බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්වරිය, ජනපති හමුවක්

දේශපාලන පාරිසරික විදේශ සබඳතා

 

 

 ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් සාරා හල්ටන් සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අතර හමුවක් ජුනි 04 වැනි දා පෙරවරුවේ කොළඹ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණ.

කොරෝනා වසංගතය මර්දනයට රජය ගෙනයන වැඩපිළිවෙල කෙරෙහි ප්‍රසාදය පළ කළ 
මහ කොමසාරිස්වරිය එන්නත්කරණ ක්‍රියාවලියට ලබා දිය හැකි සහාය පිළිබඳ සිය අදහස් පළ කළා ය. වෙළෙඳ ආර්ථිකයක් ගොඩ නැගීම පිණිස ජනාධිපතිවරයාගේ උත්සාහයට බ්‍රිතාන්‍ය රජයේ දායකත්වය ලබාදීම පිළිබඳ ද ඇයගේ අවධානය යොමු විය.

2030 වසර වනවිට මෙරට බලශක්ති උත්පාදනයෙන් 80 % ක් පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන්ගෙන් ලබා ගැනීමට රජය ගෙනයන වැඩපිළිවෙළට අවශ්‍ය තාක්ෂණික දැනුම හුවමාරු කර ගැනීමටත්,  සූර්යය ශක්තිය ගබඩාකරණයට සහ  සම්ප්‍රේෂණයට  සහාය වීමටත් මහා කොමසාරිස්වරිය එකඟතාව පළ කළා ය.

කාබනික පොහොර භාවිතයට යොමුවීමෙන් පරිසරය සුරැකීමට ජනාධිපතිවරයා එළඹි තීරණය බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්වරියගේ ඇගයීමට ලක්විණ. 20.8 % ක්ව පවතින ‘වන ආවරණය’ 30 % ක් දක්වා වර්ධනයට රජය සැලසුම් කර තිබේ. ඊට අවශ්‍ය දැනුම සහ ක්‍රමවේද ලබාදීමට ද මහ කොමසාරිස්වරියගේ අවධානය යොමු විනි.

එක්ස් – ප්‍රස් පර්ල් නෞකාවෙන් පරිසරයට සිදු ව ඇති හානිය අධ්‍යයනයට බ්‍රිතාන්‍යයේ තාක්ෂණික සහාය ලබා දෙන මෙන් ජනාධිපතිවරයා ඇගෙන් ඉල්ලා සිටියේ ය.  ජීනිවා යෝජනාව සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කළ හෙතෙම ඉඩම් ගැටළු විසඳීම ඇතුළු සෙසු කරුණු සම්බන්ධයෙන් රජය ගෙන ඇති වැඩපිළිවෙළ පැහැදිලි කළේ ය.

බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයේ පළමු ලේකම් ඇන්ඩෲ ප්‍රයිස්,  ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, විදේශ ලේකම් අද්මිරාල් ජයනාත් කොළඹගේ මේ අවස්ථාවට එක් වූ හ.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *