ජාතික වෘක්කවේද(වකුගඩු) විශේෂිත රෝහල ජනතා අයිතියට

විදේශ සබඳතා සෞඛ්‍යය

පොළොන්නරුවේ ඉදි කළ චීන – ශ්‍රී ලංකා මිත්‍රත්ව ජාතික වෘක්කවේද විශේෂිත රෝහල ජුනි 11 වැනි දා පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අතින් ජනතා අයිතියට පත් කෙරේ.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන 2015 වසරේ චීනයේ සිදු කළ සංචාරයේ දී කළ ඉල්ලීමකට අනුව චීන රජයේ පූර්ණ ප්‍රදානයක් ලෙස රෝහල් සංකීර්ණය මෙරටට හිමි විය.  

  චීනයේ සහ ශ්‍රී ලංකාවේ පෞරාණික ගෘහ නිර්මාණ ශිල්පයට අනුව ඉදි කර ඇති රෝහල් සංකීර්ණය අක්කර 16 ක භූමි ප්‍රමාණයක විහිද තිබේ. ඒ සඳහා වැය කළ  මුදල රුපියල් කෝටි 1200 ක් වන අතර ඉදිකිරීම් සඳහා ගත වූ කාලය මාස 30 කි.

වකුගඩු බද්ධ කිරීම සඳහා නවීන පහසුකම් සහිත ශල්‍යාගාර 05 කින් සමන්විත රෝහලේ රෝගීන් 200 කට නේවාසික පහසුකම් සැපයේ.  දැඩි සත්කාර ඇඳන් සංඛ්‍යාව 20 කි. යන්ත්‍ර 100 කින් සමන්විත රුධිර කාන්දුකරණ ඒකකයක්, වකුගඩු රෝගී සායන සංකීර්ණයක්, අති නවීන තාක්ෂණයෙන් යුත් රසායනාගාර හා පර්යේෂණාගාර, විකිරණ සහ සී.ටී ස්කෑන් සේවාව සහ නවීන ශ්‍රවණාගාරයක් ඊට අයත් වේ.  වාහන 300 ක් නවතා තැබිය හැකි රථ ගාලක් සහ රෝහල් කාර්යය මණ්ඩලයේ සෑම අයෙකුට ම නේවාසිකාගාර පහසුකම් සැලසුම් කර තිබීම විශේෂත්වයකි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් සමරු ඵලකය නිරාවරණ කර රෝහල් සංකීර්ණය විවෘත කිරීමෙන් අනතුරුව රෝහලේ කාර්යයභාරය පිළිබඳ පොළොන්නරුව මහා රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය එම්.කේ. සම්පත් ඉන්දික කුමාර පැහැදිලි කළේ ය.

ආරාධිත පිරිස රුධිර කාන්දුකරණ ඒකකය, ශල්‍යාගාරය, දැඩි සත්කාර ඒකකය ඇතුළු රෝහල් සංකීර්ණය නිරීක්ෂණය කළ හ.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි, උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත්, රාජ්‍ය අමාත්‍යවරුන් වන සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, චන්න ජයසුමන, රොෂාන් රණසිංහ, සිරිපාල ගම්ලත්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන  අමරකීර්ති අතුකෝරල, සුරේන් රාඝවන්, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් සංජීව මුණසිංහ, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන, ශ්‍රී ලංකාවේ චීන තානාපති චී. චෙන්ග් හොන්ග් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක් ව සිටිය හ.

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *