ආණ්ඩුවේ දේශද්‍රෝහී වැඩවලට ඉඩ දෙන්න එපා!…

දේශපාලන
ආණ්ඩුවේ දේශද්‍රෝහී කටයුතුවලට ඉඩ නොදිය යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කමිටු සාමාජික වසන්ත සමරසිංහ පවසයි.
 
ජුනි 09 වැනි දා, බත්තරමුල්ල, පැලවත්තේ ජනතා විමුක්ති පෙරමුණු ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මේ බව පැවසී ය.
 
වැඩිදුරටත් අදහස් දැක් වූ ඔහු –  
අපි මේ කරුණු මතු කරන්නේ මීට වඩා දේශපේ‍්‍රමීන් ලෝකයේ වෙන හොයාගන්න බැහැ කියලා ජනතාවට පෙන්වලා බලයට පත්වුනු ආණ්ඩුවේ සැබැ කි‍්‍රයාකාරිත්වය ජනතාවට පැහැදිලි කරන්නයි. ලෝකයේ කොහේවත් මේ වගේ දේශද්‍රෝහීන් නැති බව සනාථ කර තිබෙනවා. ඛනිජ තෙල් සංස්ථාවට තෙල් ආනයනය කරන්න එල්.සී. එක  ඕපන් කරන්න බැරි තත්ත්වයට පත් කර තිබෙන්නේ මේ රටේ ජනතාව ණයට තෙල් ගහලා නෙවෙයි. තෙල් එක්ක බැඳිලා තියෙන්නේ වාහනවලට තෙල් ගහන එක විතරක් නෙවෙයි. කර්මාන්ත, බලශක්තිය, විදුලි බල නිෂ්පාදනය, කියන සියල්ල බැඳිලා තියෙනවා. ඒ නිසා ඛනිජ තෙල් බලය අත් කරගන්නා සමාගම් ආණ්ඩුව බිත්තියට හේත්තු කරලා තමන්ගේ වැඩ කරගන්න උත්සාහ කරනවා. අනික් පැත්තෙන් කෙරවලපිටිය ලක්දනවි බලාගාරය අමෙරිකානු සමාගමකට ලබාදෙන්න සැලසුම් සකස් කරලා ඉවරයි. මහා භාණ්ඩාගාරයට අයිති 50% කුත් සේවක භාරකාර අරමුදලට අයිති 25% කුත් අමෙරිආනු සමාගමකට දෙන්න ලැහැස්ති වෙනවා. ජාත්‍යන්තර ටෙන්ඩර් කැඳවන්නෙවත් නැහැ. ජනාධිතිතුමාගේ බිරිඳ සහ දරුවන්ගේ රට අමෙරිකාව නිසා මේ බලාගාරය දෙන්න යනවා. අනෙක් පැත්තෙන් චීනෙන් ණය අරන් තියෙන නිසා හම්බන්තොට වරාය ඇතුළු භූමිය දෙනවා. ඉන්දියාව අපේ රටට තොණ්ඩුව දාලා අල්ලගෙන ඉන්නේ. ති‍්‍රකුණාමල වරායේ තෙල් ටැංකි ටික අයි. ඕ.සී. සමාගමට පිරිපහදුවක් හදාගන්න දෙන්න යන්නෙ. 
 
අපේ රටේ තෙල් සංස්ථාව විකුණනවා කියන්නේ සරල කාරණයක් නෙවෙයි. මේ රටේ ජනතාවගේ අයිතියක් හැටියට තියෙන තෙල් සංස්ථාව ඇමතිවරයාගේ තනි පෑන් පහරෙන් තමන් කැමති  ඕනෑම කෙනෙකුට දෙන්න යනවා. සංස්ථාව ගොඩගන්න බැරි තරම් පාඩුවක හිරවෙලා තියෙන බව නොකියා ඩොලර් මිලියන 3,000 ක ආයෝජකයෙක් එන බව කියනවා. නමුත් ලෝකයේ අනෙක් රටවල මේ ධාරිතාවයේම පිරිපහදු හදන්න 2020 අවුරුද්දේ වියදම් කරලා තියෙන්නේ 1/3ක් විතර. ඒ කියන්නේ දවසකට තෙල් බැරල් 65,000ක් පිරිපහදු කළ හැකි තත්ත්වයට ගේන්න වෙන රටවල් වියදම් කරලා තියෙන්නේ ඩොලර් මිලියන 1,000ට අඩුවෙන්. ඇංගෝලාවේ මේ මෑතකදී තෙල් බැරල් 65,000ක පිරිපහදුවට වියදම් කරලා තියෙන්නේ ඩොලර් මිලියන 950යි. යාළුවන්ගේ, හිතවතුන්ගේ ප‍්‍රශ්න ටික, තමන්ගේ ප‍්‍රශ්නය බේරගන්න බහුජාතික සමාගම්වලට තෙල් සංස්ථාව ලබාදීමේ කි‍්‍රයාමාර්ග වහා ම හකුළා ගන්න කියලා ජනතා විමුක්ති පෙරමුණ හැටියට අපි බල කරනවා. බොරු දේශපේ‍්‍රමය ගැන දෙඩවූ ගම්මන්පිලලා ගෙන එන මේ පනත පරාජය කිරීමේ සටනට සියලු ම දෙනා එකතු වෙන්න කියලා ආරාධනා කරනවා. 
 
වෘත්තීය සමිති ව්‍යාපාරය, ප‍්‍රගතිශීලී සංවිධාන, දේශපාලන පක්‍ෂ හැටියට අපි ජනතාවගෙන් ඉල්ලන්නේ මේ දේශද්‍රෝහී වැඩේට ඉඩ දෙන්න එපා කියලා. රටේ ජනතාව කොවිඩ්වලින් ගෙවල්වලට හිර කරලා රටේ සම්පත් විකුණාගෙන යනවා. මේ වගේම තමයි කැබිනට් පති‍්‍රකාවක් දාලා වාහන ගෙන්වන්න ආණ්ඩුව ගෙන යන කි‍්‍රයාමාර්ගත්. මේ වෙනකොටත් වාහන ගෙන්වන්න සියලු ම කටයුතු සූදානම් කරලා තියෙන්නේ. තව ටික දවසකින් කියයි දැන් ගෙන්වන එක නවත්වන්න බැහැ කියලා. ඒ වගේම තමයි අපේ රටේ තෙල් පිරිපහදුව වැහිලා චීනයටයි, ඉන්දියාවටයි ලයිසන් දීලා ඉවර කරයි. මේ වෙනකොට අපේ රටේ ගෑස් සම්බන්ධයෙන් වැදගත් කි‍්‍රයාමාර්ග අනුගමනය කරන්න සූදානම් වෙනවා. 
 
මේ අතර ලාෆ් ගෑස් සමාගමේ හම්බන්තොට තියෙන ටර්මිනල් එකෙන් 40 %ක් රජය ගන්න සූදානම් වෙනවා. මේ පෞද්ගලික සමාගමේ කොටස් ආණ්ඩුව ගන්න යන්නේ ලංකා බැංකුවට සහ මහජන බැංකුවට රු. බිලයන 22.2ක් ණය වී තිබෙන නිසා. ලාෆ් ගෑස් සමාගමේ ණය ගෙවන්න රජයේ සල්ලි යොදවන්න තමයි හම්බන්තොට තියෙන ටර්මිනල් එකෙන් 40%ක් ගන්න යන්නේ. මෙතන තවත් රහසක් තියෙනවා. රජයේ ලිට්‍රෝ ගෑස් සමාගම ගෑස් ගෙන්වන්නේ ලාෆ් ගෑස් සමාගමට වඩා වැඩි මිලකට. ලාෆ් ගෑස් සමාගම මෙ.ටොන් එකක් ගෙන්වන්නේ ඩොලර් 83කට. හැබැයි ලිට්‍රෝ ගෑස් සමාගම මෙ.ටොන් එකක් ගෙන්වන්නේ ඩොලර් 137කට. රජයට අයිති සමාගමකට මේ අඩු මිලකට ගේන්න බැරි ඇයි? තවත් පැත්තකින් ලාෆ් ගෑස් සමාගමේ ටර්මිනල් එකෙන් 51%ක් කොයි වෙලාවකවත් ලිට්‍රෝ ගෑස් සමාගමට ඉල්ලන්නේ නැහැ. එහෙම ඉල්ලන්නේ නැත්තේ මේ ගනුදෙනුව සිදුවෙන්නේ ලාෆ් ගෑස් සමාගමේ ණය ගෙවාගන්න  ඕනෑ කරන සල්ලි රක්‍ෂණ සංස්ථාවෙන් ලබාගන්න පමණයි. අපේ රටේ රක්‍ෂණ සමාගමට තමයි ලිට්‍රෝ ගෑස් සමාගම අයිති වෙන්නේ. රජයට 51%ක කොටස් ලබාගෙන ලාෆ් ගෑස් සමාගම රජයට පවරාගන්නේ නැත්තේ සහ ලාෆ් ගෑස් සමාගමේ 60% අයිතිය පෞද්ගලික අංශයට තියෙන්න අරින්නේ හිතවතුන්ගේ ගනුදෙනු බේරන්න ජාතික සම්පත් යොදවන නිසයි. 
 
අද වෙනකොට රු. 5,000 ගන්න මේ රටේ ජනතාව දවස් ගණන් රස්තියාදු වෙනවා. එදා වේල හොයා ගන්න කැඳ කෝප්පයක්, තැඹිලි ගෙඩියක් විකුණපු අය හැර පෞද්ගලික අංශය සහ රාජ්‍ය අංශයේ වැඩ. ඒ අතරේ ආදායම් අහිමි ජනතාවට රු. 5,000ක් හරිහැටි ලබාගන්න බැහැ. අනෙක් පැත්තෙන් තමන්ට අයිති ඉන්ජෙක්ෂන් එක ලබාගන්නත් බැරිවෙලා ඉන්නවා. 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *