූවා. නමුත් ජනවාරි 20වැනිදා චක්‍රලේඛයක් නිකුත් කර වැඩිවූ විශ්‍රාම වැටුප නතර කරන බව දැක්වූවා. අවසානයේ සිදුවී තිබෙන්නේ විශ්‍රාම වැටුප් කොමසාරිස්තුමාටත් මේ හිමි විශ්‍රාම වැටුප නැතිවන තත්වයක්. රාජ්‍ය සේවකයන්ගේ විශ්‍රාම වැටුප කප්පාදු කරපු ආණ්ඩුවක් මේ. අපේ ලාල් කාන්ත සහෝදරයා මේ සම්බන්ධයෙන් ශ්‍රේෂඨාධිකරණයේ නඩුවක් පවරා තිබෙනවා. පහුගිය අවුරුද්දේ ඔක්තෝම්බර් මාසයේ විධායක ශ්‍රේණියේ නිලධාරීන්ගේ වැටුප් වර්ධක සම්බන්ධයෙන් විශාල උද්ඝෝෂණයක් තිබුණා. එහි ප්‍රතිඵලයක් හැටියට මසකට රු. 15,000ක අතුරු දීමනාවක් දීමේ එකඟතාවකට ආවා. ජනවාරි මාසයේ සිට ලබාදීමට නියමිතව තිබූ මේ දීමනාවත් ආණ්ඩුව නතර කර දැම්මා.

රාජ්‍ය සේවයේ විශාල පුරප්පාඩු ප්‍රමාණයක් තිබෙනවා. උදාහරණයක් හැටියට දුම්රිය දෙපාර්තමේන්තුවේ 7,000කට පමණ, සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේත් මේ වගේ විශාල පුරප්පාඩු ගණනක් තිබෙනවා. රැකියාවකට බඳවාගෙන උසස්වීම් සහ වැටුප් වර්ධක ලබා දෙනවාට වඩා ඉන්න සේවකයන්ට අතිකාල දීමනා ලබාදී අදාළ සේවයන් ලබාගැනීමට ආණ්ඩුව ක්‍රියා කරනවා. දැන් මේ අතිකාල දීමනාත් කප්පාදු කරනවා. සෞඛ්‍ය දෙපාර්තමේන්තුව ඇතුළු දෙපාර්තමේන්තු ගණනාවක අතිකාල අත්හිටුවලා. කොවිඞ් වසංගතය පාලනය කිරීමට විශාල කැපවීමක් කළ සෞඛ්‍ය සේවයේ පවා අතිකාල කපා දැමුවා. ඒ නිසා ඔවුන්ට උද්ඝෝෂණය කරන්න සිද්ධවෙලා තිබෙනවා. රාජ්‍ය සේවය තුළ විශාල බලපෑමක් කළ හැකි ක්‍ෂේත්‍ර වෘත්තීය ක්‍රියාමාර්ග හරහා තමන්ට නියමිත වැටුප් වර්ධක ලබාගන්න හැකිවී තිබෙනවා. නමුත් බලපෑම් කළ නොහැකි සේවාවන්ට වැටුප් වර්ධක නැහැ. මේ තත්වය තුළ අපේ රටේ විකෘති වැටුප් විෂමතාවයක් ඇතිවී තිබෙනවා. අනෙකුත් ක්‍ෂේත්‍රවල යෙදී ඉන්න බොහෝ දෙනෙකුට ජීවන වියදම ඉහළ යාමට සමාන්තරව ආදායම් වැඩි කර ගන්න පුළුවන්. නමුත් ස්ථීර මාසික වැටුප් ලබන අයට මේ අවස්ථාව නැහැ. ජීවන අංකයට සමාන්තර වැටුප් වැඩිවීමේ ක්‍රියාමාර්ග තිබුණාට දැන් ඒවා අනුගමනය කරන්නේ නැහැ. 2006 සිට වැටුප් විෂමතාවය අවම කර ගැනීමේ විශාල අරගලයක් තිබෙනවා.

මේ නිසාම රනුක්ගේ ඒක පුද්ගල වැටුප් කමිටුව වාර්තාවක් ලබාදී තිබෙනවා. පහුගිය නොවැම්බර් මාසයේ ඊට අදාළ නිර්දේශ ලබාදී ජනවාරි මාසයේ සිට ක්‍රියාත්මක වීමට නියමිතව තිබුණා. නමුත් ඒ වාර්තාවත් පැත්තකට දමලා. මේ ආණ්ඩුව වැටුප් විෂමතාවය ඉවත් කිරීමට ගන්නා ලද ක්‍රියාමාර්ග අත්හැරීම පිළිබඳව වගකියන්න ඕනෑ. අපේ රටේ රාජ්‍ය සේවයට පත්වීම් ලබාදීමේදී පහුගිය කාලයේ අධ්‍යාපන සුදුසුකම්, උසස්වීම් වගේ මූලික කිසිදු සැලකිල්ලක් නැතිව ලබාදී තිබෙනවා. පුස්තකාල සහායක කියලා දේශපාලන පත්වීම් ලබාදී තිබෙනවා. නමුත් සමහර ඉස්කෝලවලට පුස්තකාල නැහැ. රාජ්‍ය අංශය වර්ධනය කරන්නේ නැතිව විවිධ දේශපාලන වුවමනාවන් මත රාජ්‍ය අංශය පිරෙව්වා. මේ නිසා අවුරුදු 4ක උපාධි පාඨමාලා හදෑරූ අය සංවර්ධන නිලධාරීන් වශයෙන් පත්කර සිටිනවා. හදාරා තිබෙන උපාධි පිළිබඳව කිසිදු සැලකිල්ලක් නැතිව අපේ තරුණ පරම්පරාව මංමුලාකර තිබෙනවා. විශේෂයෙන්ම පොලීසියටත් මෙවැනි බරපතළ විෂමතාවයන් පවතිනවා. පොලිස් සේවයට බඳවා ගන්නා කොස්තාපල් තනතුරේ අවුරුදු තිස් ගාණක් ඉඳලා විශ්‍රාම යන්න සිදුවී තිබෙනවා. මේ වගේ විවිධ උදාහරණ මගින් පැහැදිලි වී තිබෙන්නේ රාජ්‍ය සේවයේ විශාල අතෘප්තිකර තත්වයක් තිබෙන බවයි. රාජ්‍ය සේවය බිඳවැටීමට ප්‍රධාන හේතුවක් බවට ප්‍රවාහන පද්ධතියේ තිබෙන ගැටලු බලපා තිබෙනවා. නිසි ප්‍රවාහන පහසුකම් නැතිව තෘප්තිමත් රාජ්‍ය සෙවයක් ලබාගන්න බැහැ. ඒ වගේම 1970ට කලින් තිබුණු රාජ්‍ය සේවා කොමිෂන් සභාව අහෝසි කිරීමත් එක්ක අද රාජ්‍ය සේවය පිළිබඳව ඒ නිලධාරීන් තුළ පවා විශාල අතෘප්තියක් ගොඩනැගී තිබෙනවා. මේ නිසාම ප්‍රතිලාභ ලබාගන්නා පුරවැසියා තෘප්තිමත් නැහැ.

රජයේ වැදගත් ස්ථානවලට හිටපු හමුදා නිලධාරීන් පත්කර උපායමාර්ගයක් ආණ්ඩුව අනුගමනය කරනවා. යම්කිසි ජනතාවගෙන් පිරිසකුත් මේ උපාය මාර්ගය අනුගමනය කිරීමෙන් රාජ්‍ය සේවය ගොඩනැගි හැකි බවට කල්පනා කරනවා. අපේ හිටපු හමුදාපති දයා රත්නායක වරාය අධිකාරියේ සභාපති බවට පත්කළා. නමුත් ඔහු යටතේ නැගෙනහිර ජැටියේ දොඹකර ටික ගොඩබා ගන්න බැරි වුණා. මීට කලින් වී මිලදී ගැනීමේ ක්‍රියාවලිය දිසාපතිවරයාට කේන්ද්‍රගතව තිබුණා. ඒකටත් හමුදාව යෙදවූවා. පාරිභෝගික අධිකාරියටත් හමුදා නිලධාරියෙක් පත්කළා. එතුමා වී මෝල් නිරීක්‍ෂණය කරන්න ගියා. නිරීක්‍ෂණය කරන්න යනකොට රු. 90ට තිබුණු හාල් කිලෝ එක නිරීක්‍ෂණයෙන් පස්සේ රු. 98ක් වුණා. මම මේ කියන්නේ හමුදා නිලධාරීන් යුද්ධය අවසන් කිරීමේදී විශාල කැපකිරීමක් දැක්වූවත්, විශේෂ අවස්ථාවන්හිදී කාර්යසාධක බලකා වශයෙන් විශාල කැපකිරීමක් කළ කණ්ඩායමක්. ඔවුන් තැන් තැන්වල ඉහළ නිලයන්ට පත්කර හමුදාවට තිබුණු ගරුත්වයත් නැති කිරීමට ආණ්ඩුව ක්‍රියාකර තිබෙනවා. මේ නිසා දැන් ජනතාව “ඩඞ්ලිගේ හාල්වල ගාන කීයද, බි්‍රගේඩියර්ගේ හාල්වල ගාන කීයද” කියල අහන තත්වයට පත්වෙලා. ජනාධිපතිවරයා රජයේ ප්‍රධාන තැන්වලට කඩා පැනීමත් ඒ වගේම හමුදා නිලධාරීන් ප්‍රධාන තැන්වල ඉහළ පුටුවලට පත් කිරීමත් අසාර්ථක වී ඇති බව තහවුරු වෙලා.

ඒ නිසා අපේ රටේ රාජ්‍ය සේවය ඉතාමත් ශක්තිමත් තැනකට පත්කිරීමේ ප්‍රතිපත්තිමය දැක්මක් අපිට තිබෙනවා. නිවැරදි ආකාරයට රාජකාරි පැවරීම්, උසස්වීම් ලබාදීම්, සේවාවට සරිලන වේතනයන් ලබාදීම් අපේ ප්‍රතිපත්තියේ ඇතුළත් වෙනවා. තෘප්තිමත් රාජ්‍ය සේවකයෙක් තුළින් ජනතාවට තෘප්තිමත් සේවාවක් ලබාගත හැකි ස්ථාන බවට රාජ්‍ය සේවය පත් කරනවා. අපි මාලිමාවෙන් ඉදිරිපත් කර තිබෙන මැතිවරණ අපේක්‍ෂකයන් වටා ඒකරාශී වී ශක්තිමත් මහජන නියෝජනයක් පාර්ලිමේන්තුව තුළ ලබාදෙන්න කියලා සියලු දෙනාගෙන්ම ඉල්ලා සිටිනවා.

ආණ්ඩුවේ මැතිවරණ ක්‍රියාවලිය නිසා ජනතාව රෝගය පිළිබඳව සැහැල්ලු තත්වයකට පත්වුණා…
– ජාතික ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික් අපේක්‍ෂක, විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ

අපේ රට තුළට කොරා්නා වෛරසය ව්‍යාප්ත වන විට ලෝකයේ වෙනත් රටවල අත්දැකීම් අපිට තිබුණා. රෝගය පැතිරෙන ආකාරය, අවදානම් කණ්ඩායම්, රෝගය වළක්වා ගැනීමේ ක්‍රියාමාර්ග වගේ මූලික කරුණු බොහොමයක් ගැන අවබෝධක් අපිට තිබුණා. නමුත් සෞඛ්‍ය අංශ සහ අනෙකුත් සහායක අංශවල පූර්ණ ක්‍රියාකාරිත්වයට අදාළ පසුබිම ආණ්ඩුව සකස් කර දුන්නේ නැහැ. තීරණ ගැනීමේ බරපතළ ගැටලු තිබුණා. වසංගත රෝග වැළැක්වීම පිළිබඳව අවුරුදු 60 අත්දැකීම් අපේ රටේ තිබෙනවා. නමුත් ඒ අත්දැකීම් මෙහිදී ලබාගත්තේ නැහැ. මේ වගේ තීරණ ගැනීමේදී දේශපාලන අරමුණු මත ආණ්ඩුව ක්‍රියා කිරීමෙන් මුලදී ලබාගත් ජයග්‍රහණ පවා අහෝසි වී යන තත්වයක් දැන් උද්ගත වී තිබෙනවා. හමුදා අංශ වසංගතය පාලනය කිරීමට යොදා ගැනීම ගැටලුවක් නැහැ. නමුත් තීරණ ගැනීම නිශ්චිත වෙලාවේදී කළේ නැහැ. ගුවන්තොටුපොළ සහ වරාය වසා දැමීම මුලදී කළේ නැහැ. රටට ඇතුල්වන පිරිස මේ රෝග පරීක්‍ෂණයට යොදා ගැනීමේ වැඩපිළිවෙළක් තිබුණේ නැහැ. ජනවාරි 30වැනිදා ලෝක සෞඛ්‍ය සංවිධානය මෙය ගෝලීය වසංගතයක් බව ප්‍රකාශයට පත්කළා. නමුත් මාර්තු අන්තිම වෙනතුරු ආණ්ඩුව ඒ පිළිබඳව උනන්දුවක් දැක්වූයේ නැහැ. මේ නිසා මුල් රෝගීන් සිය දෙනාගෙන් හැටක් විතර විදෙශයන්ගේ සිට පැමිණි අය වී තිබුණා.

රෝග නිරෝධායන කටයුතු නිසි පරිදි සිදු වුණෙත් නැහැ. විශේෂයෙන්ම විදේශයන්ගේ සිට පැමිණෙන අයත්, නාවික හමුදාවේ අයත් කණ්ඩායම් වශයෙන් නිරෝධායනය කිරීමේදී පළමු දින 14 ඇතුළත රෝගී තත්වයන් ඇති වුවහොත් ඒ කණ්ඩායමම තවත් දවස් 14ක් තියා ගත්තා. ඔන්න ඔය විදිහටයි අපේ රටේ නිරෝධායන සැලැස්ම ක්‍රියාත්මක වුණේ. සමහර නාවික නිලධාරීන් මේ තත්වය යටතේ මාස දෙකක් යන තුරු නිරෝධායන කඳවුරුවල රඳවාගෙන ඉඳලා. දැන් මැතිවරණය කිට්ටු වෙලා තියෙද්දී මේ ආණ්ඩුව මුල් කාලයේ දැක්වූ සැහැල්ලු ගතියම පවත්වා ගෙන යන්න උත්සාහ කළා. මාස දෙකක් තුළ මේ රටේ ජනතාව ඉතාමත්ම විනයගරුකව රෝගය පැතිරීම වළක්වන්න කළ කැපකිරීම් මේ වනවිට අවදානමට ලක්කර තිබෙනවා. ඒ කාලය තුළත් රු. 5,000 දීමනාව ලබාගන්න ජනතාව දින ගණනාවක් ඒ කාර්යාල අසල රැඳී සිටියා. නමුත් සමාජයෙන් රෝගීන් වාර්තා නොවීම නිසා රෝගය පැතිරුණේ නැහැ. නමුත් මාස දෙකකට පස්සේ ආණ්ඩුවේ මැතිවරණ ක්‍රියාවලිය නිසා ජනතාවත් සැහැල්ලු තත්වයට පත්වුණා. ජාතික ජන බලවේගයේ අපි සෞඛ්‍ය නිර්ණායකවලට අදාළව මැතිවරණ නීතිවලට අනුගත වෙලා අපේ ක්‍රියාමාර්ග දියත් කළා. නමුත් ආණ්ඩු පක්‍ෂය සහ ඇතැම් කණ්ඩායම් ඊට අනුගත නොවුණා පමණක් නොවේ, රූපවාහිනියෙන් දිගින් දිගටම ප්‍රදර්ශනය කළේ අනුගත වීමක් අවශ්‍ය නොවන බව හැඟවෙන තත්වයක්. ඒ නිසා මේ වනවිට කන්දකාඩු මූලික කරගෙන කොවිඞ් ව්‍යාප්ත වෙන්න පටන්ගෙන තිබෙනවා. අපි ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ රෝගය වැළැක්වීමේ ක්‍රියාමාර්ගවලට අනුගත වී දිගටම ක්‍රියා කරන්න කියලයි. ජනතාවට මේ රෝගය වළක්වා ගන්න අවශ්‍ය වුණාට ආණ්ඩු පක්‍ෂයට ඒ වුවමනාව නොවීම පිළිබඳව අපි කණගාටු වෙනවා. කොවිඞ් වසංගතයෙන් වැළකී මේ තියෙන පාලන ක්‍රමය වෙනස් කර සමාජ පරිවර්තනයක් කර ගන්න ජාතික ජන බලවේගය සමග එක්වෙන්න කියලා ආයාචනය කරනවා.

මේ ආණ්ඩුවෙන් ජාවාරම්කාරයින්ට මිස ජනතාවට ප්‍රමුඛත්වයක් නැහැ…
– ලංකා කම්කරු සම්මේලනයේ මහින්ද රත්නායක

1977 ජේ.ආර්. ජයවර්ධනගෙන් පටන් ගත්ත නව ලිබරල් ආර්ථිකයත් එක්ක පෞද්ගලික අංශය දිරිමත් කර රාජ්‍ය අංශය දුර්වල කරන්න අධිකාරීවාදී පාලනයක් ඉතාමත් අත්‍යවශ්‍යයි. ලංකාවේ කම්කරු පංතිය අතීතයේදී දිනාගත් අයිතිවාසිකම් ක්‍රමානුකූලව එකින් එක කප්පාදු කරලා. අද පෙන්ෂන් එකත් නැහැ. රාජ්‍ය සේවයට බැඳෙන්නේ විශාල පඩියක් ගන්න නොවෙයි. සමාජ ආරක්‍ෂණය ඇතුළු අනෙකුත් පහසුකම් ගන්න බලාගෙනයි. නමුත් මේ වෙනකොට ඒ රාජ්‍ය සේවි ඉතාමත් කණගාටුදායක මට්ටමෙන් බිඳවට්ටා පෞද්ගලික අංශයට සියලුම සේවාවන් ලබාදෙන්න ක්‍රියා කිරීමයි. නව ලිබරල් ආර්ථික ප්‍රතිපත්තිය මුලින්ම ක්‍රියාත්මක කරපු චිලියේ සිදු කළෙත් මේ දේමයි. ඇමරිකාවේ ඒජන්තයන් හමුදා නායකයෙක් බලයට පත් කරලා ඒ තුළින් මෙය ක්‍රියාත්මක කරන්න පටන් ගත්තා. ඔහු පත්කළ විගසම සියලුම මාධ්‍ය ආයතනවලට හමුදා ජනරාල්වරු පත්කළා. ඉන් පසු රාජ්‍ය සේවකයන් 350,000ක් දේශපාලන හේතුන් උඩ එළියට දැම්මා. ඊට පස්සේ රාජ්‍ය සේවය තුළට ඔත්තු සේවාවන් දැම්මා. වෘත්තීය සමිති නායකයෝ, ප්‍රජාතන්ත්‍රවාදී නිදහස වෙනුවෙන් වැඩකරන කම්කරු පංතිය 20,000ක් විතර මරා දැම්මා. 60,000ක් විතර හිර ගෙවල්වලට දාලා සියලු වෘත්තීය සමිති තහනම් කළා. වැඩ කරන ජනතාවගේ කලාකරුවෙකු වූ වික්ටර් හාරා ඝාතනය කළා. චිලියේ නව ලිබරල් ආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාත්මක කළේ මේ ආකාරයට.

ඊට පස්සේ එංගලන්තයේ මාග්‍රට් තැචර් මෙය ක්‍රියාකාරිත්වයට ගත්තා. ගල් අඟුරු කම්කරුවන් ඇතුළු වැඩ කරන ජනතාව ඊට එරෙහිව නැගිට්ටා. ඔවුන් සියලු දෙනාම එළියට දැම්මා. මේ විදිහටම ඇමරිකාවේ රේගන් යටතේ මේ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කළා. ඊට විරුද්ධව ගුවන් සේවකයන් නැගී හිටියා. ඒ අරගලයත් බිමටම සමතලා කර දැම්මා. ඉන් පසුව ලංකාවේ ක්‍රියාත්මක කරන්න පටන් ගත්තා. 1980 ජූලි වර්ජනයේදී ජේ.ආර්. ජයවර්ධන ලංකවේ වෘත්තීය සමිති ව්‍යාපාරය සමතලා කර දැම්මා. 80,000ක් දෙනා එළියට ඇදලා දාලා විධායක ජනාධිපති ධුරයේ අධිකාරිවාදී පාලනය ආරම්භ කළා. ඒ විධායක ජනාධිපතිධුරයේ අවසාන අදියර තමයි දැන් මේ ඇවිත් තියෙන්නේ. අද සියලුම දේවල් අර්ධ හමුදාකරණයකට ලක් වෙමින් තිබෙනවා. කොවිඞ් වසංගතය මර්දනය කිරීම පවා හමුදාව ප්‍රමුඛ කරගෙන කාර්යසාධක බලකාය හැදුවා. නමුත් මෙහි ප්‍රමුඛ කරගත යුත්තේ සෞඛ්‍ය කාර්යාංශයි. සෞඛ්‍ය සේවය, විශේෂඥ වෛද්‍යවරුන් මූලික කරගත්ත අතුරු සේවා සැපයීම හමුදාවේ කාර්යභාරයයි. නමුත් එය නොකර ජනතාව බියගැන්වීමේ වැඩපිළිවෙළ ඉදිරියට ගෙන දැන් එය අසාර්ථක වී ඇති බව පැහැදිලි වී තිබෙනවා. මේ තත්වයන් අවසන් කරන්න ජාතික ජන බලවේගයට ඡන්දය පාවිච්චි කර වැඩ කරන ජනතාවගේ ජයග්‍රහණ තහවුරු කරන ලෙස ඉල්ලනවා. අගෝස්තු 05වැනිදාට පස්සේ ප්‍රජාතන්ත්‍රවාදී නිදහස රැක ගැනීමට මේ ඡන්දය තීරණාත්මකයි. දූෂිත දේශපාලඥයන් සහ මූල්‍ය ජාවාරම්කාරයන් මූලික කර ගන්නවා මිස ජනතාවට ප්‍රමුඛත්වයක් මේ ආණ්ඩුවෙන් ලැබෙන්නේ නැහැ.

මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින්…

ක්‍රිකට් පාවාදීමක් යැයි චෝදනාවක් එල්ල කරමින් මහින්දානන්ද ඇමතිවරයා බරපතළ ප්‍රහාරයක් එල්ල කළා. ක්‍රීඩා පනත අනුව වැරදිකරුවෙකු වන ප්‍රකාශ කර නිකුත් කර තිබෙනවා. ඊට අදාළව පරීක්‍ෂණය පවත්වා පාවාදීමක් නැති බව ප්‍රකාශ කළා. මේ නිසා කීඩා පනත අනුව වැරදිකරුවෙක් වී දඩ මුදලක් සහ බන්ධනාගාරගත තිරීමක් යන දඬුවම් දෙකම පැමිණවිය හැකියි. සමාජවාදී තරුණ සංගමය මේ පිළිබඳව පැමිණිලි ඉදිර්ිපත් කර තිබෙනවා. ඒ සම්බන්ධයෙන් විධිමත් ක්‍රියාමාර්ග ගන්නා බව තාමත් අපිට දැනෙන්නේ නැහැ. ඒ නිසා මේ සතියේ නැවත පොලිස්පතිවරයා මුණගැසී මේ පිළිබඳව විමසීමට බලාපොරොත්තු වෙනවා.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *