මුළු ආණ්ඩුවට ම ජනතා විරෝධය!

දේශපාලන ව්‍යාපාරික
ආණ්ඩුවේ තෙල් නාටකය සමග ජනතාව පත් වී තිබෙන පීඩාකාරී තත්ත්වය පිළිබඳ ජනතා විමුක්ති පෙරමුණ අදහස් දක්වයි.
 
බත්තරමුල්ල, පැලවත්තේ පක්ෂ මූලස්ථානයේ ජුනි 17 වැනි දා පැවති මාධ්‍ය හමුවක් ඇමතූ එහි ප්‍රචාරක ලේකම් විජිත හේරත් අදාල කරුණු පිළිබඳ ජනතාව දැනුවත් කළේ ය.
 
එම අදහස් –
 
දැනට අවුරුදු එකහමාරක පමණ කාලය සිට කොරෝනා වසංගතය හේතුවෙන් රටේ ජනතාව මහත් ව්‍යසනයකට පත් ව සිටිනවා. කොවිඩ් තත්ත්වය හේතුවෙන් ආර්ථික සහ සමාජීය වශයෙන් ජනතාව පීඩාවට පත් වෙමින් සිටිනවා. එන්නත් ලබා දීම සම්බන්ධයෙන් ආණ්ඩුවට මුල සිට ම නිසි වැඩපිළිවෙළක් තිබුණේ නැහැ. අදටත් නිසි ක්‍රමවේදයක් නැහැ. අපි දන්නවා ඇස්ට්‍රාසෙනිකා එන්නතට අදාල වව මාත්‍රා දෙකක් ලබා දිය යුතුයි. නමුත් ආණ්ඩුව තමන්ගේ හිතවතුන්ට, දේශපාලකයින්ට ඉවක් බවක් නැති ව එන්නත් ලබාදීමට යාම නිසා විශාල පිරිසකට අදටත් එහි දෙවැනි මාත්‍රාව නොලැබී තිබෙනවා. ආණ්ඩුව විවිධ රටවලින් එම එන්නත් ලැබෙන බව කියමින් සිටියත් දෙවැනි එන්නත නොලැබීම නිසා අද ඔවුන් විශාල බියකින් සිටිනවා.
 
ඔන්ලයින් අධ්‍යාපන ක්‍රමය අසාර්ථක වී තිබෙනවා. එමගින් පාසල් යන දරුවන් සහිත විශාල දෙමව්පියන් පිරිසක් අපහසුතාවට ලක් ව තිබෙනවා. දෙමව්පියන්ගේ දුරකතනයට ඩේටා දමාගෙන දරුවන් අධ්‍යාපනය ලැබීමට උත්සාහ කළත් බොහෝ තැන්වලට ප්‍රමාණවත් සිග්නල් ලැබෙන්නේ නැහැ. දරුවන්ට කඳු මුදුන්වලට, ගස්වලට නැගීමට සිදු ව තිබෙනවා. දුරකතන අබලන් වීම නිසාත් දරුවන් කිහිපදෙනෙක් සිටින තැන්වල එක ම දුරකතනය බෙදා ගැනීමට සිදුවීම නිසාත් නිවෙස්වල ගැටුම් ඇතිවෙමින් තිබෙනවා. මේ තත්ත්වය තුළ දරුවන් හා දෙමව්පියන් විශාල පීඩාවකට ලක් ව සිටිනවා. අපි උදේ වරුවේ රූපවාහිනී නාලිකා අධ්‍යාපනය සඳහා යොදාගන්නා ලෙස යෝජනා කර තිබුණේ මේ නිසා තමයි. අවුරුදු  එකහමාරක් ගත වුණත් ආණ්ඩුව එවැනි තීරණයක් ගැනීමට අසමත් වී තිබෙනවා. 
 
කොරෝනා වසංගතය මැද වේගයෙන් බඩු මිල ඉහළ යමින් තිබෙනවා. රුපියල් 98-100 ට දෙන බව කියූ සහල්, ගැසට් ගසා මිල පාලනය කළ බව කියූ සහල් වෙළෙඳපොලේ සොයා ගැනීමට නැහැ. පාරිභෝගික අධිකාරියේ සභාපති මේජර් ජනරාල් දිසානායක මහතා අද වනවිට සොයාගැනීමටවත් නැහැ. වෙළෙන්දන් අල්ලා මට්ටු කරන බවට පුරසාරම් කී කිසිවෙක් අද දකින්න නැහැ. නාඩු කිලෝ එක රු. 125-130 යි, රතු කැකුළු සුදු කැකුළු 120-130 යි, සම්බා 160-175 යි. මිනිස්සුන්ට හාල් මිල දී ගැනීමට නොහැකි තත්ත්වයක් ඇති වී තිබෙනවා. පොල්තෙල් බෝතලයක් රු.800-900 යි. මාළුමිරිස් කිලෝ එක රු. 400 යි, බෝංචි කිලෝ එක රු. 240 යි. එළවළු මිල විශාල ලෙස ඉහළ ගොස් තිබෙනවා. ආණ්ඩුව මිල අයාලේ යාමට ඉඩහැර තිබෙනවා. ජනතාව මහත් සේ බැට කෑමට ලක් වී සිටිනවා.
 
හෙට අනිද්දාට ගෑස් මිලත් වැඩි කරන්න හදනවා. සමාගම් ඉල්ලන නිසා මිල වැඩි කරන්න සිදු වන බව ආණ්ඩුව කියමින් සිටිනවා. ලිට්‍රො ගෑස් සමාගම කියන්නේ රජය සතු සමාගමක්. බන්දුල ගුණවර්ධන ඇමතිවරයා මුදල් ඇමතිවරයා සමග ඒකාබද්ධ ව කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබුණා. ලිට්‍රො ගෑස් සමාගම ගෑස් මෙ.ටො. 01 ක් මිල දී ගන්නේ ඩො. 137 ට. නමුත් පෞද්ගලික ලාෆ් සමාගම එම ප්‍රමාණය වෙළඳපොලෙන් ගන්නේ ඩො. 83 ට බව එහි කියා තිබුණා. රජයේ ගෑස් සමාගම වෙළඳපොළන් වැඩි මිලට ගෑස් ගැනීමේ ප්‍රශ්නය විසඳාගන්නේ නැතිව එය ජනතාව මත පැටවීම වැරදියි. දැන් ගෑස් මිල රු. 700-800 කින් වැඩි කරන්න හදනවා. 
 
තෙල් මිල වැඩි කිරීමත් සමග සියලු ම භාණ්ඩ හා සේවාවන් හි මිල ගණන් ඉහළ යනවා. දැනටමත් බේකරි නිෂ්පාදනවල මිල වැඩි වී තිබෙනවා. ප්ලෙන්ටිය, බත් පැකට් එකේ සිට මිල ඉහළ යනවා. සමස්ත නිෂ්පාදන පිරිවැය වැඩිවීමත් එක්ක ඒවායේ මිල ඉහළ යනවා. තෙල් මිල වැඩි කිරීමේ අවසන් ප්‍රතිඵලය වන්නේ එයයි. 
දැනටමත් ධීවර ජනතාව මහත් ව්‍යසනයකට මුහුණ දී සිටිනවා. නැව විනාශ වීම නිසා රැකියාව කර ගැනීමට නොහැකි ව ඔවුන් පීඩාවට පත් ව සිටියා. ඒ වගේම දැන් ඩීසල් මිල ඉහළයාම නිසා වැඩි ම පීඩාවට ලක්ව සිටින්නේ ඔවුනුයි. ජාත්‍යන්තර මුහුදේ මසුන් ඇල්ලීම සඳහා යන බහුදින යාත්‍රා අවම වශයෙන් වරකට ලීටර් 2500 ක් පමණ තෙල් ලබා ගන්නවා. රු. 7 කින් ඩීසල් මිල ඉහළ ගිය විට ඔවුන්ට රු. 17,500 ක වැඩි වීමක් සිදුවනවා. දවසක ගමනකට සාමාන්‍ය බෝට්ටුවකට ඉන්ධන වියදම රු.600-700 ක් වැඩි වී තිබෙනවා. මාළු මිලට මේ වියදම එකතු වෙනවා. අල්ල ගන්න මාළු අස්වැන්න අලෙවි කර ගැනීමට නොහැකි ව සිටිනවා. 
 
ආණ්ඩුව ගත් පොහොර ආනයන තහනම පිළිබඳ තීන්දුව සමග ගොවීන් කබලෙන් ලිපට වැටී තිබෙනවා. තමන් වියදම් කර හෝ අස්වැන්න ලබා ගැනීමට ඔවුනට නොහැකි වෙලා. ඔවුන්ට  ගොවිතැන එපා වන තත්ත්වයට වැටී තිබෙනවා. පහුගිය දිනවල ඇති වූ ගංවතුර තත්ත්වය මෙම තත්ත්වය දෙගුණ තෙගුණ කරවා තිබෙනවා. රට ම කොරෝනා බිය පමණක් නොව බඩු මිල, අධ්‍යාපන ප්‍රශ්නය, ගංවතුර ගැටළු, පොහොර ගැටළු, පරිසර දූෂණය වැනි තත්ත්වයන් සමග තුන් බියක් නොව අට අනූවක් දෝෂවලට මුහුණ දීමට ජනතාවට සිදු ව තිබෙනවා. 
මෙවැනි මොහොතක ආණ්ඩුව තෙල් මිල ඉහළ දැමීමට  පියවර ගත්තා. දැන් ඔවුන් ගිනිකෙළි සංදර්ශන පෙන්වමින් සිටිනවා. 2020 වසරේ දී ලෝක වෙළඳපොළේ තෙල් මිල ඉතිහාසයේ කවරදාකටත් වඩා අඩු වුණා. එය ඍණ අගයක් සටහන් කළා. 2020 මහ බැංකු වාර්තාවේ 80 වැනි පිටුවේ 2020 අප්‍රේල් මාසයේ එක්සත් ජනපද තෙල් වෙළඳපොළේ එය ඍණ 37.63ක අගයක් සටහන් කළ බව සඳහන් වනවා. ඒ අඩුවීමේ ලාභය ආණ්ඩුව ජනතාවට ලබා දුන්නේ නැහැ. ඒ අඩුවීමේ වාසිය එකතු කර අරමුදලක් හදා ලෝක වෙළඳපොලේ තෙල් මිල වැඩි වූ අවස්ථාවක තෙල් මිල ස්ථායී ව පවත්වා ගන්නා බව ආණ්ඩුව කිවුවා. මේ අරමුදලට කෝටි 20,000ක් එන බව ඔවුන් කිවුවා. ඒ නිසා කවදාවත් මිල වැඩි කිරීමට සිදු නොවන බවට සපථ කර කිවුවා. 
 
වෙළඳපොළේ පහළ ගොස් ඇති මිල ගණන්වල ප්‍රතිලාභ ලබමින් කෝටි 20,000 ක අරමුදල් පිහිටවනු ලැබූ බව මහ බැංකු වාර්තාවේ 25 වැනි පිටුවේ පැහැදිලි ව සඳහන් කරනවා. නමුත් ගම්මන්පිල ඛනිජ තෙල් ඇමතිවරයා එවැනි ස්ථායීකරණ අරමුදලක් පිහිට වූයේ නැතැයි කියනවා. එය ජනතාව රැවටීම සඳහා කියන ලද සම්‍යප්‍රලාපයක් බව කියනවා. එවැනි අරමුදලක් පිහිට වූ බව සත්‍යයක්. මහ බැංකු වාර්තාවේ 83 වැනි පිටුවේ ඛනිජ තෙල් සංස්ථාව රු. කෝටි 3300 ක මෙහෙයුම් ලාභයක් ලැබූ බව කියනවා. එසේම මිල ස්ථායීකරණ අරමුදලේ රු. කෝටි 6920 ක මුදලක් එකතු වූ බවත් එයින් කෝටි 480 ක් ලංකා විදුලි බල මණ්ඩලය විසින් ඛනිජ තෙල් සංස්ථාවට ගෙවීමට තිබූ ණය පියවූ බවත් තවත් කෝටි 2100 ක් මහ බැංකුවේ බැඳුම්කර ණය පියවීමට යොදා ගත් බවත් 82 වැනි පිටුවේ සඳහන් කරනවා. නමුත් ඇමතිවරයා එවැනි අරමුදලක් නැති බව කියනවා. මේ අරමුදල හැදුවේ විදුලි බල මණ්ඩලයෙන් ලැබිය යුතු ණය පියවන්න නෙමෙයි. භාණ්ඩාගාර බිල්පත් ගෙවන්නත් නෙමෙයි. ලෝක වෙළපොළේ තෙල් මිල ඉහළ ගියාම ඊට අනුව මිල වැඩි නොකර මිල ස්ථාවර ව පවත්වා ගන්නයි. දැන් කර තිබෙන්නේ මේ රටේ ජනතාව අමු අමුවේ රැවටීමට ලක්කිරීමයි. ආණ්ඩුව ජනතාවට කියා ඇත්තේ අතේ පත්තු වෙන බොරුවක්. ජනතාව රවටා අඩු වූ තෙල් මිලේ වාසියත් අරගෙන වැඩි වූ විට එයත් ජනතාව කරපිට දමා තිබෙනවා. 
 
අවශ්‍ය නම් ආණ්ඩුවට තෙල් මිල අඩු කළ හැකියි. ඛනිජ තෙල් සංස්ථාව සකස් කළ මිල වාර්තාව අනුව පෙට්‍රල් 92 ගොඩබාන මිල රු. 92.70 යි. ඒ මත ආණ්ඩුව රු. 39.33 ක බද්දක් ගහනවා. පෙට්‍රල් 95 ලීටරයක් ගොඩබාන මිල 99.79 යි. ආණ්ඩුව ඒ මත රු. 60.48 ක ඍජු බද්දක් ගහනවා.  ලංකා ඔටෝ ඩීසල් මත රුපියල් 7 ක බද්දක් ගහනවා. සුපර් ඩීසල්වලට රු. 35.20 ක බද්දක් ගහනවා. තෙල් මිල අඩු කළ නොහැකි බවට ආණ්ඩුව කියන කථාව පිළිගත නොහැකියි.  2020 වසරේ මිල අඩුවීම නිසා ලබා ගත් ලාභයක් තිබෙනවා, තෙල් සංස්ථාව ලාභ ලබා තිබෙනවා. ස්ථායීකරණ අරමුදලට කෝටි 6000 ගණනක් එකතු වී තිබෙනවා. එසේනම් කළ යුතු ව තිබෙන්නේ බද්ද අඩු කිරීමයි. කොරෝනා වසංගතය මධ්‍යයේ දහසකුත් එකක් ප්‍රශ්නවලට මුහුණ දී සිටින ජනතාවට සහනයක් වීම සඳහා ආණ්ඩුවට තමන් අයකරන බදු මුදල් අඩු කළ හැකියි. එසේ කළේනම් පෙට්‍රල් ඩීසල් මිල වැඩි කිරීමට අවශ්‍ය වන්නේ නැහැ. 
 
ඒ නිසා බොරු සෙල්ලම් දාන්නේ නැතිව, ජනතාව තවත් රැවටීමට ලක් නොකර තෙල් මිල තිබූ තත්ත්වයට අඩු කරන ලෙස අපි ආණ්ඩුවට අවධාරණය කරනවා. තෙල් මිල අඩු කර ජනතාව මේ විපතින් මුදා ගැනීමට කටයුතු කරන්න. ආණ්ඩුවේ ම ඇමතිවරුන්, මන්ත්‍රීවරුන් කොරෝනා තත්ත්වය මැද තෙල් මිල වැඩි කිරීම අසාධාරණ යැයි තැන්තැන්වල විවිධ ප්‍රකාශ නිකුත් කරනවා නම් ආණ්ඩුවට සරල තීන්දුවකින් මෙය විසඳිය හැකියි. ආණ්ඩුවට බදු අඩු කර මිල පහළ දැමිය හැකියි. ස්ථායීකරණ අරමුදලට මොකද වුණේ කියලා මේ රටේ ජනතාව දැනගන්න කැමතියි. ඒ අනුව දැන් ජනතාවට තෙල් මිල අඩු කර පෙන්වන්න. ජනතාව නාඩගම්වලට රැවටෙන්න සූදානම් නැහැ. ඒ මුල් අවස්ථාවේ කියන ලද බොරු දැන් ආණ්ඩුව ඇතුළෙනමෙ එළියට පැමිණ තිබෙනවා.
 
ආණ්ඩුවේ කැබිනට් ප්‍රකාශකවරයෙක්, ජීවන වියදම් කමිටුවේ සාමාජිකයෙක් වෙන ගම්මන්පිල ඇමතිවරයා කියනවා තෙල් ගෙන්වන්න විදියක් නැහැ ඩොලර් හිගයක් කියලා. නමුත් ජනාධිපතිවරයා නිවේදනයක් දාලා කියනවා තෙල් මිල වැඩි කළේ දේශීය ආර්ථිකය නඟා සිටුවන්න කියලා. අපි ජනාධිපතිවරයාට කියනවා ඔබ දන්න ආර්ථික විද්‍යාව අනුව තෙල් මිල වැඩි කළා ම දේශීය ආර්ථිකය නගින්නේ කොහොමද කියලා අපිට කියල දෙන්න. රටේ ආර්ථික විද්‍යාව ඉගෙන ගන්නා ඉස්කෝලේ යන ළමයි ජනාධිපතිගෙ සූත්‍රය ගැන දැනගන්න ආසයි. ජනතාව මේක පැහැදිලි කරගන්න කැමතියි. රටේ ඕනෑ ම පොඩි ළමයෙක් පවා දන්නවා තෙල් මිල වැඩි කළා ම සියලු ම බඩුවල මිල වැඩිවෙනවා කියලා. ආර්ථිකය වැටෙනවා කියලා. ඒක තේරෙන්නේ නැති නායකයෙක් තමයි රට පාලනය කරන්නේ. 
 
තවත් සමහරු කියනවා බැසිල් හිටියනම් තෙල් මිල වැඩිවෙන්නේ නැහැ කියලා. කවුද මේ බැසිල්. එයා ජනාධිපතිට අගමැතිට ඉහළින් ඉන්න කෙනෙක් ද? ජනාධිපති අගමැති සහ තවත් කැබිනට් ඇමතිවරු ඉන්න කමිටුවෙන් තමයි වැඩි කරන්න තීරණය ගත්තේ. ලන්සයි ජගත් පුෂ්පකුමාරයි කියනවා බැසිල් හිටියනම් වැඩි වෙන්නේ නැහැ කියලා. අඩු ම ගානේ මන්ත්‍රීවරයෙක් ලෙස පත්වෙන්න බැසිල් මේ රටේ පුරවැසියෙක්වත් නෙවෙයි. ඇමරිකන් පුරවැසියෙක් මේ රටේ තෙල් මිල අඩු කරන්නේ කොහොමද? ඒ කියන්නේ රටේ ජනාධිපතිගෙන් වැඩක් නැහැ. ගම්මන්පිලට එරෙහි ව ලිපි නිකුත් කිරීම පිටිපස්සේ ඉන්නේ බැසිල්. බැසිල් තමන්ගේ ඉත්තෝ පාවිච්චි කරලා එක එක ජවනිකා පෙන්නලා ඇත්ත ප්‍රශ්නය යට ගහන්න හදනවා. බැසිල් දන්නේ නැතුව සාගර කාරියවසම් ලිපි නිකුත් කරයි ද? ප්‍රශ්නය වෙන පැත්තකට තල්ලු කරන්න තමයි මේ නාඩගම් පෙන්වන්නේ. මෙතන තීන්දුව ගත්තේ ජනාධිපති අගමැති ඇතුළු ජීවන වියදම් කමිටුව. ඉල්ලා අස්විය යුත්තේ කවුද කියලා පැහැදිලියි. ගම්මන්පිල එක්කෙනෙක් විතරයි. ආණ්ඩුව තමයි තීරණය ගත්තේ. මේ අයට ජනතාව රවට්ටන්න අපි ඉඩ දෙන්නේ නැහැ. ජනතාව අවදි වෙලා ඉන්නේ. 
 
සමගි ජන බලවේගය විශ්වාසභංගයක් ගෙනල්ලා උදය ගම්මන්පිලට එරෙහි ව. බැසිල්ගෙ උගුලේ හිරවෙලා. බැසිල්ට ඕන වෙලා තිබුණේ උදය ගම්මන්පිලගේ පිටින් මේක යවන්න. සාගර කාරියවසම් දාලා ලියුමක් දැම්මා. දැන් සමගි ජන බලවේගය ලව්වා විශ්වාසභංගයක් දාලා ප්‍රශ්නය එතනට ලඝු කරනවා. අහක ඉන්න පෙත්තප්පු කෙනෙක්ට එරෙහි විශ්වාසභංගයක් ගෙනල්ලා ආණ්ඩුවට එරෙහි විරෝධය යට ගහන්න දෙන්න පුළුවන් ද? දැන් ආණ්ඩුවේ ම විශ්වාසය භංග වෙලා තියෙන්නේ. ජනතාවගේ අට අනූවක් දෝෂ භංග කරගැනීමේ අභියෝගයට මුහුණ දීලා ඉන්නේ. ගිනිකෙළි සංදර්ශනවලින් මේවා යටපත් කරන්න දෙන්න බැහැ. ඇත්ත විරෝධය බැසිල්ගෙ උගුලේ අහුවෙන්න දෙන්න බැහැ. උදය ගම්මන්පිලට තවත් චෝදනා එල්ල කරනවා ආණ්ඩු පාර්ශ්වයෙන්. ඒ තියෙන්නේ කොමිස් පිළිබඳ ප්‍රශ්නයක්. ආණ්ඩුවේ ම අය කොමිස් බෙදාගන්න චෝදනා එල්ල කර ගන්න එක ජනතාවගේ ඇත්ත ප්‍රශ්නය හෝ විරෝධය නෙවෙයි. ජනතා විරෝධය තියෙන්නේ මුළු ආණ්ඩුවටමයි. 
ඒ නිසා ඉන්ධන මිල වැඩි කිරීමේ තීරණය වහා ම හකුළාගන්න ලෙස අපි ආණ්ඩුවට බල කරනවා. ගොවි ජනතාව, ධීවර ජනතාව මේ ලක්වෙලා ඉන්න පීඩනයෙන් මුදවගන්න වහා ම තෙල් මිල අඩු කළ යුතුයි. බොරු නාඩගම් පෙන්වන්නේ නැතුව ගිනිකෙළි සංදර්ශන පෙන්වන්න හදන්න එපා. ඇත්ත ජනතා ප්‍රශ්නයට උත්තර දෙන්න. ඒ වගේම කෝටි 20,000 තෙල් මිල ස්ථායිකරණ අරමුදලට වෙච්ච දේ ජනතාවට පැහැදිලි කළ යුතුයි. තෙල්වලට ගහලා තියෙන අසාධාරණ බද්ධ අඩු කරලා ජනතාවට සහන මිලට තෙල් ටික දෙන්න කියලා අපි ආණ්ඩුවට බල කරනවා. !

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *