කැබිනට් අනුමැතියට කලින් ණයවර ලිපි ඇරලා..

දේශපාලන
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා වාහන ගෙන්වීමට ණයවර ලිපි විවෘත කර ඇත්තේ කැබිනට් අනුමැතියකින් තොර ව යැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක කියයි.
 
එම තීරණයට සැඟවී දැවැන්ත වංචාවක් වෙතැයි ජුනි 11 වැනි දා මුහුණු පොත ඔස්සේ අදහස් දක්වමින් ඔහු පැවසී ය.
 
ඔහු ඉදිරිපත් කළ අදහස් –  
 
මන්ත්‍රීවරුන් සඳහා සුඛෝපභෝගී වාහන ආනයනය පිළිබඳ තීරණය ආන්දෝලනයකට ලක් වී තිබෙනවා. අපේ රට මේ වනවිට විශාල ඩොලර් හිඟයකට මුහුණ පා තිබෙනවා. පසුගිය වසරේ ජුනි මාසයේ ආණ්ඩුව මුළුමනින්ම වාහන ආනයනය නතර කළා. වාහන අමතර කොටස්, සුවඳ විලවුන් වර්ග, ධාන්‍ය වර්ග සහ කහ පවා ආනයනය නතර කළා. ඩොලර් හිඟය සම්පූර්ණ කරගැනීම සඳහා රාජ්‍යන්ගෙන් විවිධ ආයතනවලින් ණය ඉල්ලමින් සිඟමනේ ගියා. අන්තිමේ දී මහින්ද රාජපක්ෂ බංගලාදේශයෙන් පවා ඩොලර් මිලියන 200 ක ණයක් ඉල්ලුවා. ඒ අතර තමයි ආණ්ඩුව තීරණය කරන්නේ වාහන විශාල ප්‍රමාණයක් ආනයනය කරන්න. ඒ අතර මන්ත්‍රීවරුන් සඳහා ප්‍රාඩෝ ජීප් රථ 227 ක් තිබෙනවා. මේ සියල්ල වෙනුවෙන් ආණ්ඩුව වැය කරන්න බලාපොරොත්තු වෙනවා ඩොලර් මිලියන 18 ක්. අපි ජනතාවගෙන් අහනවා ඔබ ඡන්දයෙන් පත් කරපු පාලකයා රටේ ඩොලර් හිඟයක් තිබෙන වෙලාවක රටේ මුදල් ඩොලර් මිලියන 18 ක් වැය කරලා ගෙන්වන සුඛෝපභෝගී වාහනයක් පාවිචි කරනවට එකඟ ද? පුරවැසියන්ගෙන් ඉල්ලන්නේ මේ මජර දේශපාලනය පරාජය කරන්න කියලා. 
 
මේ වෙනකොට අපේ රටේ විශාල වසංගත තත්ත්වයක් ඇතිවෙලා තිබෙනවා. බොහෝ දෙනෙකුගේ ආදායම අහිමි වෙලා තිබෙනවා. ව්‍යාපාර කඩා වැටී තිබෙනවා. එළවළු, මත්ස්‍ය නිෂ්පාදන අලෙවි කරගන්න බැරි වී තිබෙනවා. මාස ගණන් ගෙවල්වල හිරවෙලා තමන්ගේ දරුවාට කිරිපිටි පැකට් එක මිල දී ගන්න බැරි වෙලා තිබෙනවා. ජනතාවට ජීවත්වෙන්න ආහාර මල්ලක් සපයා ගන්න බැරි ව තිබෙනවා. රටේ බහුතර පුරවැසියන් පිරිසක් විශාල අපහසුතාවකට පත් ව තිබෙනවා. වසංගතය පාලනය කිරීම සඳහා අවශ්‍ය සෞඛ්‍ය උපකරණ, එන්නත් මිල දී ගැනීමට මුදල් නැහැ කියනවා. ඇඹිලිපිටිය වගේ ප්‍රදේශවල ජනතාව පීසීආර් යන්ත්‍ර මිල දී ගන්න මුදල් එකතු කරනවා. රෝහල් අධ්‍යක්ෂවරු රෝහල්වල අවම පහසුකම් සම්පූර්ණ කරගන්න විවිධ ආධාර ඉල්ලා සිටිනවා. අවශ්‍ය වෙලාවට එන්නත් ටික මිල දී ගන්න මුදල් නැතිවුණා. මේ අතර එන්නත ලබාගන්න විවිධ රාජ්‍යයන්ගෙන් ආධාර ඉල්ලා සිටින්න සිදුවෙලා. මේ සියලු තත්ත්වයන් තිබිය දී තමයි වාහන ආනයනය කරන්න තීරණය කරන්නේ. 
 
මේ ඩොලර් මිලියන 18 යොදාගෙන ඇස්ට්‍රාසෙනිකා එන්නත ගෙන්වනවානම් එන්නත් ලක්ෂ 36 ක් ආනයනය කරන්න පුළුවන්. චීනයේ සයිනෝෆාර්ම් ඇත්ත මිල ඩොලර් 10ට ගෙන්වනවා නම් එන්නත් ලක්ෂ 18 ක් ගෙන්වන්න පුළුවන්. පුරවැසියන් මිලියන ගණනකට එන්නත ලබාදෙන්න හැකියාව තිබෙනවා. ඇස්ට්‍රාසෙනිකා එන්නත ලබාගත් ලක්ෂ 06 ක් දෙවැනි එන්නත නැතිව පසුතැවෙනවා. එසේ තිබිය දී මේ පාලකයෝ තමන්ගේ අධිපරිභෝජනවාදී නාස්තිකාර සුඛෝපභෝගී ජීවිතය වෙනුවෙන් වාහන ආනයනය කරනවා. මේ පාලකයෝ මොන තරම් මුග්ධ ද? මෙවැනි මුග්ධ නායකයින්ට රට සංවර්ධනය කරන්න පුළුවන් ද? මෙවැනි අදහසක් එන්නේ කවර පාලකයින්ට ද? කවර වර්ගයේ අමානුෂික පාලකයින්ට ද? මේ අන් කවරක්වත් නෙවෙයි මේ ජීප් රථ ගෙන්වන්නේ පෝට් සිටි පනතට සහාය ලබාගන්න මන්ත්‍රීවරුන්ට වුන පොරොන්දුව ඉෂ්ට කරන්නයි. 
මේ ජීප් රථයක අද වෙළෙඳපොල වටිනාකම ලක්ෂ 500 ක් පමණ වෙනවා. ජීප් රථ 227ක්. ඔබ ඡන්දය දෙන මන්ත්‍රීවරයා ලක්ෂ 500 ක වාහනයක නැගලා ඔබේ ගමට එන්න ඕනෑ ද? ඒ නිසා අපි ආණ්ඩුවට කියනවා මේ වාහන ඇණවුම නතර කරන්න කියලා. දැන් ආණ්ඩුව කියනවා මේක නතර කරන්න බැහැ කියලා. ණයවර ලිපි අවලංගු කිරීම අසීරුයි තමයි. නමුත් ආණ්ඩුව වාහන ආනයනය නතර කරන විට විවෘත කර තිබූ ණයවර ලිපි විශාල ප්‍රමාණයක් කල් ඉකුත්වෙන්න ඉඩ හැරියා. ඉන්පසු ණයවර ලිපි අවලංගු වුනා. ඒ නිසා ආණ්ඩුවටත් පුළුවන් මේ ණයවර ලිපි අවලංගු වීමට ඉඩ හරින්න. ඊළඟ යෝජනාව වන්නේ ආනයනය නතර කරන්න බැරි නම් වාහන ගෙන්වූ පසු ප්‍රසිද්ධ වෙන්දේසියේ අලෙවි කරන්න. වාහන 227 ක්. කෝටි 5 ගණනේ කෝටි 1135ක් පමණ මුදලක්. මේ ධනයෙන් දේශීය ණය ගෙවන්න පුළුවන්. නැත්නම් අවතැන් ජනතාවට, කොවිඩ් නිසා ව්‍යාපාර කඩාවැටුණ ව්‍යාපාරිකයින්ට, ආදායම් අහිමි වූ පුරවැසියන්ට, ගංවතුරින් අවතැන් වූ ජනතාවට දෙන්න. අපි පක්ෂයක් හැටියට මේ වාහන පාවිච්චියට ගන්නේ නැහැ. ඒවාට මොකද කරන්නේ කියලා අපි පසුව කියන්නම්. 
 
මේ ගනුදෙනුව මන්ත්‍රීවරුන්ට වාහන ගෙන්වීම සඳහා පමණක් කරන එකක් නෙවෙයි. මේ පිටුපස විශාල වංචාවක් තිබෙනවා. කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් වෙන්නේ මැයි 18. එය විශේෂ කැබිනට් රැස්වීමක්. ඉහත වාහන ආනයනය කිරීමට ණයවර ලිපි විවෘත කිරීමට අනුමැතිය ඉල්ලනවා. සාමාන්‍යයෙන් කැබිනට් අනුමැතිය නිල ලෙස ලැබෙන්නේ ඊළඟ කැබිනට් මණ්ඩල රැස්වීමේදීයි. එනම් මැයි මාසේ 24 වෙනිදා. නමුත් පුවත්පත් වාර්තා කළා මැයි 24 කැබිනට් මණ්ඩලය වාහන ගෙන්වීමේ තීරණය අවලංගු කළා කියලා. එහෙනම් අනුමත වූ කැබිනට් පත්‍රිකාවක් නැහැ. එහෙනම් කැබිනට් පත්‍රිකාවක් නැතුව ණයවර විවෘත කළේ කොහොමද? මා ළඟ තිබෙනවා මේ සම්බන්ධ ලියකියවිලි. එහි සඳහන් වෙනවා ණයවර ලිපි විවෘත කර තිබෙන්නේ 2021 අප්‍රේල් 22 දින කියලා. කැබිනට් අනුමැතිය ඉල්ලන්නේ මැයි 18. මොකක්ද කරලා තියෙන්නේ කැබිනට් අනුමැතිය ගන්න කලින් ණයවර ලිපි විවෘත කරලා. මෙතන ඩීල් එකක් සිදුවෙලා තිබෙනවා. ඩීල් එකෙන් පස්සේ තමයි කැබිනට් අනුමැතිය ගන්න මතක් වෙලා තියෙන්නේ. වංචාව වහගන්න තමයි මේ කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කරලා තිබෙන්නේ. දැන් කෙහෙළිය කියනවා ණයවර ලිපි අවලංගු කරන්න බැහැ කියලා. එනිසා මෙතන බරපතල වංචාවක් තිබෙනවා. තමන්ට පාවිච්චියට ගේන වාහනවලිනුත් වංචා කරනවා. එනිසා තමයි කැබිනට් අනුමැතිය නැතිව ඩීල් දාන්නේ. මේ වාහන ගෙන්වන්න ප්‍රසිද්ධ ටෙන්ඩර් කැඳවුයේ නැහැ. මිල ගණන් කැඳවූයේ නැහැ. එනිසා මෙතන විශාල වංචාවක් සිදුවන බවට සැකයක් ඇතිවෙනවා. 
 
එසේනම් ආණ්ඩුව කළ යුතු කරුණු කිහියක් තිබෙනවා. පළවෙනි එක මේ වාහන ගෙන්වීම නතර කළ යුතුයි. රටේ වසංගත තත්ත්වය මැඩ පැවැත්වීමට අවශ්‍ය මුදල් නැති මොහොතක මේ ආකාරයේ මුදල් වියදම් කිරීම නතර කළ යුතුයි. තෙවනුව කැබිනට් අනුමැතියකින් තොර ව ණයවර ලිපි විවෘත කළේ කවුද කියලා සොයා බැලිය යුතුයි. වැක්සීන් ගැන කතා කළොත් වංචා දූෂණ, ඇන්ටිජන් කිට් ගැන කතා කළොත් වංචා දූෂණ, සීනි ගැන කතා කළොත් වංචා දූෂණ, පොල්තෙල් ගැන කතා කළොත් වංචා දූෂණ, වාහන ගෙන්වීම ගැන කතා කළොත් වංචා දූෂණ. මේ රටේ පුරවැසියන්ගෙන් ඉල්ලනවා තමන් පත් කරපු මන්ත්‍රීවරයට මේ වාහනයේ නැගලා ගමට එන්න දෙන්න එපා.! ඒ වගේම මේ වගේ වෙලාවක මන්ත්‍රීවරුන්ට මේ වාහනයේ නැගලා යන්න පුළුවන්ද? 
 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *