විද්‍යාපීඨ පත්වීම් ප්‍රමාද ඇයි?

අධ්‍යාපන

අධ්‍යාපන විද්‍යාපීඨ ඩිප්ලෝමාධාරීන්ගේ පත්වීම් ප්‍රමාදය පිළිබඳ ලංකා ගුරු සේවා සංගමය අධ්‍යාපන අමාත්‍යවරයා දැනුවත් කරයි.

සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ, අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් වෙත ලිපියක් යොමු කරමින් 22 වැනි දා මේ බව ප්‍රකාශ කර ඇත.

අදාල ලිපිය –

ගරු අධ්‍යාපන අමාත්‍ය,
ජී.එල්. පිරීස් මහතා,
අධ්‍යාපන අමාත්‍යංශය,
ඉසුරුපාය,
බත්තරමුල්ල.

අමාත්‍යතුමනි,

2016/18 අධ්‍යයන වර්ෂවලට අයත් අධ්‍යාපන විද්‍යාපීඨ ඩිප්ලෝමාධාරීන්ගේ පත්වීම් ප‍්‍රමාද වීම සම්බන්ධවයි.

2014 උසස් පෙළ විභාග ප‍්‍රතිඵල මත 2016/2018 අධ්‍යයන වර්ෂවල අධ්‍යාපන ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාව හදාරා අවසන් කළ ඩිප්ලෝමාධාරින් 3500 කට දිවයිනේ ගුරු පුරප්පාඩු රැසක් තිබියදී අධ්‍යාපන අමාත්‍යංශය මෙතෙක් පත්වීම් ලබාදීමට අපොහොසත් වීම සම්බන්ධව ලංකා ගුරු සේවා සංගමය විරෝධය පළකර සිටිමු.

02. 2016 වර්ෂයේදී ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශ මට්ටමින් පැවැති ගුරු පුරප්පාඩු ගණනය කර එම පුරප්පාඩු සම්පූර්ණ කිරීම සඳහා විෂයානුබද්ධව අයදුම්පත් කැඳවා අධ්‍යාපන විද්‍යාපීඨ 19 ක් සඳහා බඳවා ගනු ලැබූ මෙම ඩිප්ලෝමාධාරීන් තම වසර 03ක පාඨමාලා කාලය ද ඇතුළුව මේ වන විට උසස් පෙළ විභාගයෙන් අනතුරුව වසර 06 ක් ගතව ඇත. මෙය බෙහෙවින් ම කණගාටුදායක තත්වයක් වන අතර මෙම පත්වීම් පිරිනැමීම තවදුරටත් ප‍්‍රමාද කිරීමෙන් ඔවුන්ට මෙන්ම ගුරු පුරප්පාඩු වලින් වසර ගණන් පීඩාවිඳින දහස් ගණනක් සිසු දරුවන්ට ද සිදු කරමින් තිබෙනුයේ බලවත් අසාධාරණයකි.

03. මෙවැනි තත්වයක් තුළ අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය සුසිල් පේ‍්‍රමජයන්ත් මහතා සමඟ 2020. 10. 17 වැනි දින අධ්‍යාපන අමාත්‍යංශයේ දී පැවැති සාකච්ඡාවකදී මෙම විද්‍යාපීඨ ඩිප්ලෝමාධාරීන්ගේ පත්වීම් ලබාදීම පිළිබඳව කළ විමසීමකදී ඔහු කියා සිටියේ අදාල පත්වීම් ලබා දීම සඳහා ජාතික අධ්‍යාපන ආයතනය සමඟ අවසන් අනුමැතියද ගෙන ඇති බවයි.

04. මෙවර අයවැය ඉදිරිපත් කරමින් අගමැතිවරයා ප‍්‍රකාශ කර සිටියේ කාර්යක්ෂම රාජ්‍ය සේවයක් දියුණු මානව සම්පත් කළමනාකරණයක් සිදු කරන බවත්, අමාත්‍ය මණ්ඩලය ඇතුළු සමස්ත රාජ්‍ය සේවයම ඒ සඳහා සුදානම් විය යුතු බවත්ය. ආණ්ඩුව එසේ පුරසාරම් දොඩද්දී දිවයින පුරා වසර ගණන් පාසල්වල පවතින ගුරු හිඟය සම්පූර්ණ කිරීම සඳහා මෙම ඩිප්ලෝමාධාරීන්ට තවදුරටත් පත්වීම් ප‍්‍රමාද වන්නේ නම් එය කනගාටුවට කරුණකි.

එහෙයින් කඩිනමින් මෙම ගුරු පත්වීම් ලබාදීමට කටයුතු කරන ලෙස ලංකා ගුරු සේවා සංගමය ඉතා ඕනෑකමින් යුතුව ඉල්ලා සිටිමු.

ස්තූතියි.

මෙයට,
විධායක සභාව වෙනුවෙන්,
මහින්ද ජයසිංහ,
ප‍්‍රධාන ලේකම්,
ලංකා ගුරු සේවා සංගමය.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *