යුද හමුදාව පිළිසකර කළ වාහන

හමුදා තොරතුරු
ශ්‍රී ලංකා යුද්ධ හමුදා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුවෙන් ප්‍රතිනවීකරණය කළ රථවාහන රැසක් යුද්ධ හමුදාධිපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා නිරීක්ෂණය කරයි.
 
යුද්ධ හමුදාවේ භාවිතය පිණිස විදෙස් රටවලින් වාහන ගෙන්වීමට වැය වන අතිවිශාල විදේශ විනිමය රටට ඉතිරි කරගැනීම සඳහා ඔහුගේ සංකල්පයකට අනුව යුද්ධ හමුදාව දිගුකාලීන ව භාවිතයට ගෙන අයෝග්‍ය තත්ත්වයට පත් රථවාහන ප්‍රතිනවීකරණය කිරීමේ වැඩසටහනක් ආරම්භ කෙරිණ. 
 
ඒ අනුව, ශ්‍රී ලංකා යුද්ධ හමුදා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුව නවීකරණය කළ රථවාහන කිහිපයක් ජුනි 15 වැනි දා බත්තරමුල්ල යුද්ධ හමුදා මූලස්ථානයේ දී ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපතිවරයා විසින් පරීක්‍ෂා කරන ලදී.
 
කසල ප්‍රවාහනය කරන ට්‍රක් රථයක්, ජංගම භාණ්ඩ විකුණුම් ට්‍රක් රථයක්, ජීප් රථ 04 ක් සහ ඩබල් කැබ් රථයක් ඒ අතර විය.
 
ජංගම භාණ්ඩ විකුණුම් ට්‍රක් රථය හැර සෙසු සියලු රථ යුද්ධ හමුදාව විසින් දිගුකාලීන ව ප්‍රයෝජනයට ගෙන අයෝග්‍ය තත්ත්වයට පත්වීම හේතුවෙන් භාවිතයෙන් ඉවත් කර තිබේ.
 
ශ්‍රී ලංකා යුද්ධ හමුදා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු අධ්‍යක්‍ෂ ජෙනරාල් මේජර් ජෙනරල් ඉන්දු සමරකෝන්ගේ උපදෙස් මත අදාල සියලු වාහන ශ්‍රී ලංකා යුද්ධ හමුදා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුවේ භට පිරිසේ ශ්‍රම දායකත්වය සහ තාක්‍ෂණික දැනුම මත නවීන මාදිලියෙන් නවීකරණය කර ඇත.  
 
විදේශ විනිමය ඉතිරි කරමින් ආයෝග්‍ය කරන ලද යතුරුපැදි, වෑන්, ලොරි, ට්‍රක් සහ බස් ඇතුළු බරවාහන රැසක් උඩවලව, අනුරාධපුර, කිලිනොච්චිය, යාපනය ඇතුළු දිවයිනපුරා ස්ථාපිත ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු අංගන මගින් යුද්ධ හමුදාවේ ප්‍රයෝජනය සඳහා අලුත්වැඩියා කර තිබේ.
 
මෙම අවස්ථාවට ජෙනරාල් මේජර් ජෙනරාල් ඉන්දු සමරකෝන් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් සහභාගී වූ හ.
 
 
 
 
 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *