සහන වෙනුවට ජනතාව පාරට දාලා…

දේශපාලන ව්‍යාපාරික
 ඉන්ධන මිල පහත හෙලීම සඳහා ආණ්ඩුව වහා ක්‍රියාමාර්ග ගත යුතුයැයි ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික සුනිල් හඳුන්නෙත්ති පවසයි.
 
ජුනි 12 වැනි දා බත්තරමුල්ල, පැලවත්තේ පිහිටි ජනතා විමුක්ති පෙරමුණු ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් හෙතෙම ඒ බව පැවසී ය.
 
වැඩිදුරටත් අදහස් දැක් වූ ඔහු – 
 
ඊයේ (11) මධ්‍යම රාත්‍රියේ සිට තෙල් මිල වැඩි කළ බව අපි කවුරුත් දන්නවා. මේ තීරණය නිසා රටේ සමස්ත ජනතාව කොරෝනා වසංගතයට අමතර අති මහත් පීඩාවකට පත්වෙනවා. ජනතාවට සහන දෙනවා වෙනුවට ජනතාව මහ පාරට ඇදලා දාලා. මේ තීරණයත් එක්ක පාරිභෝගික භාණ්ඩවල මිල විශාල වශයෙන් ඉහළ යනවා. ඛනිජ තෙල් සංස්ථාව ලබන පාඩුව පියවා ගන්න තෙල් මිල ඉහළ දමන බව ප්‍රකාශ කරනවා. ලෝක වෙළඳපොළේ තෙල් මිල අඩුවෙන හැම වෙලාවෙම ඒ සහනය ජනතාවට දීලත් නැහැ, තෙල් සංස්ථාවේ පාඩුව පියවලත් නැහැ. අමතර ලාභය මහා භාණ්ඩාගාරයට අරගෙන තිබෙනවා. පහුගිය කාලයේ තෙල් බැරල් එකක මිල ඩොලර් 40 ට විතර අඩුවුණු වෙලාවේ ඒ සහනය ලබා නොදී ඉදිරියේදී තෙල් මිල වැඩි වූ අවස්ථාවල සහනය ලබාදීම වෙනුවෙන් අරමුදලක් හදන බව කීවා. මහ බැංකු වාර්තාවේ ම සඳහන් කර තිබෙන්නේ “වෙළෙඳපොළේ සැලකිය යුතු ලෙස පහළ ගොස් තිබෙන ඛනිජ තෙල් මිල ගණන්වලින් ප්‍රතිලාභ ලබමින් මාස 06 ක් තුළ බිලියන 200 ක මුදලක් රැස් කිරීමේ ඉලක්කය ඇතිව රජය විසින් ඉන්ධන මිල ස්ථායිකරණ අරමුදල පිහිටුවනු ලැබේ” කියලා. ඉන්ධන මිල ස්ථාවරය පවත්වාගෙන යෑමේ අරමුදල මිල අඩු වුණු වෙලාවේ පිහිටවූවා. දැන් ඒ අරමුදලට මොකද වුණේ? 
 
අද ඒ අරමුදල ගැන ආණ්ඩුව වචනයක්වත් කතා කරන්නේ නැහැ. හැබැයි 2020 මහ බැංකු වාර්තාවෙන් තවත් තොරතුරු හෙළි වෙනවා. “ගෝලීය තෙල් මිල සාපේක්‍ෂ වශයෙන් පහළ මට්ටමක පැවතිය ද ප්‍රධාන ඛනිජ තෙල් නිෂ්පාදනවල දේශීය මිල මට්ටම නොවෙනස් ව පවත්වාගෙන යෑම හේතුවෙන් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ මුල්‍ය ක්‍රියාකාරිත්වය 2020 වසරේ දී වර්ධනය විය. විගණනය නොකළ තාවකාලික මුල්‍ය ඇස්තමේන්තුවලට අනුව ඛනිජ තෙල් නීිතිගත සංස්ථාව පසුගිය වසරේ රු. බිලයන 19.1 ක මෙහෙයුම් අලාභය හා සැසඳීමේ දී 2020 වසරේ බිලියන 33.9 ක මෙහෙයුම් ලාභයක් වාර්තා වී ඇත” මාස කිහිපයකට කලින් බිලියන 33.9 ක මෙහෙයුම් ලාභයක් තිබුණා නම් ජනතාව පීඩාවට පත්වෙලා ඉන්න වෙලාවේ දී, අනික් පැත්තෙන් කෝටි 20,000 ක අරමුදලක් හැදුවා නම් ජනතාවට දෙනවා කියූ සහනය දැන් දෙන්න ඕනෑ. නමුත් ආණ්ඩුව කරලා තියෙන්නේ ජනතාවට පාරට බහින්න බැරි කරලා කොරෝනා වසංගතය පිට දාලා තවත් බර පටවමින් ඉන්නවා. අපි කවුරුත් එකතු වෙලා මුළු රටක් හැටියට විරෝධය පාන්න ඕනෑ. 
 
මේ මිල වැඩි කිරීමෙන් ඉන්දියාවේ අයි.ඕ.සී. සමාගමටත් විශේෂ වරප්‍රසාද ලබාදී තිබෙනවා. 92 පෙට්‍රල් මිල වැඩි කිරීමෙන් රු. 157 දක්වා ගෙනත් තිබෙනවා. ගොඩබෑමේ වියදම රු.97.70යි. සැකසුම් වියදම් හැටියට 10.60ක්. එකතු කරනවා. මුල්‍ය පිරිවැය රු. 1.84 ක් සහ රුපියලක පරිපාලන වියදම් එකතු කර තිබෙනවා. ඒවගේම රු.39.33 ක බද්දක් එකතුකර තිබෙනවා. රු. 150.54ක මුළු වියදමක් ගණන් හදනවා. මේ තුළ තමයි රු. 157 ක නව මිල තීරණය කරන්නේ. හැම පෙට්‍රල් ලීටරයකින්ම රු. 6.44 ක ලාභයක් තෙල් සංස්ථාව ලබනවා. මේ ලාභය අයි.ඕ.සී. එකටත් දෙනවා. ඊට අමතරව සැකසුම් පිරිවැය හැටියට එකතු කර තිබෙන 10.60 ක මුදලත් අයි.ඕ.සී. එකේ ලාභයක් හැටියට එකතු වෙනවා. 92 පෙට්‍රල් කාණ්ඩයෙන් විතරක් මේ ආකාරයේ අමතර ලාභයක් ලබාගන්නවා. තෙල් සංස්ථාව මිල දී ගන්නේ ණයවර ලිපි නිකුත් කිරීමෙන්. ඒ වෙනුවෙන් අමතර මුදලක් වියදම් වෙනවා. බැංකු ණය වෙනුවෙන් ද සංස්ථාව අමතර මුදලක් එකතු කරනවා. මේ වගේ අමතර විදයම් කිහිපයක් ඛනිජ තෙල් සංස්ථාවට දරන්න වෙනවා. හැබැයි අයි.ඕ.සී. සමාගමට මේ වියදම් අදාල වෙන්නේ නැහැ. මේ අනුව මිල වැඩි කිරිමෙන් විතරක් අයි.ඕ.සී. සමාගම පෙට්‍රල් ලීටරයකින් 12.84 ක අමතර ලාභයක් ලබනවා. තෙල් සංස්ථාවට වඩා දෙගුණයක ලාභයක් මේ මිල ගැලපීම් අනුව අයි.ඕ.සී සමාගමට ලැබෙනවා. 
 
ජනතාවට සහන දෙන්න ඕන වෙලාවේ තෙල් සංස්ථාවට කොටසක් ලබාගන්න අතර අයි.ඕ.සී. එකට විශාල ලාභයක් ලබාගන්න ඉඩ හදලා දෙනවා. අපේ රටේ ජනතාවට ඉතා ම පැහැදිලිව බරපතල අර්බුද මේ තුළින් ඇති වෙනවා. එදා ලෝක වෙළඳපොළේ තෙල් මිල පහත වැටෙද්දී ඒ සහනය ජනතාවට ලබා නොදී එකතු කර ගත්ත මුදල් ජනතාව වෙනුවෙන් යොදවන්න අද බැරිවෙලා තියෙන්නේ ඇයි? මිල ස්ථාවර කරගන්න කෝටි 20,000 ක් එකතු කළ අරමුදලට අද මොකද වෙලා තියෙන්නේ? එක පැත්තකින් රු.කෝටි දහස් ගණන් මහජන මුදල් වියදම් කරලා මන්ත්‍රීවරුන්ට සැප වාහන ගෙන්වන්න යනවා. ඇමතිවරුන්ගේ, මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද සත පහකින්වත් අඩුකරගෙන නැහැ. ඒ සියල්ල ජනතාවගෙන් අය කරගන්නා අතර තෙල් සංස්ථාව පාඩු ලබනවා කියලා විකුණා දමන්නත් එක පැත්තකින් සැරසෙනවා. මේ ආණ්ඩුව අනුගමනය කරමින් තිබෙන මුග්ධ ක්‍රියාවලිය පරාජය කරන්න රටක් හැටියට වහාම එකතු වෙන්න ඕනෑ. අපි ආණ්ඩුවට බල කරන්නේ එදා තෙල් මිල අඩු වුණු වෙලාවේ අය කරගත් සහනය වහාම ජනතාවට දෙන්න ඕනෑ. මේ ක්‍රියාවලිය ඇතුළේ අයි.ඕ.සී. සමාගම වැනි ආයනත සතුටු කිරීමේ ක්‍රියාවලිය නතර කරන්න ඕනෑ. තෙල් මිලේ පීඩාව ජනතාවගේ කර මත පටවන්නේ නැතිව වගකීමෙන් ක්‍රියා කරන ලෙස අපි අවධාරණය කරනවා. 
 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *