මහපාරේ විපක්ෂයක් ඕනෑ..

දේශපාලන

මේ වනවිට චීනය, ඉන්දියාව, ඇමරිකාව අපේ රට ආක්‍රමණය කරමින් ඉන්නා බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී. ලාල් කාන්ත කියයි.

වර්තමානයේ පාර්ලිමේන්තුවෙන් පිටත මහ පාරේ සැබෑ විපක්‍ෂයක් අවශ්‍ය බව හෙතෙම පෙන්වා දේ.

නොවැම්බර් 24 වැනි දා බත්තරමුල්ල පැලවත්තේ ජනතා විමුක්ති පෙරමුණ ප්‍රධාන කාර්යාලයේ දී මාධ්‍ය අමතමින් ඔහු ඒ බැව පැවසී ය.

ඔහු ඉදිරිපත් කළ අදහස් –

ජනතා විමුක්ති පෙරමුණ අද මේ මාධ්‍ය සාකච්ඡාව පවත්වන්නේ විශේෂ කරුණක් පදනම් කරගෙන. ආණ්ඩුව කොළඹ වරාය අවසන් හුස්ම හෙළීමට නියමිත තත්වයකට පත්කර තිබෙනවා. කොළඹ වරාය දකුණු කොටසේ ප්‍රධාන කොටස් තුනක් තිබෙනවා. ඉන් එක කොටසක් මහින්ද රාජපක්‍ෂ මහත්මයා චීන සමාගමකට වික්කා. බටහිර කොටස කියලා ක්‍රියාත්මක නොවන කොටසක් ත්යෙනවා. ඊළඟට නැගෙනහිර කොටස. කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය නමින් කතා කරන කොටස දැන් විකිණීමේ සාකච්ඡාවට ලක්වෙලා තියෙනවා.

මේ ආණ්ඩුව බලයට ආවේ, ජාතික සම්පත් විකුණන්නේ නැහැ කියන පොරොන්දුව ජනතාවට ලබා දෙමින්. මීට කලින් තිබුණු ආණ්ඩුව විකුණන්න උත්සාහ කළා. දැනට මේ ආණ්ඩුවේ ඉන්න වැඩි පිරිසක් පහුගිය හවුල් ආණ්ඩුවේ හිටියා. අනික් පැත්තෙන් සජිත්ගේ පක්‍ෂය, රනිල්ගේ පක්‍ෂය වගේම මෛත්‍රීගේ පක්‍ෂයත් මේ පොහොට්ටු පක්‍ෂයේ අයත් ඒ හවුල් ආණ්ඩුවේ හිටියා. බහාළුම් සඳහා ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් මීටර් 18ක් ගැඹුරින් ඉදි කරන ලද නැගෙනහිර කොටස සම්බන්ධයෙන් ගිවිසුමක් ඉන්දියාවත් සමග අත්සන් කළා. ඒක එකඟතා ගිවිසුමක් විතරයි. ඒ වෙලාවේ මහින්ද රාජපක්‍ෂ, ගෝඨාභය රාජපක්‍ෂ ප්‍රමුඛ දැන් බලයේ ඉන්න කණ්ඩායම හිටියේ විපක්‍ෂයේ. ඔවුන් වටා හිටපු සියලු දෙනා ඉන්දියාවත් එක්ක අත්සන් කළ මේ සහයෝගීතා ගිවිසුමට විරුද්ධව පාරට බැස්සා. තවත් කාරණා පදනම් කරගෙන ජනතාවට පොරොන්දුවක් දුන්නා. ඒ වගේම ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමාගේ ජනාධිපතිවරණ පොරොන්දුවකුත් දුන්නා ජාතික සම්පත් විකුණන්නේ නැහැ කියලා.

නමුත් පහුගිය 09වැනිදා නැගෙනහිර ජැටිය ඉන්දියානු සමාගමකට විකුණන්න කැබිනට් අනුමැතිය ගත්තා. මේ රටේ ජනතාවගේ ප්‍රශ්න විසඳන්න 20වැනි සංශෝධනය ගෙනල්ලා විශාල බලයක් ඕන බව ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපතිවරයා ප්‍රකාශ කළා. ජනතාවට දුන් පොරොන්දු ඉෂ්ට කරන්න තව බලයක් ඕනෑ බවයි ජනාධිපති වුණාට පස්සේ කීවේ. ඔක්තෝබර් 22දින 20වැනි සංශෝධනය සම්මත කරගෙන එදාම නැගෙනහිර ජැටිය සම්බන්ධ කැබිනට් පත්‍රිකාව ඇමති මණ්ඩලයට ඉදිරිපත් කළා. 09වැනිදා සම්මත කරගත්තේ ඒ කැබිනට් පත්‍රිකාව. 20වැනි සංශෝධනයෙන් බලය අරගෙන කරන පළමුවැනි වැඬේ මේක. කලින් මේ කොටසට ජපානය සම්බන්ධ කරගන්න කතාවක් තිබුණා. දැන් ඒවා පැත්තකට කරලා ඉන්දියානු සමාගමක් සම්බන්ධ වෙනවා. දැනට වරාය අධිකාරියට 51%ක කොටසකුත් ඉන්දියානු සමාගමට 49%ක කොටසකුත් වෙන්කරන බව කියනවා. නමුත් කැබිනට් තීරණයෙන් පස්සේ මේ සම්බන්ධයෙන් ක්‍රියා කරන්න වරාය අධිකාරියේ සභාපතිතුමා ඇතුළු අමාත්‍යාංශ ලේකම්වරුත් ඉන්න කමිටුවක් පත්කර තිබෙනවා. ඔවුන් මේ ගිවිසුම සකස් කරන කමිටුවක් හැටියට ක්‍රියා කරනවා. ඉන්දියානු තානාපති කාර්යාල තොරතුරු අනුව ඉන්දියාව 49%කට වැඩියෙන් ඉල්ලනවා. අපි ඒක ඉදිරියට බලමු.

ඉන්දියාව සම්බන්ධ කර ගැනීමෙන් වරායට ලැබෙන ආදායමින් විශාල කොටසක් ඉන්දියාවට ගලාගෙන යනවා. ඒ බවට සාක්‍ෂි චන්ද්‍රිකා කුමාරතුංග මැතිණියගේ කාලයෙන් හමු වෙනවා. එයා තමයි වරාය විකුණාගෙන කෑම ආරම්භ කළේ. ත්‍රිකුණාමල වරායේ ජැටි 3කින් එකක් ප්‍රීමා සමාගමට වික්කා. ඒ තමයි වරාය සම්බන්ධ අපේ ස්වාධීනත්වය වැනසීමේ ආරම්භය. ඊළඟට රනිල් වික්‍රමසිංහ මහත්තයා ජපානයේ සමාගමකට තව කොටසක් වික්කා. අෂ්රොෆ් ජැටිය කියන පොඩි කෑල්ල අපිට තියෙනවා. කොළඹ වරාය විකිණීම ආරම්භ කළේ මහින්ද රාජපක්‍ෂ මහත්තයා. කොළඹ දකුණ වරායේ දකුණු කොටස චීනයට වික්කා. අපේ වරායට එන නැව්වලින් වැඩි ප්‍රමාණය චීන වරායට යැව්වා. ඒකෙන් දැවැන්ත පාඩුවක් සිදුකරගෙන සොච්චම් බද්දක් ගන්නවා. අද චීනයට දීපු ඒ කොටස චීන කොලනියක් බවට පත්වෙලා. චීනයට දුන් කොටස විවෘත කරන දවසේ මහින්ද රාජපක්‍ෂ මහත්තයා ජනාධිපති හැටියට උත්සවය සහභාගී වුණා. එහිදී චීන කොඩිය ඔසවා චීන ජාතික ගීය ගායනා කළා. මේක හවුල් ව්‍යාපෘතියක්වත් නෙවෙයි. කොළඹ වරයා අපේ රටට අහිමි වීමේ ආරම්භය එදා පටන් ගත්තා.

වරාය අධිකාරියේ සල්ලි වියදම් කරලා ඒ ඉංජිනේරුවො සහ වරාය සේවකයෝ මැදිහත් වෙලා, දුක් විඳලා නැගෙනහිර ජැටිය හැදුවා. කන්ටේනර් 24,000ක් පටවා ගෙන යන නැව්වලට එන්න පුළුවන්. ශතයක්වත් ණය නොවී මේ ජැටිය ඉදි කළා. පහුගිය දිනවල දොඹකර හයි කරන්න ගෙනා වෙලාවේ ඉන්දියාව මැදිහත් වෙලා ඒ ටික ගොඩ බාන්නවත් දුන්නේ නැහැ. පස්සේ වෘත්තීය සමිති අරගලයකින් ඒ ටික ගොඩ බාන්න අවසර ගත්තා. ඊටත් පස්සේ ඉන්දීය විරෝධය මැද්දේම ඒ දොඹකර හයි කර බහාළුම් කටයුතු ක්‍රියාත්මක කරනවා. වරාය වෘත්තීය සමිති සහ ජනතා අරගලයක මැදිහත්වීමෙන් මේ ජයග්‍රහණය ගත්තා. ඒ අතර තමයි ඉන්දීය සමාගමකට පැවරීමේ ගිවිසුම අත්සන් කරන්න කමිටුවක් පත්කර තියෙන්නේ. මේක දුන්නොත් කොළඹ වරායෙන් අපේ රටට ලැබෙන සියලු ආදායම් අහිමි වී යනවා. චීනයට දීලා තියෙන කොටසත් එක්ක තරගයක් දෙන්න පුළුවන් තැන තමයි මේ විකුණන්න යන්නේ. වරාය නිලධාරීන් සහ ඉංජිනේරුවන්, සේවකයන් සියලු දෙනාම කියන විදිහට රටට ආදායම් උපයන තැනක් විදිහට කොළඹ වරාය ගොඩනගන්න පුළුවන්. ඊට අදාළ පුහුණු ශ්‍රමිකයෝත් ඉන්නවා. මේක ඉන්දියාවට දෙනවාට දයා රත්නායක මහත්තයත් විරුද්ධ බව වෘත්තීය සමිතිවලට කියා තිබුණා.

ජාතික සම්පත් විකුණන්නේ නැති බව කිවූ මහින්ද රාජපක්‍ෂ, ගෝඨාභය රාජපක්‍ෂ ප්‍රමුඛ 69 ලක්‍ෂයේ ආණ්ඩුව ජාතික සම්පත් විකිණීමෙන් ප්‍රශ්න ගණනාවක් ඇති වෙනවා. එකක් අපිට විදේශ විනිමය ලබාගන්න තිබෙන අවස්ථා නැති වෙනවා. මේ විකිණීමෙන් අපිට ණය දෙන රටක් හැටියට ඉන්දියාවෙන් තවදුරටත් ඩොලර් ලබාගන්න පාලකයන් බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ආර්ථික වශයෙන් ඉන්දියාවේ බලපෑමට තව තවත් ගොදුරු වෙනවා. ඒ කියන්නෙ අපේ රට වේගයෙන් ආර්ථික ආක්‍රමණයකට යටත් වෙමින් තිබෙනවා. ඇමරිකාව, චීනය, ඉන්දියාව ආයුධ පෙන්වන්නේ නැතිව අපේ කට්ටිය යටත් කර ගන්නවා. ආයුධ ගෙනඒම සම්බන්ධව අපේ රට යටත් කර ගන්න ඇමරිකාව ගිවිසුම් අත්සන් කරගන්න අරමුණක ඉන්න බව අමතක නොකළ යුතුයි. නමුත් මේ වෙලාවේ යුදමය ආක්‍රමණයකට වඩා ආර්ථික ආක්‍රමණයක් ඩොලර් හරහා සිදුකරමින් ඉන්නවා. අපි ඩොලර් හිඟාකන ජාතියක් බවට පත් කරලා රට ආක්‍රමණය කරමින් ඉන්නවා. අපේ රටේ ඉඩම්, ඒ මත තියෙන දේපොළ, ගුවන, මුහුද වගේම අපේ ප්‍රජාව වගේම අනන්‍යතාවයන් කියන රටට අයිති හැම දේම විදේශ ආක්‍රමණයන්ට ගොදුරු කරලා තියෙනවා.

ඇත්ත වශයෙන්ම දැන් ‘විදේශ ආක්‍රමණවලින් රට බේරා ගනිමු, ද්‍රෝහීන් පලවා හරිමු’ කියන හැඩයේ සටන් පාඨයක් තුළට ජනතාව ඒකරාශී කිරීමේ යුගයක් ඇවිල්ලා තියෙනවා. චන්ද්‍රිකාගේ ඉඳන්ම ඒ ද්‍රෝහීන් නඩය නම් කරන්න පුළුවන්. සජිත්ලාත් මේවාට අත ඉස්සුවා. එක පැත්තක මුස්ලිම් දේශපාලන නඩයක්, අනික් පැත්තෙන් දෙමළ දේශපාලන නඩයක් වගේම සිංහල සමාජයේ දේශපාලන නඩයත් කියන පිරිස් එකතු වෙලා මේ රට විදේශ ආක්‍රමණ රැසකට ගොදුරු කරලා. මේ ද්‍රෝහී නඩය පළවා හැරලා රට බේරා ගන්න ජාතික දේශපාලන මාවතකට අපේ රට ඇතුල් වෙමින් තියෙනවා. මේ ආක්‍රමණයට බලපා තියෙන භූගෝලීය දේශපාලන හේතූන් තියෙනවා. කොළඹ වරායේ දකුණු කොටස සංවර්ධනයට කියලා මහින්ද රාජපක්‍ෂ ආණ්ඩුව චීනයට දුන්නා. අදටත් ආර්ථික වශයෙන් අපිට වැදගත් වෙන්නේ කොළඹ වරාය. චීන්නුන්ට හම්බන්තොට වැදගත්. කොළඹ වරායේ දකුණු කොටස චීනයට නොදී ණය අරගෙන හදන්න තිබුණු දේ කළේ නැහැ. ඒ අනුව චීන කොලනියක් හදන්න විකුණා දැම්මා. දැන් එතෙන්ට ඉන්දියානු කොලනියක් බහිනවා. ඒ වගේම ඇමරිකන් කොලනියකුත් ඇති කරගෙන යනවා. මේ ගොල්ලන්ට වෙනම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස පවා හදන්න යනවා. කොළඹ නගරය ගත්තත් මේ රටවල් තුනට ඉඩම් විශාල ප්‍රමාණයක් විකුණන්න සියලු කටයුතු සූදානම් කරගෙන යනවා. හැබැයි කියන්නේ සංවර්ධනය සඳහා කියලා.

ඒ නිසා ඉතා පැහැදිලිව වේගයෙන් ක්‍රියාකරන විදේශ ආක්‍රමණ අපේ රටේ තියෙනවා. ජනතාවට අපි කියන්නේ මේක විදේශ ආක්‍රමණයක් හැටියට හඳුනාගන්න. 94 ඉඳන් මේ දක්වා ආණ්ඩු හදා ගනිමින් හා ආණ්ඩු වට්ටමින් ඒ පැත්තට, මේ පැත්තට පනිමින් අදියරෙන් අදියර රට ආක්‍රමණයකට ගොදුරු කර දුන්නා. ඊට සම්බන්ධ ද්‍රෝහීන් කවුද කියලා ජනතාව තේරුම් ගන්න ඕනෑ. ඒ අරගලයට ජනතාව ඒකරාශී කරගත යුතු අරගලය එළඹිලා තියෙනවා. ඒ නැතුව එක එක කෑල්ල කෑල්ල අරගෙන බේරගන්න හම්බ වෙන්නේ නැහැ. දැන් පේන්නේ දකුණු කොළඹ වරාය ගැන. වෙන් වෙන්ව එක එක කොටස් ගත්තොත් මේ සමස්තය දකින්න වෙන්නේ නැහැ. මේක වරාය සේවකයන්ගේ ප්‍රශ්නයක් නෙවෙයි. රටේ ප්‍රශ්නයක්. ඒක නිසා අපේ නායක හාමුදුරුවරුන්, වෙනත් ආගමික පූජකතුමන්ලා, ප්‍රගතිශීලී කොටස් මේ ආණ්ඩුව ඇතුළේ ඉන්න ජාතිකවාදී කියන අය, අපේ කණට කොඳුරලා හරි යන්නේ නැහැ. අතීතයේ ඉඳලා පෘතුගීසීන්, ලන්දේසීන්, ඉංග්‍රීසීන් මේ රටේ වැදගත්කම දැකලා ඇවිත් කඳවුරු බැඳගත්තා. නමුත් නිදහස ගත්තා කියන තැනින් පස්සේ අපේ පාලකයෝ මේක හදන්න උත්සාහ කළේ නැහැ. නැත්නම් මේ පිහිටීමේ වාසිය අරගන එක බලවතෙකුටවත් යටත් නොවී රට සංවර්ධනය කරන්න තිබුණා.

87දී ඉන්දියාව අපේ රටට කඩාගෙන වැදීම අරගලයක් තුළින් පරාජය කරන්න හැකි වුණා. ඒ අරගලයේ අඩුපාඩුකම් තිබුණත් අරමුණ ජයග්‍රහණය කළා. ඊට පස්සේ චීනය මේ රටට මැදිහත් කර ගත්තා. ඉන්දීය ආක්‍රමණයට පස්සේ ඩොලර් හරහා දියත් කළ ප්‍රබලම ආක්‍රමණය තමයි චීන ආක්‍රමණය. ඒකෙ ප්‍රධානම සාධකයක් තමයි හම්බන්තොට වරාය චීනයට විකිණීම. අවුරුදු 99කට දීලා තියෙනවා. ඊළඟට මුහුද ගොඩ කරලා පෝට් සිටිය හදනවා. ඊළඟට ෂැංග්‍රිලා ගෙනල්ලා තියෙනවා. එතකොට අනික් බලවත්තු නිකං ඉන්නේ නැහැ. දැන් ගෝඨාභයගේ අත කරකවලා ඉන්දියාව වරාය ගන්න විවිධ විදිහේ කටයුතු කරමින් ඉන්නවා. ඉස්සෙල්ලාම අපි පාලකයන්ට කියනවා, මේ වැඬේ කරන්න එපා කියලා. ඒ වගේම ජනතාවට කියනවා මේ තත්වය පරාජය කළ යුතුයි කියලා. චන්ද්‍රිකාගෙන් පටන් ගත්තු ප්‍රවාහය දැන් දේශප්‍රේමී ලේබල් එක අලවගෙන කරන විනාශය පරාජය කිරීම අත්‍යවශ්‍යයි. කොරෝනාවලට මුවා වෙලා රටේ ජනතාවගේ අයිතිවාසිකමුත් කප්පාදු කරලා යන්න යන්නේ. කොරෝනා වසංගතය සමහර ව්‍යාපාරිකයින්ට විතරක් නෙවෙයි ආණ්ඩුවටත් වසන්තයක් කරගෙන.

අයවැයෙන් ජනතාවට දිය යුතු සහන කිසිවක් නැහැ. අනිවාර්යයෙන් වැඩිකළ යුතු රජයේ සේවකයන්ගේ වැටුප් වැඩිවීම් නැහැ. විශ්‍රාම වැටුප් කප්පාදු කරලා. ජනතාව කොරෝනා බියෙන් සලිත වෙලා ඉන්නවා. ඒ අතරේ විදේශ ආක්‍රමණ සිද්ධ වෙනවා. ද්‍රෝහීන් රට පාවා දෙනවා. ඒ නිසා ඊට විරුද්ධව අනිවාර්යයෙන්ම අරගලයක් පෙරට ගත යුතු වෙනවා. කොරෝනා අස්සෙත් පාරට බැස්සා කියලා චෝදනා කරන්න එපා. පාරට බහින තැනට ජනතාව පත් කරල තියෙන්නේ. මේ අරගලයේ න්‍යෂ්ටිය බවට කොළඹ වරාය පත්වෙලා තියෙනවා. කොළඹ වරායේ විධායක ශ්‍රේණියේ නිලධාරින්, ඉංජිනේරුවන් ඇතුළු වරායේ වැඩ කරන සහෝදර සහෝදරියන් මේ වරාය දියුණු කරන බවට කර තියෙන ප්‍රකාශය ගැන සතුටු වෙනවා. දයා රත්නායක මහත්තයා ප්‍රතිපත්තිමය වශයෙන් ඔහු කරන ප්‍රකාශත් එක්ක ඉන්නවාද කියලා අපි දන්නේ නැහැ. නමුත් ඉන්දියාවට පැවරීමට විරුද්ධ බව ප්‍රකාශ කිරීම ගැන අපි සතුටු වෙනවා.

චන්ද්‍රිකා ආණ්ඩුව රැජින පාලම විකුණනකොට එක්සත් ජාතික පක්‍ෂයේ කට්ටිය ඒකට විරුද්ධ වුණා. එතකොට ඒ ගොල්ලෝ රටට ආදරේ කට්ටිය. රනිල් මහත්තයා ඇවිල්ලා විකුණනකොට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය සහ අනික් කට්ටිය දේශප්‍රේමීන් වෙනවා. මේ පාර ඊට වැඩිය වෙනසක් තියෙනවා. ගෝඨාභය මහත්තයලා එක්ක ඉන්න වෘත්තීය සමිතිත් මේකට විරුද්ධ බව කියනවා. මෙහෙම කියලා අවදි වීමක් වගේ පෙන්වනවා. නමුත් අවදි වෙලා නැහැ. මේකේ සියලුම බර රනිල් මෛත්‍රී අත්සන් කළ අවබෝධතා ගිවිසුමට පටවන්න යනවා. නමුත් ගෝඨාභය මහත්තයාට බලය දුන්නේ ඒවා පැත්තකට දාලා හරි විදිහට කරන්න. ඒ වගේම තව කතාවක් තියෙනවා. “මේවා මේ පී.බී. ජයසුන්දරගේ වැඩ. අපෙ සර්නම් මේව කරන්න ඉඩ දෙන්නේ නැහැ” කියලා. ඒ කියන්නේ සර්ට වඩා පී.බී. ජයසුන්දර ලොකුයි කියන එකද? මේ රටේ ජනතාව බලය දුන්නේ පී.බී. ජයසුන්දරටද? ඒ නිසා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය සහ පොහොට්ටුටවට සම්බන්ධ වෘත්තීය සමිතිවලට අපි කියන්නේ බොරු කතා කිය කිය ඉන්න එපා කියලා.

රජ කාලේ රජ්ජුරුවන්ට බලය ඔක්කොම තිබුණා. මහ නොසන්ඩාල රජවරු හිටියා වගේම හොඳ මිනිස්සුත් රජ වෙලා තියෙනවානේ. ඒ බලය පාවිච්චි කරලා හොඳ දේවල් කරලා තියෙනවානේ. ඒ නිසා අපි ගෝඨාභය රාජපක්‍ෂ මහත්තයාටයි, මහින්ද රාජපක්‍ෂ මහත්තයටයි කියන්නෙ ඔය බලය පාවිච්චි කරලා කොළඹ වරායේ නැගෙනහිර ජැටිය විකුණන්න එපා කියලා. රනිල් වික්‍රමසිංහයි, මෛත්‍රීපාලයි එකතු වෙලා සහයෝගීත ගිවිසුමක අත්සන් කළ පමණින් විකිණීමක් වෙන්නේ නැහැ. පාර්ලිමේන්තුවේ බලය, ජනාධිපති බලය පාවිච්චි කරලා වරාය අධිකාරියට මේකේ කටයුතු කරගෙන යන්න 100% අවස්ථාව දෙන්න කියලා ඉල්ලීමක් කරනවා. ඒ වගේම ජනතාවට කියන්නේ වරාය ඇතුළෙත් මහ පාරෙත් සටනක් අවශ්‍යයි. අපි ශක්තිමත් විපක්‍ෂ බලයක් ඉල්ලා හිටියේ මේ වෙනුවෙන්. දැන් පාර්ලිමේන්තුව ඇතුළේ විපක්‍ෂයක් නැති බව ජනතාව මතක කබාගත යුතුයි. අදහසක් දෙකක් කියාගන්න මතයක් කියන්න අපේ මන්ත්‍රීවරු තුන් දෙනාට හැකියාව තියෙනවා විතරයි.

සජිත්ලගේ කට්ටිය සල්ලිවලට ගන්න බව කාටත් පේනවා. සජිත්ලගෙන් ඡන්දේ ඉල්ලලා පාර්ලිමේන්තු ගිය මුස්ලිම් කොංග්‍රසයේ කට්ටියත් අරගෙන තියෙන්නේ. ඒ නිසා පාර්ලිමේන්තුව ඇතුළේ ප්‍රබල විපක්‍ෂයක හඬක් ජනතාව බලාපොරොත්තු වෙන්න එපා. ඒ නිසා පාර්ලිමේන්තුවෙන් පිට මහ පාරේ ඇත්ත විපක්‍ෂයක් ගොඩනගන්න අවශ්‍යයි. වෘත්තීය සමිති, අනෙකුත් බහුජන සංවිධාන, ප්‍රගතිශීලී කණ්ඩායම් ඔක්කොම එකතු වෙලා ශක්තිමත් විපක්‍ෂ දේශපාලන භූමිකාවක් පාර්ලිමේන්තුවෙන් පිට ගොඩනැගිය යුතුයි. ඒක විතරයි දැන් තියෙන උත්තරය. වරාය වෘත්තීය සමිතිවලට සහ සහෝදර සහෝදරියන්ට අපි කියන්නේ අඩියක්වත් පස්සට ගන්න එපා කියලා. ජාතික වශයෙන් අනිකුත් බලවේග ඒ වටා පෙළගස්වන්න අපි සූදානම්.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *