දේවි බාලිකාව වෙන තැනකට ගෙනියන්නෙ නෑ…!

අධ්‍යාපන උණුසුම්

දීපව්‍යප්ත ව පාසල්වල ඉංග්‍රිසි මාධ්‍ය අධ්‍යාපනය ලබාදීමට අදාල ව අධ්‍යාපන අමාත්‍යාංශයෙන් පත් කර ඇති විශේෂඥ කමිටු නිර්දේශ ලබාගැනීමෙන් අනතුරු ව නියමු ව්‍යාපෘතියක් ලෙස එවන් පාසල් පළාත් මට්ටමින් ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා පවසයි

එහි සාර්ථකත්වය මත දිවයින පුරා අදාල පහසුකම සිසුන් හට සැපයෙන බව ඔහු පෙන්වා දේ.

වැඩිදුරටත් අදහස් දැක්වූ ලේකම්වරයා –

මේ වනවිට ලොව පුරා ශීඝ්‍රයෙන් පැතිර යන කොවිඩ් 19 වසංගතය හේතුවෙන් ශ්‍රී ලංකාවේ ආර්ථිකයට ද බලපෑම් එල්ල වෙලා. ඒ අනුව ජාත්‍යන්තර පාසල් වෙත සිය දරුවන් යවන දෙමව්පියන් ඉල්ලා සිටිනවා පවතින ආර්ථික ගැටළු මත පාසල් මාසික ගාස්තු ගෙවා ගැනීමට අපහසු නිසා රාජ්‍ය පාසල් පද්ධතියට එම දරුවන් ඇතුළත් කිරීමට අවස්ථාව ලබා දෙන්න කියා.

මෙහි දී මතුවන ගැටළුව තමයි ඒ දරුවන් ප්‍රාථමික අධ්‍යාපනයේ සිට ම උසස් පෙළ දක්වා හදාරනු ලබන්නේ ඉංග්‍රිසි මාධ්‍යයෙන්. නමුත් රජයේ පාසල්වල ඉංග්‍රිසි මාධ්‍ය පාසල් තිබෙන්නේ ඉතා  සුළු ප්‍රමාණයක්. ඒවායිනුත් ‘හර’ විෂයයන් පමණයි උගන්වන්නේ. ඒ නිසා අපි විශ්වාස කරනවා මෙයට ස්ථිරසාර විසඳුමක් ලබාදිය යුතු බව. ඒ අනුව අධ්‍යාපන විශේෂඥයින්ගෙන් යුත් කමිටුවක් පත් කරලා තිබෙනවා මෙම ගැටළුව විසඳීම සම්බන්ධ ව නිර්දේශ ඉදිරිපත් කිරීමට.

ඒ අනුව කොළඹ ආශ්‍රිත ව මෙන් ම සෑම පළාතක ම එවැනි පාසලක් නියමු ව්‍යාපෘතියක් ලෙස ආරම්භ කිරීමට ඇති හැකියාව පිළිබඳ අවධාන යොමු වුනා. එම ව්‍යාපෘතිය සාර්ථක වුවහොත් දිවයිනේ සෑම ප්‍රදේශයකට ම එවැනි ඉංග්‍රිසි මාධ්‍ය පාසල් ලබා දිමට කටයුතු කළ හැකි වේවි.

ජාතික පාසල් 1,000 වැඩසටහන, ත්‍රෛභාෂා පාසල් වැඩසටහනට සමගාමී ව එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට අපට හැකියාව ලැබේවි.

වත්මන් රජයේ අධ්‍යාපන ප්‍රතිපත්තිය අනුව විද්‍යා අංශයෙන් උසස් පෙළ හදාරන සිසුන් ගණන 35% සිට 60% දක්වා වර්ධනය කිරිමටත්, කලා අංශයෙන් උසස් පෙළ හදාරන සිසුන් ප්‍රමාණය 25% දක්වා අඩු කිරීමට අපේක්ෂා කරනවා.

ඒ අනුව නුගේගොඩ ශ්‍රී විජයාරාම විද්‍යාලය සහ කොළඹ දේවි බාලිකා විද්‍යාලය ඒකාබද්ධ ව සිදුකරන්නට නියමිත ව තිබූ ව්‍යාපෘතිය අහෝසි කර එම පාසල ඉංග්‍රිසි මාධ්‍ය පාසලක් බවට පත් කරනවා..

 

කොළඹ දේවි බාලිකා විද්‍යාලයේ අතිරේක විද්‍යා සහ ගණිත අංශයක් උඩහමුල්ල ශ්‍රී විජයාරාම විද්‍යාලයේ ස්ථාපිත කිරීමටත්, ඒ වෙනුවෙන් විජයාරාම විද්‍යාලය කොළඹ දේවි බාලිකා විද්‍යාලයට පවරාගෙන ඒ සඳහා ව්‍යාපාරික ධම්මික පෙරේරා විසින් රුපියල් මිලියන 100 ක ප්‍රදානයක් ලබාදීමටත් පසුගිය මාර්තු මාසයේ සිට සැලසුම් සකස් ව තිබිණි.

නියමු ව්‍යාපෘතියක් ලෙස ආරම්භ කිරීමට යෝජිත වූ අදාල ව්‍යාපෘතියට විජයාරාම විද්‍යාලයීය කතඤ්ඤුතා ආදි ශිෂ්‍ය සංගමය සහ දේවි බාලිකා විද්‍යාලය සුරැකීමේ සංවිධානය සිය විරෝධය පළ කළ හ.

ඒ අනුව ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා දැනුවත් කරමින් අග්‍රාමාත්‍යවරයා සහ අධ්‍යාපන අමාත්‍යවරයා සමග පැවති සාකච්ඡා අනුව උක්ත තීරණය අධ්‍යාපන ලේකම්වරයා විසින් 2021 ජුනි මස 04 වැනි දා පස්වරුවේ නිකුත් කර තිබේ.

දේවි බාලිකා විද්‍යාලය සුරැකීමේ සංවිධානය අවධාරණය කරන්නේ තම පාසල සංවර්ධනය කිරීමේ සියලු කටයුතු පාසලට අදාල සහ පාසලේ උන්නතියට කටයුතු කරන සියලු පාර්ශ්වයන් දැනුවත් ව, ඔවුන්ගේ එකඟතාවෙන් සිදු විය යුතු බවයි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *