රාජ්‍ය කඨිණ මහෝත්සවය

ආගමික රටතොට

රාජ්‍ය කඨින සහ පඬු පෙවීමේ මහා මංගල්‍යය ජනාධිපති ගොඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් නොවැම්බර් 08 වැනි දා පෙරවරුවේ පොළොන්නරුව ඓතිහාසික සෝමාවතී පුදබිමේ දී පැවැත්විණ.

දෙවැනි පරාක්‍රමබාහු රජ සමයෙන් අනතුරුව රාජ්‍ය අනුග්‍රහයෙන් කඨින මහෝත්සවයක් පැවැත්වුණු ප්‍රථම අවස්ථාව මෙය ලෙස සැලකේ.

කපු වගා කර, නූල් කටිමින්, එම නූලෙන් වියූ කපු රෙදි භාවිතයෙන් කඨින චීවරය මසා, පඬු පොවා සාංඝික කිරීම පෙර රජ දවස චාරිත්‍රයකි.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ මග පෙන්වීමෙන් සංවිධාන කළ කඨින චීවර පූජා මහෝත්සවයට පැමිණි ජනාධිපතිවරයා සෝමාවතී රජමහා විහාරාධිපති පූජ්‍ය පහමුණේ ශ්‍රී සුමංගල හිමියන් බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේ ය.

බුද්ධ පූජා පෙරහැරට සහ පූජාව පිළිගැන්වීමේ ආගමික වතාවතට සහභාගී වූ ඔහු කඨින චීවරය පඬු පෙවීමේ මංගල්‍යයට ද එක් විය.

දහවල් දානමය පුණ්‍ය කර්මයෙන් අනතුරුව පඬු පෙවූ කඨින චීවරය අමාත්‍ය දයාසිරි ජයසේකර විසින් පෙරහරින් වැඩම කරවනු ලැබී ය.

එය සඟ සතු කොට පූජා කරන ලද්දේ ජනාධිපතිවරයා විසිනි.

මල්වතු පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම නා හිමියෝ පුණ්‍යෝත්සවයේ ප්‍රධාන අනුශාසනාව සිදු කළ හ.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, සිරිපාල ගම්ලත්, රොෂාන් රණසිංහ යන රාජ්‍ය අමාත්‍යවරුන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක් ව සිටිය හ.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *