නීති 02 ක්, රටවල් 02 ක්..

දේශපාලන

පෝට් සිටි පනතින් නීති දෙකක් සහ රටවල් දෙකක් බිහිවෙතැයි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා කියයි.

ජනාධිපතිවරයා බලයට පැමිණීමේ දී දේශප්‍රේමී, ස්වෛරීත්වය සුරකින පාලනයක් පිහිටුවන බවත්, රට නොවිකුණන බවත්, පාවා නොදෙන බවත් ප්‍රකාශ කළ බව ඔහු පෙන්වා දේ.

රට රැකීමට නම් ඒ ගෝඨාභය රාජපක්ෂ පමණක් බවට මතයක් ගොඩ නගා බලයට පැමිණි ආණ්ඩුව සහ ජනාධිපතිවරයා වර්තමානයේ රටේ ස්වෛරීභාවය අහිමි කරන පෝට් සිටි පනත ඉදිරිපත් කර ඇතැයි අපේ‍ර්ල් 25 වැනි දා පෙරවරුවේ පැලවත්තේ ජනතා විමුක්ති පෙරමුණු මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් සිය අදහස් ඉදිරිපත් කළේ ය.

ඔහු දැක් වූ අදහස් –

මේ පනතින් අපේ රටට ආර්ථික වගේ ම දේශපාලන හානි ගණනාවක් සිදුවීමට ඉඩකඩ තිබෙනවා.

මේ වනවිට පෝට් සිටි පනත පිළිබඳ සමාජය තුළ විශාල කතාබහක් ඇතිවී තිබෙනවා. එහි හානිකර කරුණු සැලකිය යුතු ප්‍රමාණයක් අනාවරණය වී තිබෙනවා. ඒ වගේම ඊට එරෙහි ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් ගණනාවක් ඉදිරිපත් වී තිබෙනවා. ඇත්තටම එහිදී විමසා බලෙන්නේ මෙම පෝට් සිටි පනත ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට එකඟද නැද්ද යන කරුණ පමණයි. නමුත් මෙම පනතේ ආර්ථික හා දේශපාලනික හානි පිළිබඳව එහි සාකච්ඡා වෙන්නේ නැහැ. අපි හිතනවා මෙම පෝට් සිටි පනත ක්‍රියාත්මක වුවහොත් සිදු විය හැකි ආර්ථික, දේශපාලනික සහ සංස්කෘතික හානි පිළිබඳව රට තුළ මතයක් ගොඩනැගිය යුතුයි කියලා.
ජනාධිපතිවරයා විසින් වරාය නගරය පාලනය කිරීමට අදාළව සකස් කර ඇති පනතට අනුව එය සිදු කරන්නේ කොමිෂන් සභාවක් මගිනුයි. එම තත්වය විසින් අපේ රටේ ස්වෛරීත්වයට බරපතළ තර්ජනයක් එල්ල කරනවායැයි අපි හිතනවා. අපි එකම රටක්නම් එකම නීතියක්නම් පෝට් සිටියටත් රටේ නීතිය වලංගු විය යුතුව තිබෙනවා. නමුත් අපිට පේන්නේ එය භූගෝලීය වශයෙන් රටට අයිති වුණාට නීතිමය වශයෙන් අයිති නැති කිසියම් නිදහසක් ප්‍රදානය කරන ලද කලාපයක් බවට එය පත් කොට ඇති බවයි.
පළමුවැනි කරුණ රටේ පොදු පාලනයෙන් මෙය ඉවත්කරනු ලැබ තිබීමයි. මෙය කොළඹ නගර සභාවට හෝ බස්නාහිර පළාත් සභාවට අයිති වෙන්නේ නැහැ. පාර්ලිමේන්තුවට වගකින්නේ නැති ප්‍රදේශයක්. මහජන නියෝජිත ආයතනවලට මෙය අයත් වන්නේ නැහැ. මෙය පාලනය වන්නේ ජනාධිපතිවරයා විසින් පත් කරනු ලබන කොමිසමක් මගින්. එය පස්දෙනෙකුගේ සිට හත් දෙනෙකු දක්වා වන පිරිසකගෙන් සමන්විතයි. එයට පත් කරනු ලබන්නේ කවුරුන්දැයි පැහැදිලි නැහැ. මෙය පත්කිරීමේදී ජනාධිපතිවරයා කිසිවෙකුට වගකියන්නේ නැහැ. එය ඇමති මණ්ඩයෙන් විමසන්නේ නැහැ. එහි අදහස පෝට් සිටිය පාලනය වන්නේ ජනාධිපතිවරයා අතින් බවයි. මෙහි විශාල අනතුරක් තිබෙනවා. එක් පුද්ගලයෙක් අතින් මෙය පාලනය වීමේදී පෝට් සිටියේ පදිංචිකරුවන්ට, ඉඩම් අල්ලාගෙන සිටින්නවුන්ට, එහි ජාවාරම්කරුවන්ට තමන්ට හොඳ ජනාධිපතිවරයෙක් පත්කර ගැනීම වෙනුවෙන් මැදිහත්වීමට ඉඩක් හදනවා. ජනතාවගේ පරමාධිපත්‍යයට පිටින් ඇති නිසා ස්වෛරීත්වයට හානි කරන බව පැහැදිලියි.
ආණ්ඩුව කුමන තර්ක ඉදිරිපත් කළත් මෙම පනත මගින් රටේ නීතිරීති විශාල ප්‍රමාණයක් ඉවත්කොට තිබෙනවා. පෝට් සිටි පනතේ අග උපලේඛනවල ඊට අදාළ නොවන පනත් යටතේ ඒවා සඳහන් වෙනවා. නාගරික සංවර්ධන අධිකාරිය පනත. ක්‍රමෝපාය සංවර්ධන පනත, ආයෝජන මණ්ඩල පනත වැනි ව්‍යාපාර පවත්වාගෙන යාමට අදාළ පනත් ගණනාවක් ඒ අතර තිබෙනවා. මෙය ස්වෛරීත්වයෙන් ඉවත් කරන ලද වෙනම බලප්‍රදේශයක්. පෝට් සිටි පනත නිසා එකම රටක් එක නීතියක් වෙනුවට නීති දෙකක් රටවල් දෙකක් බවට පත් වෙනවා.
මේ පෝට් සිටිය නිර්මාණය වන්නේ චීනයේ වුවමනාවට අනුවයි. එහි ආර්ථික හා දේශපාලන වුමනාකම් වෙනුවෙන් ඔවුන් මෙය හදනවා. අපට ඉඩමක් හදා දෙන්න චීන සමාගමකට වුවමනාවක් හැදෙන්න විදිහක් නෑ. එහි සම්පූර්ණ වියදම දරුවේ ඔවුන්. ඔවුන් තමන්ගේ දේශපාලන හා ආර්ථික වුවමනාකම් වෙනුවෙන් එය මෙහෙයවනවා. මෙය ආණ්ඩුව පෙන්නන තරම් සරල කාරණයක් නෙමෙයි. එම නිසා අනිවාර්ය ලෙසම ලංකාව කලාපීය බල අරගලයක ගොදුරක් බවට පත්වෙනවා.
මේ කලාපය තුළ ඇමරිකා එක්සත් ජනපදය, ඉන්දියාව හා ජපානය ප්‍රමුඛ කඳවුර එක් පැත්තකින් සහ අනෙක් පැත්තෙන් චීනය ආර්ථික බලවතෙක් ලෙස සිටිනවා. මෙම කඳවුරු දෙක අතර ප්‍රතිවිරෝධයක් තිබෙනවා. ඉන්දියාව අසල දූපතක් හදාගෙන චීන ආර්ථික දේශපාලන වුවමනාකම් ඉටු කරන්නා විට ඊට එරෙහිව ඉන්දියාවත් ඇමරිකාවත් ක්‍රියාත්මක වීම අනිවාර්යයක්. ආණ්ඩුව කිවුවේ අපි නොබැඳි ප්‍රතිපත්තියක සිටින බවයි. කිසිවෙකුට දණ නොනමන බවයි. නමුත් මේ නිසා ලංකාව කලාපීය බල අරගලයේ ගොදුරක් බවට පත්කරනවා. ලංකාවට මේ රටවල් සමග හැපෙන්න හයියක් නැහැ. දැනටමත් ලංකාව ජීවත් වෙන්නේ චීන හා ඉන්දියානු ණය මතයි. ණය නැතිවුණොත් ආණ්ඩුවත් නැහැ. ලංකාව කියන්නේ ඒ ණය හිලව්වට රටේ කෑලි ලබා දෙන ආණ්ඩුවක් සහිත රටක්. පෝට් සිටිය කියන්නෙත් එම ප්‍රතිපත්තියේම දිගුවක්.
මෙවැනි තත්වයක් තිබියෙදී ආණ්ඩුව ඉදිරිපත් කරන කරුණු ප්‍රමාණයක් තිබෙනවා.
● ඔවුන් කියනවා මෙම පනත ගෙනෙන්නේ ආර්ථික සංවර්ධනය ඇතිකිරීම බවයි. එමගින් විදේශීය ආයෝජන ඇවිත්, රැකියා ඇතිවී, නිෂ්පාදනය වැඩිවී ආර්ථික ඉහළ යනවා වගේ කතා ඔවුන් කියනවා. නමුත් ඇත්තම ගත්තොත් මෙහි ඇත්තේ හෙක්ටයාර 446කට මදක් වැඩි ප්‍රමාණයක්. ඔවුන් කියන්නේ මුළු රටක් ගොඩනගන්න එයින් හැකියාවක් ඇති බවයි. මුළු රටේ භූමිය තිබියෙදී එහි වරාය, වෙරළ, සම්පත් පාවිච්චි කර ගොඩනැගිය නොහැකි වූ රටක් මේ කුඩා භූමියකින් හදන්නේ කෙසේද? මේවා සෙල්ලම් ගෙවල් වගේ වැඩ. තමන්ගේ නොහැකියාව වසා ගැනීම සඳහා ආණ්ඩුව බොරු කියමින් ඉන්නවා.
● ලංකාවට ආයෝජන කැඳවා ගැනීම සඳහා සහන ලබා දිය යුතු බව ඔවුන් කියනවා. ඒ බව අපිත් පිළිගන්නවා. එසේ සහන දීම සඳහා වන ආයතන විශාල ප්‍රමාණයක් දැනමත් ලංකාවේ තිබෙනවා. කලින් මහකොළඹ ආර්ථික කොමිසම හැදුවා. එය විශාල කර ආයෝජන මණ්ඩලය හැදුවා. ඒ යටතේ වන සමාගම්වලට බදු සහන දෙනවා. යම් නීති අඩු වශයෙන් ක්‍රියාත්මක වෙනවා. ඊට වඩා සහන දෙන්න ක්‍රමෝපායික සංවර්ධන පනත ගෙනාවා. මේ සියල්ල තිබියෙදී ඊට පිටින් සහන දීම සඳහා තවත් එකක් හදන්නේ ඇයි? ඒවායින් ගෙන්වා ගැනීමට නොහැකි ආයෝජකයින්ට වෙනම රටක් හදා දී ගෙන්වා ගැනීමට හැකි යැයි ඔවුන් සිතනවාදැයි අපට ගැටලුවත් තිබෙනවා.
● සැබැවින්ම ලංකාවට ආයෝජන කැඳවා ගැනීමට නොහැකි වී තිබෙන්නේ අපේ රටේ බදු සහන නැති නිසා හෝ නීතිවල ගැටලු නිසා නෙමෙයි. මීට වඩා නීති තද තැන්වලට ආයෝජන යනවා. චීනය ආයෝජන කැඳවා ගැනීමේදී එහි පැවති මධ්‍යගත තනි පක්ෂ පාලනය, දැඩි නීති අදාළ වුණේ නැහැ. එතනට ආයෝජකයෝ ආවා. කොමිස් ගැහැව්වෙ නැහැ. පගා ඉල්ලුවෙ නැහැ. නමුත් ආයෝජකයො ලංකාවට එද්දි ආණ්ඩු කරන දේශපාලකයො කොමිස්, අල්ලස් ඉල්ලනවා. මේ ආයෝජකයො විශාල කොමිස්, අල්ලස් දීලා ව්‍යාපාර කරන්න සූදානම් නැහැ. ආණ්ඩුව කළ යුතු තිබෙන්නේ මේ කොමිස් ඉල්ලන, පගා ගහන සංස්කෘතිය වෙනස් කරන එකයි. ජනාධිපතිවරයාගේ සිට පහළම නියෝජිතයා දක්වා අල්ලස් ඉල්ලන නිසා ලංකාවට එන්න හිටපු ආයෝජන හැරිලා ගිය අත්දැකීම් අපට අසන්නට ලැබුණා. එම නිසා ඇත්ත ප්‍රශ්නය පැත්තකින් තබා සහන ලබා දීමට පෝට් සිටි පනත ගෙන එනවායැයි කීම කිසිසේත් සාධාරණ නැහැ.
● පෝට් සිටිය නිසා ආයෝජන ඇවිත් රැකියා ලැබිලා රට දියුණු වන බවට ආණ්ඩුව ජනතාවට හීනයක් පෙන්නමින් ඉන්නවා. ඔය ආකාරයේ හීන කීයක් අපේ රටේ ජනතාවට පෙන්වා තිබෙනවාද? එජාප ආණ්ඩුව කඩිනම් මහවැලිය හදද්දී කෘෂිකර්මාන්තය දියුණුවෙලා, විදුලි බලය ලැබිලා කර්මාන්ත දියුණු වෙලා රටට කිරියෙන් පැණියෙන් උතුරන බවයි. ඉන්දියාවටත් විදුලිය විකිණිය හැකි බව කිවුවා. නමුත් දැන් ඉන්දියාවෙන් විදුලිය ගන්න සිද්ධ වෙලා. මහ කොළඹ ආර්ථික කොමිසමෙන් නිදහස් වෙළඳ කලාප හදද්දිත් ආයෝජන මණ්ඩල හදද්දිත් එහෙම හීනයක් හැදුවා. ආයෝජන ඇවිත් රට සුරපුරයක් වන බව කිවුවා. අද ඒවා ඛේදවාචයක් වී තිබෙනවා. ඒවායේ සේවක සේවිකාවන්ට අවම පහසුකම්වත් ලබා දීමට අසමත් වී තිබෙනවා. ක්‍රමෝපායික සංවර්ධන පනත ගේනකොටත් මෙහෙම කතා කිවුවා. ඒ සියල්ල අසාර්ථක වී තිබියෙදී දැන් පෝට් සිටි පනත හීනය පෙන්නවා.
ඇත්තම කතාව ආණ්ඩුවට චීනය ඉදිරියේ දණගැසීමට සිදුව තිබීමයි. ණය ගැනීම නිසා චීනයෙන් වැටෙන ඉදුල් ටිකක් වෙනුවෙන් මේ හදා ගත්තු බිම්කඩේ අයිතිය චීනයට ලබා දෙන්න සිදුවී තිබෙනවා. ඒ නිසා ජනාධිපතිවරයාට විදේශ රටවලට අනුව නටන රූකඩයක් වීමට සිදුව තිබෙනවා. පෝට් සිටි පනත ගෙනත් එහි ව්‍යාපාරිකයන්ට අවශ්‍ය පරිදි පාලනයක් හදා දීමට ඔහුට සිදුව තිබෙනවා. මෙවැනි රටේ නීතිය දුබල කරපු තැනකට කළු සල්ලිකාරයින්, ජාවාරම්කාරයින් කඩා වදින්න ඉඩකඩ තිබෙනවා. කළු සල්ලි සුදු කරන තැනක් ජාවාරම්කාරයින්ගේ තිත්පොළක් වෙනවා. රටේ ආණ්ඩු පෙරළන, ජනාධිපති මාරු කරන කුමන්ත්‍රණ සිදුවන තැනක් බවට මෙය පත්වෙනවා. ඒ වෙනුවෙන් කළු සල්ලි පොම්ප කෙරෙන තැනක් බවට මෙය පත්විය හැකියි.
මෙය රටක් ඇතුළට අපි දමා ගන්නා බරපතළ අනතුරක් බව කිව හැකියි. ඒ අනතුර ඇතිවී තිබෙන්නේ භූමියෙන් නොවෙයි. රටේ ස්වෛරීත්වය අත්හැරපු පනතෙනුයි. මෙතනට එන්න ඉන්න ජාවාරම්කාරයින් සතුටු කරන්න, චීනය සතුටු කරන්න මිසක් මේක රට වෙනුවෙන් හෝ ජනතාව වෙනුවෙන් හදපු දෙයක් නෙමෙයි. ඒ නිසා පෝට් සිටිය පිළිබඳව හදන හීනවලට නොරැවටෙන ලෙසත් රටට පාලනය කළ නොහැකි බිම්කඩක් නිර්මාණය වීමේ අනතුරට එරෙහිව පෙරට එන ලෙසත් ජනතාවගෙන් ඉල්ලනවා.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *