ඉන්දීය සහායෙන් සූර්යය බලශක්තිය

විදේශ සබඳතා ව්‍යාපාරික

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රකාර “සූර්ය බලශක්ති” උත්පාදනය වැඩි කර, ජාතික විදුලිබල පද්ධතියට පුනර්ජනනීය බලශක්ති දායකත්වය ඉහළ නැංවීම වේගවත් කිරීමට පියවර ගැනේ.

රජයේ ගොඩනැගිලි, ආගමික සිද්ධස්ථාන සහ අඩු ආදායම්ලාභී නිවෙස් දායක කර ගනිමින් සූර්යය බලශක්තිය උත්පාදනය රජයේ ප්‍රමුඛ සැලසුමකි. අඩු ආදායම්ලාභී ගෘහ ඒකක සඳහා ආර්ථික ප්‍රතිලාභ ළඟා කරදීම සහ රජයේ ආයතනවල විදුලිය වෙනුවෙන් වැය වන වියදම කපා හැරීම එමගින් අපේක්ෂා කෙරේ. මෙම ව්‍යාපෘති මගින් ජාතික විදුලි පද්ධතියට ඇතුළත් වීමට නොහැකි අඩු ආදායම්ලාභීන්ට බැටරි මගින් සූර්ය බලශක්ති ගබඩා පහසුකම් සැලසීමට ද පියවර ගෙන ඇත. ඉඩම් හිඟය මගහරවා ගනිමින්, ජලය මත පාවෙන සූර්යය පද්ධති ස්ථාපිත කිරීමෙන් විදුලි උත්පාදනය ද වැඩසටහනට ඇතුළත් වේ. එහි පළමු අදියර, පාර්ලිමේන්තුවට අවශ්‍ය විදුලි උත්පාදනය සඳහා ආදර්ශ වැඩපිළිවෙළක් ලෙස දියවන්නා ඔය කේන්ද්‍ර කරගනිමින් ඇරඹීමට සැලසුම් කර ඇත.

මෙම වැඩසටහන සඳහා ශ්‍රී ලංකාවේ ප්‍රධාන පාර්ශ්වකරුවෙකු ලෙස ඉන්දීය රජය, ඉන්දියානු අපනයන හා ආනයන බැංකුව මගින් අමෙරිකානු ඩොලර් මිලියන 100 ක ණය මාලාවක් (Line Of Credit) පිරිනැමීමට එකඟතාව පළ කරමින්, දෙපාර්ශ්වය අතර ණය සම්මුති ගිවිසුමකට එළඹ තිබේ.

ශ්‍රී ලංකා රජය සහ ඉන්දියානු අපනයන හා ආනයන බැංකුව අතර අත්සන් තබන ලද ණය මාලා ගිවිසුම ජුනි 16 වැනි දා පෙරවරුවේ කොළඹ ජනාධිපති කාර්යාලයේ දී, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක ඉදිරියේ මුදල් ලේකම් එස්.ආර්. ආටිගල සහ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ අතර හුවමාරු කර ගැනිණ.

විදේශ ලේකම් අද්මිරාල් ජයනාත් කොළඹගේ, විදුලිබල අමාත්‍යාශයේ ලේකම් වසන්තා පෙරේරා, ඉන්දීය තානාපති කාර්යාලයේ සහ මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් ඇතුළු පිරිසක් ද  මේ අවස්ථාවට එක් ව සිටිය හ.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *