මිලියන 30 ක කේරළ ගංජා

හමුදා තොරතුරු

රුපියල් මිලියන 29 කට අධික වටිනාකමකින් යුත් කේරළ ගංජා සමග පුද්ගලයින් 03 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට නාවුක හමුදාව සමත් වේ.

ඉකුත් සතිය තුළ සිදු කළ විශේෂ මෙහෙයුම් මගින් කේරළ ගංජා කිලෝ 98 ග්‍රෑම් 715 ක්, අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 950 ක් (Crystal Methamphetamine) සමග සැකකරුවන් 03 දෙනෙක් නීතියේ රැහැනට හසු ව ඇත.

උතුරු නාවුක විධානය ඔක්තෝම්බර් 29 වැනි දා කරෙයිනගර්, කෝවිලම් ප්‍රදීපාගාරයට ඔබ්බෙන් වූ මුහුදේ සිදු කළ විශේෂ මෙහෙයුමක දී සැක කටයුතු ඩිංගි යාත්‍රාවක් පරීක්ෂා කරනවිට, මලු කිහිපයක් මුහුදට දැමූ ඩිංගි යාත්‍රාවක් නිරීක්ෂණය වී තිබේ.

එය කරෙයිනගර් කසුරිනා වෙරළ දෙසට යාත්‍රා කළ අතර, පසුව සිදු කළ සෝදිසි මෙහෙයුමේ දී කසුරිනා වෙරළේ අතහැර දමා ගොස් තිබූ සැක කටයුතු ඩිංගි යාත්‍රාව නාවුක හමුදා භාරයට ගැනිණ.

එම මුහුදු ප්‍රදේශයේ සිදු කළ වැඩිදුර පරීක්ෂාවේ දී තෙත බර කේරල ගංජා කිලෝ 82 ග්‍රෑම් 450 ක් පමණ වූ උර 04 ක් නාවුක හමුදා භාරයට ගත් අතර, ඩිංගි යාත්‍රාවේ හිමිකරු සෙවීම සඳහා වැඩිදුර පරීක්‍ෂණ ක්‍රියාත්මකයි.

ඔක්තෝම්බර් 26 වැනි දා උතුරු මැද නාවුක විධානය සහ මන්නාරම පොලිස් විශේෂ කාර්යය බලකාය එක් ව මන්නාරම පුදුකුඩුයිරිප්පු ප්‍රදේශයේ සිදු කළ විශේෂ මෙහෙයුමක දී, සැක කටයුතු යතුරුපැදියක් පරීක්ෂා කර කේරළ ගංජා කිලෝ 04 ග්‍රෑම් 450 ක් රැගෙන යමින් සිටි පුද්ගලයෙකු, කේරල ගංජා සහ අදාල යතුරුපැදිය අත්අඩංගුවට ගෙන තිබේ.

තලෙයිමන්නාරම ඌරුමලේ ප්‍රදේශයේ සිදු කළ තවත් සෝදිසි මෙහෙයුමක දී කැලෑ ප්‍රදේශයක සඟවා තිබූ කේරළ ගංඡා කිලෝ 01 ග්‍රෑම් 765 ක් බරැති පාර්සලයක් සොයා ගන්නා ලද අතර, නරුවිලිකුලම් ප්‍රදේශයේ සිදුකළ සෝදිසි මෙහෙයුමක දී කැලෑ ප්‍රදේශයක සඟවා තිබූ කේරළ ගංජා කිලෝ 10 ග්‍රෑම් 50ක් පමණ බරැති පාර්සල් 03 ක් නාවුක හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

ඔක්තෝම්බර් 25 වැනි දා උතුරු නාවුක විධානය සහ වැල්වැටිතුරේ පොලීසිය එක් ව වැල්වැටිතුරේ, උරණි ප්‍රදේශයේ සිදු කළ සෝදිසි මෙහෙයුමක දී නිවසක් තුළ සඟවා තිබූ අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 950 ක් සමඟ සැකකරුවන් 02 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

නාවුක හමුදා භාරයට පත් සමස්ත කේරල ගංජා තොගයේ පමණක් වීථි වටිනාකම රුපියල් 296,145,00.00 පමණ (මිලියන 29.61) වන බවට විශ්වාස කෙරේ.

කොවිඩ් 19 ව්‍යප්තිය වැළැක්වීම සඳහා ලබා දී ඇති සෞඛ්‍ය උපදෙස් හා ක්‍රමවේද අනුගමනය කරමින් අත්අඩංගුවට ගත් පුද්ගලයන් වයස අවුරුදු 34 සහ 39 වයසේ පසුවන පේදුරුතුඩුව, උරණි සහ කල්පිටිය යන ප්‍රදේශවල පදිංචිකරුවෝ වෙති.

ඔවුන් කේරළ ගංජා, අයිස් මත්ද්‍රව්‍ය, ඩිංගි යාත්‍රාව සහ යතුරු පැදිය සමග ඉදිරි නීතිමය කටයුතු සඳහා කයිට්ස්, තලෙයිමන්නාරම, මන්නාරම, වංකාලේ සහ වැල්වැටිතුරේ පොලිස් ස්ථාන වෙත භාර දී තිබේ.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *