හැටන් නඩුවෙන් හමුදාව නිදහස්

නීතිය හමුදා තොරතුරු

සිවිල් පුද්ගලයන්ගේ ඉඩම් බලහත්කාරයෙන් අත්පත් කරගනිමින්, මහජන සාමය කඩ වන ආකාරයෙන් කටයුතු කළ බවට යුද හමුදාවට එරෙහි හැටන් මහේස්ත්‍රාත් අධිකරණයේ පවරා තිබූ නඩුව නිෂ්ප්‍රභ කෙරේ.

කොටගල ප්‍රදේශයේ 581 බල සේනාව පිහිටුවීමේ දී යුද හමුදාව විසින් සිවිල් පුද්ගලයන්ට අයත් ඉඩම් බලහත්කාරයෙන් අත්පත් කර, ප්‍රදේශයේ සාමය කඩ වන ආකාරයෙන් කටයුතු කළ බවට චෝදනා කරමින් එවක 58 සේනාංකාධිපති මේජර් ජෙනරාල් ප්‍රියංක ප්‍රනාන්දු සහ බල සේනා මේජර් ධනෝජ් රශ්මිත කුඩාවිතාන වගඋත්තරකරුවන් කරමින් අදාල නඩුව පවරා ඇත.

1979 අංක 44 දරන ප්‍රාථමික අධිකරණ නඩු විධාන සංග්‍රහයේ 66 (1) (ආ) වගන්තිය යටතේ යුද්ධ හමුදා භට පිරිස් එම ස්ථානයෙන් ඉවත් කිරීම සඳහා පැවරූ අදාල නඩුව අ‍ප්‍රේල් 22 වැනි දා එසේ නිෂ්ප්‍රභ කෙරින.

අංක 32671 හිමි නඩුවේ දෙපාර්ශ්වය ඉදිරිපත් කළ කරුණු සලකා බලා නඩුවේ වගඋත්තරකාර පාර්ශ්වය යුද්ධ හමුදාව බවත්, රජයේ පාර්ශ්වයක් වන එමගින් පැමිණිලිකරුවන් වන කොළඹ, නාවල ප්‍රදේශයේ පදිංචි දොන් ලක්‍ෂ්මන් වැලිකල සහ දොන් එඩ්වඩ් වැලිකල යන අයට එරෙහි සාමය කඩවීමක් සිදු වී ඇති බව පැමිණිලිකරුවන් විසින් ඔප්පු කර නොමැති බවත්, හැටන් හිටපු දිසා විනිසුරු සහ මහේස්ත්‍රාත් එන්.පටබැඳිගේ ලබාදුන් නඩු තීන්දුව හැටන් දිසා විනිසුරු සහ මහේස්ත්‍රාත් ඒ.අයි
හෙට්ටිවත්ත ප්‍රකාශයට පත් කළා ය.

හැටන් කොටගල ප්‍රදේශය ආශ්‍රිත ගිනිගැනීම් වැනි ස්වභාවික ව්‍යසන සඳහා ක්‍ෂණික ව ප්‍රතිචාර දැක්වීමටත්, නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොවිඩ් – 19 තත්ත්වය පාලනය පිණිස දිස්ත්‍රික් සම්බන්ධීකරණ කාර්යාලයක් ස්ථාපනය සඳහාත්, 581 බල සේනාව හැටන් කොටගල ප්‍රදේශයේ පිහිටුවන ලද්දේ නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයෙන් ඊට සුදුසු ඉඩමක් ලබා දෙන ලෙස යුද්ධ හමුදාව කළ ඉල්ලීමකට අනුව ය.

ඒ අනුව, නාගරික සංවර්ධන අධිකාරියට අයත් කොටගල ප්‍රදේශයේ පිහිටි අක්කර 05 ක පමණ ඉඩම් කොටසක් ඉකුත් 2020 ජුනි 25 වැනි දා යුද්ධ හමුදාවට ලිඛිත ව පවරාදෙන ලදී.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *