රටට සල්ලි උපයන පුංචි හමුදාව

විශේෂ හමුදා තොරතුරු

මෙරට කුරිරු ත්‍රස්තවාදී යුද්ධයක් පැවති සමයේ ගම් දනව් ත්‍රස්ත ප්‍රහාරයන්ගෙන් බේරාගැනීමට දැඩි ආරක්ෂක වළල්ලක් නිරන්තරයෙන් පවත්වාගැනීමට එවක පැවති රජයන්ට සිදු විය. අමානුෂික, සිත් පිත් නැති බෝම්බ සහ කුරිරු ප්‍රහාර හමුවේ මෙරට ත්‍රිවිධ හමුදා, පොලිස් විරුවන් රණබිම්වල සිය පණ නල වා තලයට එක් කරද්දී අදාල ගම්බිමි ආරක්ෂා කිරීම වෙනුවට යුද පෙරමුණු කරා ගමන් කිරීමට ආරක්ෂක සාමාජිකයින්ට සිදු විය.

කැති ගා දමන සිංහල, දමිළ, මුස්ලිම් ජනතා රුහිරු ලක් පොළොවට එක් වන සඳ විශේෂයෙන් උතුරු, උතුරු මැද, නැගෙනහිර ඇතුළු තදාසන්න පළාත්වල ජනතාවට සිය ගම්බිම් සුරැකීමේ වගකීම පැවරිණි. ප්‍රථමයෙන් කුඩා කණ්ඩායම් එක් ව රාත්‍රී පහන් වනතුරු සිය ප්‍රදේශ ආරක්ෂා කළ අතර පසුකාලීන ව, එය යම් සංවිධානාත්මක තත්ත්වයකට පත් වූයේ රාජ්‍ය මැදිහත්වීමෙනි.

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයෙකු යටතේ පැවති එම සේවය සඳහා දෛනික දීමනාවක් ලබා දෙන ලදී.

එය ග්‍රාමාරක්ෂක සේවය නමින් හැඳින්විණි. වසර 2006 සැප්තැම්බර් 13 වැනි දා,එවක ආරක්ෂක ලේකම්, වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සහ එවක ජනාධිපති, වත්මන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ සංකල්පයක් මත අදාල සේවාව සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව නමින් ප්‍රතිසංවිධාන කරන ලදී. ඒ, දිවි හිමියෙන් රට රකිමු! යන තේමාව යටතේ ය.

එතැන් පටන් ඔවුහු මායිම් ගම්මානවල ජනතාවගේ ආරක්ෂාව තහවුරු කළ හ. යුද හමුදාව අත්පත් කරගත් භූමිය ආරක්ෂා කළ හ. සිවිල් ජනයා සිය නිජබිම් හැරපියා දකුණට සංක්‍රමණය වීම වළකා ඔවුන් එහි ම රැකගත් හ.

එම මෙහෙයුම් හමුවේ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු සාමාජික සාමාජිකාවෝ 545 දෙනෙකු මව්බිම වෙනුවෙන් සිය දිවි පිදූ හ. තවත් 425 දෙනෙකු ආබාධිත තත්ත්වයට පත් වූ හ.

යුද්ධය නිමාවීමෙන් අනතුරුව එම පිරිස් රටේ සංවර්ධන දායකත්වයට හවුල්වෙමින්, දේශීය ආර්ථික සංවර්ධනයට සිය ශ්‍රමය කැප කළෝ ය.

 

සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවට 2021 සැප්තැම්බර් 13 වැනි දාට වසර 15 ක් සපිරේ. මේ විශේෂ සටහන ඒ නිමිත්තෙනි.

 

මෙහෙයුම් සහ නායකත්වය

සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ පළමු අධ්‍යක්ෂ ජනරාල්වරයා වූයේ රියර් අද්මිරාල් සරත් පී. වීරසේකරයි. ඔහු 2006 නොවැම්බර් 01 වැනි දා සිට 2010 පෙබරවාරි 11 වැනි දා දක්වා එම ධුරයේ කටයුතු කළේ ය.

එතැන් පටන් දෙපාර්තමේන්තුව මෙහෙයවන ලද්දේ පහත අධ්‍යක්ෂ ජනරාල්වරුන් විසිනි.

  • රියර් අද්මිරාල් ආනන්ද පීරිස් – 2010 පෙබරවාරි 12 වැනි දා සිට 2015 ජනවාරි 19 වැනි දා දක්වා
  • මේජර් ජනරාල් ආර්. එම්. ජනක රත්නායක – 2015 ජනවාරි 20 වැනි දා සිට 2015 පෙබරවාරි 11 දක්වා
  • පරිපාලන නිලධාරී චන්ද්‍රරත්න පල්ලේගම – 2015 පෙබරවාරි 12 සිට 2018 අප්‍රේල් 17 වැනි දා දක්වා
  • මේජර් ජනරාල් නිර්මාල් කොස්වත්ත – 2018 ජූලි 02 වැනි දා සිට 2019 ජනවාරි 09 දක්වා
  • පරිපාලන නිලධාරී චන්ද්‍රරත්න පල්ලේගම – 2019 ජනවාරි 10 සිට 2019 දෙසැම්බර් 06
  • රියර් අද්මිරාල් ආනන්ද පීරිස් – 2019 දෙසැම්බර් 07 වැනි දා සිට 2021 ජනවාරි 14 දක්වා
  • මේජර් ජනරාල් නන්දන සේනාධීර – 2021 ජනවාරි 21 වැනි දා සිට 2021 ජූලි 05 වැනි දා දක්වා
  • මේජර් ජනරාල් (විශ්‍රාමික) රන්ජන් ළමාහේවාගේ – 2021 ජූලි සිට වර්තමානය දක්වා..

සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සැකැස්ම

අධ්‍යක්ෂ ජනරාල්වරයෙකුගේ පාලනය යටතේ පැවතෙන සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ මේ වනවිට සාමාජිකත්වය 35,000 ක් පමණ වේ.

දෙපාර්තමේන්තුවේ අණ දීමේ සහ මෙහෙයවීමේ කටයුතු සිදුවන්නේ ත්‍රිවිධ හමුදාවේ සහ පොලීසියේ උසස් නිලධාරීන් විසිනි. ඒ සඳහා අදාල නිලධාරීන් 75 ක පමණ පිරිසක් අනුයුක්ත ව සිටිති.

දෙපාර්තමේන්තු සේවයට එක් ව, සේවය අතර උසස් අධ්‍යාපනය හැදෑරූ 65 ක පමණ සාමාජික පිරිසක් ද උසස් තල අතර සේවය කරනු ලැබේ.

මේ වනවිට එහි සියලු සෙබළ සෙබළියන් විශ්‍රාම වැටුපක් සහිත රාජ්‍ය සේවයකට හිමිකරුවෝ වෙති.

අගනුවරින් බැහැර විශේෂයෙන් උතුර, නැගෙනහිර වැනි පළාත්වල පදිංචි පිරිස එහි බහුතරය ලෙස වාර්තා වේ.

දිවයින පුරා එම පුහුණු පාසල් 05 කි. මිහින්තලේ, ගල්කිරියාගම, අම්පාරේ පහළලන්ද සහ කල්පිටියේ පිහිටි පාසල් 04 න් සෙබළුන් සඳහා වන මූලික ආරක්ෂක පුහුණුවක් අදාල සාමාජිකයින් වෙත ලබා දේ. උපතින් ම උරුම වූ ගොවිතැනට හුරු දෑතක් සහිත ඔවුනට නව අත්හදාබැලීම් සහ තාක්ෂණය පිළිබඳ අවබෝධය පුහුණු පාසල් මගින් පිරිනමයි.

කළුතර දිස්ත්‍රික්කයේ සේරුපිට පිහිටි පුහුණු පාසල සෞන්දර්යය ඒකකය සඳහා වෙන් කර ඇත. එහි පුහුණුව ලද නර්තන, පෙරදිග සහ අපරදිග සංගීත කණ්ඩායම් බාහිර උත්සව සඳහා ද ගෙන්වාගැනීමේ හැකියාව පවතී.

සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ බලකා මූලස්ථාන 24 ක් වේ. ඒ අතර වන කිලිනොච්චි, විශ්වමඩු සහ මුලතිවු බලකාවල 2500 ක් පමණ සාමාජිකත්වය දමිළ ජාතික, දමිළ බස කතා කරන, පුනරුත්ථාපිත එල්. ටී. ටී. ඊ. සාමාජිකයෝ වෙති. මේ වනවිට ඔවුන් සමාජගත ව, රජයේ රැකියාවක නිරත වී සාමාන්‍ය පරිදි කටයුතු කරති. අදාල බලකාවල සියලු රාජකාරි ඔවුන් විසින් සිදු කරන අතර, එම බලකාවල සේවය කරන සිංහල සෙබළ පිරිස 30 කටත් වඩා අඩු සංඛ්‍යාවක් වේ.

සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු බලකා මූලස්ථාන තුළ දේශීය ආර්ථිකය නංවාලනු වස් කෘෂි ව්‍යාපෘති, ගඩොල් ව්‍යාපෘති,සත්ත්ව පාලනය සහ වෙනත් ව්‍යාපෘති වන අතර ආරක්ෂක සේවා, නර්තන සහ වෙනත් ආදායම් මගින් දෙපාර්තමේන්තුව රාජ්‍ය භාණ්ඩාගාරයට විශාල මුදලක් මේ වනවිටත් බැර කර තිබේ.

ව්‍යාපෘති

  • සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ ප්‍රමුඛතම දායකත්වය පිරිනැමෙන්නේ කෘෂිකාර්මික අංශයටයි.

දේශීය වී වර්ග වගා කර ලැබෙන අස්වැන්නෙන් එම සහල් වර්ග වෙළෙඳපොලට නිකුත් කෙරෙන්නේ සාමාන්‍ය වෙළෙඳපොලේ පවතින මිලට වඩා අඩු මුදලකට ය. කැකුළු, නාඩු, සම්බා, බටපොලඇල්, සුවඳැල්, බාස්මතී ඇතුළු සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව නිපදවන සහල් වර්ග මේ වනවිට ජනප්‍රිය ව පවතී. වැලිසර පිහිටි බෙදාහැරීමේ මධ්‍යස්ථානයෙන් තෝරාගත් ස්ථාන කරා රැගෙන ගොස් අලෙවි කෙරෙන එම සහල් වර්ගවලට අධික ඉල්ලුමක් පවතින බව දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.

ඉකුත් 2020 වසරේ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව විසින් දිවයින පුරා වගා කර ඇති කුඹුරු අක්කර ගණන පමණක් 2200 ක් වේ. බඩ ඉරිඟු අක්කර 1800 ක් පමණ වගා කර ඇත.

ජලය නොමැති වගා කන්නවල වී වෙනුවට මුං, තල, කව්පි වැනි වගා අස්වද්දන්නට ගොවිතැනට උපන් හපන් ඒ පළාත්වල සිවිල් ආරක්ෂකයෝ සමත් වෙති.

කොළඹ, වැල්ලම්පිටියේ වෙන්නවත්ත ප්‍රදේශයේ අක්කර 10 ක වී වගාවක් දැනට අස්වැන්න කැපීමට සූදානමින් පවතී.

දිවයිනේ විශාලතම කජු වගාව සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව සතු වේ. කොන්ඩච්චි හි පිහිටි අක්කර 1500 ක කජු වගාවෙන් ලද අස්වැන්න කිලෝග්‍රෑම් 100,300 ක් වෙළෙඳපොලට නිකුත් කර ඉකුත් 2020 වසරේ රාජ්‍ය භාණ්ඩාගාරයට දෙපාර්තමේන්තුව විසින් ලබා දී ඇති මුදල රුපියල් ලක්ෂ 450 ක් වේ.

ඊට අමතර වෙනත් බලකා මූලස්ථානවල ද අක්කර 300 කට අධික කජු වගාවක් පවතී.

කැබිතිගොල්ලෑවේ හරිතාගාරයක් තුළ මිරිස් වගාව සඳහා අක්කර 20 ක් වෙන් කර අදාල කටයුතු සිදු කෙරෙමින් පවතී. ඊට අමතර දැනටමත් සෑම කන්නයක ම අක්කර 40 ක මිරිස් වගාවක් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව යටතේ ක්‍රියාත්මක ය.

මේ වනවිටත් අතිසාර්ථක ව තල, බඩ ඉරිඟු ඇතුළු තවත් වගා රැසක් ක්‍රියාවට නැංවෙමින් පවතී. යල – මහ කන්න දෙක එක සේ වගා කර, එම අස්වැන්න අලෙවියෙන් ලැබෙන ආදායම් මහා භාණ්ඩාගාරයට ලබාදෙන්නට සිවිල් ආරක්ෂක දූ දරුවෝ කැප වී සිටිති.

අක්කර 05 කට වැඩි පුරන් වූ කුඹුරු සහ වගා කටයුතු සඳහා භාවිත කර වර්තමානයේ අත්හැර ඇති ඉඩම් සිය වගා කටයුතු සඳහා ලබාගන්නා දෙපාර්තමේන්තුව වැඩි වශයෙන් කෘෂිකාර්මික කටයුතු සිදු කරන්නේ රජයේ ඉඩම්වල ය.

නව අධ්‍යක්ෂ ජනරාල්වරයා යටතේ දෙපාර්තමේන්තුවේ නවත ම ව්‍යාපෘතිය වන්නේ කාබනික පොහොර නිපදවීමයි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට අදාල ව දේශීය කාබනික පොහොර නිපදවීමේ කාර්යය භාරය සිය දෙපාර්තමේන්තුව භාරයේ සාර්ථක කරගැනීම සිය ඉලක්කය බව මේජර් ජනරාල් (විශ්‍රාමික) රන්ජන් ළමාහේවාගේ පවසයි.

ඒ අනුව දෙපාර්තමේන්තුව යටතේ වන සියලු බලකා මූලස්ථානවල කොම්පෝස්ට් පොහොර සැකසීමේ කටයුතු දැනටමත් ආරම්භ කර ඇත. මාස 03 ක මහා පරිමාණ ව්‍යාපෘති ලෙසින් ක්‍රියාත්මක එම වැඩපිළිවෙලේ ඉලක්කය ටොන් 25,000 කි. ඊට අදාල යන්ත්‍ර සූත්‍ර මිල දී ගැනීමේ කටයුතු දැනටමත් බොහෝදුරට අවසන් වී ඇත.

කෘෂිකර්ම අමාත්‍යාංශය සහ නැගෙනහිර පළාත ඒ සඳහා සිය උපරිම දායකත්වය ලබා දී තිබේ.

  • ඉදිකිරීම් කටයුතු සඳහා දායකත්වය සැපයීම ද සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ වැදගත් කාර්යයභාරයකි.

වසර කිහිපයක සිට රණවිරුවන් වෙනුවෙන් කෘතගුණ සැලකීමට ඉදිවන සඳහිරුසෑයේ ඉදිකිරීම් සඳහා ගඩොල් තැනීමේ ව්‍යාපෘතියට සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව දායක වේ. ඇලයාපත්තුවේ සහ ඔයාමඩුවේ ඔවුන්ගේ ගඩොල් කැපීමේ ව්‍යාපෘති බිම්වල දහස් ගණනින් සෑ රදුන්ගේ ඉදිකිරීම් වෙනුවෙන් ගඩොල් නිපද වේ.

එහි නිරත ව සිටින සෙබළ පිරිස 350 ත් 400 ත් අතර ය. ඓතිහාසික දීඝවාපි පුදබිමේ ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා ද එතරම් ම පිරිසක් දායක වෙමින් සිටිති.

දැනට ඉදිකිරීම් සිදු කෙරෙන සඳහිරුසෑය සහ දීඝවාපි පුදබිම් හි වැඩබිම්වල ඉදිකිරීම් සහාය සඳහා දෙපාර්තමේන්තු සෙබළුන් සිය දායකත්වය ලබා දෙන අන්දම දැකිය හැකි ය. ඊට අමතර මිහින්තලේ, අනුරාධපුර මහමෙව්නා උයන, මහර බන්ධනාගාරය, කොළඹ ඇස් වාට්ටුවේ පිහිටි ඔසුසල, මහරගම අපේක්ෂා රෝහල ඇතුළු පොදු ස්ථාන රැසක කෙරෙන ඉදිකිරීම් සඳහා ඔවුන්ගේ දායකත්වය ලැබේ.

  • ශ්‍රී ජයවර්ධනපුර පාර්ලිමේන්තු ක්‍රීඩාංගණය, කොළඹ විහාරමහාදේවි උයන, කාක දූපත, බේරේ වැවේ පාවෙන අවන්හල ඇතුළු තවත් ස්ථානවල නඩත්තු කටයුතු මුළුමනින් ම පාහේ දෙපාර්තමේන්තු සෙබළ සෙබළියෝ ඉටු කරති.
  • පසුගිය දා මෙරට මුහුදු සීමාවේ දී ගිනි ගැනීමට ලක් වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් නිකුත් වූ සුන්බුන් සහ අබලි ද්‍රව්‍යයෙන් අපිරිසිදු වූ වෙරළ තීරය පිරිසිදු කිරීම සඳහා වැඩි ශ්‍රම දායකත්වයක් ලබා දුන්නේ ද ඔවුන් විසිනි.
  • තංගල්ල ප්‍රදේශයේ යාචකයන් සඳහා ඉදි කිරීමට යෝජිත නිවස්නයක ඉදිකිරීම් සඳහා ද ඔවුන්ගේ ශ්‍රම දායකත්වය ලබාදීමට යෝජිත බව අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසී ය.
  • ඩෙංගු රෝග මර්දන කටයුතු සඳහා ද දෙපාර්තමේන්තු සාමාජික සාමාජිකාවන්ගේ සහාය නොමඳ ව ලබා දේ.
  • සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව යටතේ ක්‍රියාත්මක පෙරපාසල් ගණන 545 කට අධික ය. ඒවායේ 1100 කට අධික මූලික සුදුසුකම් සහිත ගුරුවරුන් ඇතුළු කාර්යය මණ්ඩලයක් සේවය කරති.
  • උතුරු නැගෙනහිර ඇතුළු දිවයිනේ දුෂ්කර පළාත්වල දෙපාර්තමේන්තු ගුරුවරුන් 184 දෙනෙක් සේවය කරති. අදාල පාසල්වල විදුහල්පතිවරුන් කළ ඉල්ලීම් අනුව අදාල අධ්‍යාපන සුදුසුකම් සහිත සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු සාමාජිකයින් ඒ සඳහා යොමු කෙරෙති. ඔවුනට දෙපාර්තමේන්තුව මගින් වැටුප් ලබා  දේ. යම් දුෂ්කර පාසලක ගුරු පුරප්පාඩු වෙතොත් ඒ පිළිබඳ කෙරෙන ඉල්ලීමකට අනුව සිය දෙපාර්තමේන්තුවෙන් ඊට සුදුසු නිලධාරියෙකු අනුයුක්ත කිරීම කලක පටන් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව සිදු කළ සේවාවකි.
  • වකුගඩු රෝගයෙන් පෙළෙන උතුරු නැගෙනහිර ජනතාව වෙනුවෙන් ශ්‍රී ලංකා නාවුක හමුදාව ඇතුළු තවත් ආයතන හා සංවිධාන විසින් පානීය ජල පිරිපහදු යන්ත්‍ර පිරිනමා තිබේ. අදාල යන්ත්‍ර 295 ක නඩත්තු සහ ඉදිකිරීම් කටයුතු වෙනුවෙන් 40,000 ක පමණ දෙපාර්තමේන්තු සෙබළ පිරිසක් යොදවා සිටිති.
  • විශේෂ ව්‍යාපෘති සඳහා දායකත්වය අවශ්‍ය වූ විට දිවයින පුරා පිහිටි බලකා මූලස්ථානවල සෙබළ පිරිස් අදාල ක්ෂේත්‍ර වෙත කැඳවා සේවය ලබාගෙන, ව්‍යාපෘතිය නිමවීමෙන් අනතුරුව නැවත සිය මූලස්ථාන වෙත යොමු කිරීම සාමාන්‍ය ක්‍රමවේදයයි.
  • ආගමික ස්ථාන, පුරා විද්‍යා උරුම වැනි ස්ථානවල ආරක්ෂාව පිණිස සැලකිය යුතු සාමාජික පිරිසක් අනුයුක්ත කර සිටිති.
  • වන අලි තර්ජිත ගම්මානවල අලිවැට සැකසීම සහ පවත්වාගෙන යාම සඳහා 5000 කට අධික සාමාජික පිරිසක් වනජීවී දෙපාර්තමේන්තුව යටතේ සිය රාජකාරිවල නිරත වන්නා හ.

  • ගෙවීමේ පදනම මත රාජ්‍ය ආයතනවල ආරක්ෂක සේවය සඳහා 1880 ක් පමණ සිවිල් ආරක්ෂක සෙබළු කටයුතු කරති. එමගින් ලැබෙන ආදායම රාජ්‍ය භාණ්ඩාගාරයට බැර කෙරේ.
  • පොලීසිය සමග එක් ව නීතිය හා සාමය සුරැකීමට පොලිස්ථානවල රාජකාරි කටයුතුවල නිරත පිරිස 2350 ක් පමණ ය.
  • ග්‍රාමීය මට්ටමින් සෙබළියෝ පන් මලු, පෙට්ටි නිෂ්පාදනය වැනි හස්ත කර්මාන්තවල නියැළෙන අතර අත් යන්ත්‍ර පේෂකර්මය සහ මැහුම් ගෙතුම්වල ද නියැළෙති.

සුබසාධනය

ඔවුන්ගේ සුබසාධන කටයුතු සිදු කෙරෙන්නේ ද මනා සංවිධානාත්මක වැඩපිළිවෙලකට අනුව ය. සුවසවිය යන රක්ෂණ වැඩපිළිවෙල සහ යහසාධකය නමැති සුබසාධන ක්‍රමවේදය යටතේ අදාල කටයුතු සිදු කෙරේ.

ඒ යටතේ බැංකු සමග ඒකාබද්ධ ව සාමාජිකයින්ගේ ඉතිරිකිරීම් ඉහළ නැංවීමටත්, විශ්‍රාම ලබන විට ඉතිරි කළ මුදල පෙරළා පිරිනැමීමටත් කටයුතු සලසා ඇත.

වර්තමානයේ දෙපාර්තමේන්තු සෙබළෙකු හෝ සෙබළියකට කොවිඩ් 19 වෛරසය ආසාදනය වුවහොත් දෛනික ව රුපියල් 500 බැගින් දින 14 ක සිට 30 ක් දක්වා උපරිමයකට යටත් ව දීමනාවක් ලබාදීමට පියවර ගෙන ඇත. ඊට අමතර දෙපාර්තමේන්තු සුබසාධක අරමුදලෙන් රුපියල් 5000 ක් වටිනා සහන මල්ලක් ද අදාල සාමාජිකයා වෙත පිරිනැමේ.

දෙපාර්තමේන්තුවේ සේවා වනිතා ඒකකය මගින් මේ වනවිට සිය සාමාජිකයින් වෙනුවෙන් නිවාස 100 ක් තනාදීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කර ඇත. ඒ යටතේ මේ වනවිට නිවාස 50 කට අධික ප්‍රමාණයක් ඉදිකිරීම් නිමවා අදාල පිරිසට භාර දී තිබේ. සැප්තැම්බර් 14 වැනි දා වව්නියාවේ දී එක් නිවසක් විවෘත කිරීමට නියමිතයි.

නිවාස ඉදිකිරීම සඳහා අරමුදල් සේවා වනිතා ඒකකයෙන් සහ වෙනත් පරිත්‍යාගශීලීන් ඇතුළු මාර්ග ඔස්සේ ලබාගන්නා අතර, ශ්‍රම දායකත්වය දෙපාර්තමේන්තු සාමාජිකත්වයෙනි. මසකට වරක් හෝ දෙකක් සිය සාමාජිකයින්ගේ නිවසක අළුත්වැඩියාවක් සිදු කිරීමට අවශ්‍ය ව ඒ බව දැනුම් දුනහොත්, දෙපාර්තමේන්තුවේ ශ්‍රම දායකත්වයෙන් අදාල කටයුත්ත සිදු කර දීම ද පෙර පටන් පැවති සුබසාධන ක්‍රමයකි.

15 වැනි සංවත්සරය

රටේ මෙන් ම මුළු මහත් ලෝකයේ ද පවතින තත්ත්වය හේතුවෙන් මෙවර සිය 15 වැනි සංවත්සරය ඉතා චාම් අන්දමින් පැවැත්වීමට සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව සැලසුම් කර තිබේ. ඒ පහත සඳහන් අන්දමිනි.

  • ඒ අනුව 2021 සැප්තැම්බර් 11 වැනි දා පස්වරුවේ දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ ජනරාල්, මේජර් ජනරාල් (විශ්‍රාමික) රන්ජන් ළමාහේවාගේ මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර ඓතිහාසික ශ්‍රී දළඳා මාළිගාවේ දී උතුම් දළඳා වහන්සේ වෙත ගිලන්පස පූජාවක් පවත්වා බලකා ධජ වෙත සෙත් ප්‍රාර්ථනා කිරීම.
  • සැප්තැම්බර් 13 වැනි දා පෙරවරු  07.00 ට අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ ප්‍රධානත්වයෙන් අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අබිමුව බලකා ධජ වෙත සෙත් පතා ආශිර්වාද ලබාගැනීම..
  • එදින ම පස්වරු 04.00 ට මිහින්තලය සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු රණවිරු ස්මාරකය අසල දී කඳවුරු සම්මාන මුරය පවත්වා, 15 වසරක සිය සේවා කාලය සම්පූර්ණ කළ සිවිල් ආරක්ෂක සාමාජිකයින් 30 දෙනෙකුට සංකේතාත්මක ව දීර්ඝ සේවා පදක්කම පිරිනැමීම. (සාමාජික සාමාජිකාවන් 10,000 ක් වෙනුවෙන් එම පදක්කම පිරිනැමේ.)
  • ක්‍රියාන්විතයේ දී මිය ගිය සිවිල් ආරක්ෂක සාමාජික සාමාජිකාවන් 545 දෙනා අනුස්මරණය කරමින් පුෂ්පෝපහාරය.
  • සැප්තැම්බර් 14 වැනි දා පස්වරු 03.00 ට කිලිනොච්චිය, නෙළුම් පියස ශ්‍රවණාගාරයේ දී අධ්‍යක්ෂ ජනරාල්, මේජර් ජනරාල් (විශ්‍රාමික) රන්ජන් ළමාහේවාගේ මහතා අතින් ආබාධිත තත්ත්වයට පත් සාමාජිකයින් හට කෘත්‍රිම අත් සහ පාද පිරිනැමීම.
  • 01. ක්‍රියාන්විත රාජකාරියේ දී ආබාධිත තත්ත්වයට පත් සාමාජිකයින් 09 දෙනෙකුට සහ
  • 02. පුනරුත්ථාපිත දමිළ සාමාජිකයින් අතරින් ආබාධිත තත්ත්වයට පත් 63 දෙනෙකුට කෘත්‍රිම අත් 10 ක් සහ පාද 53 ක්
  • එදින පස්වරු 05.00 ට කිලිනොච්චිය, පුලියන්පොක්කනෛ නාග තම්බිරාන් කෝවිලේ දී හින්දු ආගමික වතාවත් සහ බලකා ධජ වෙත සෙත් පැතීම.
  • සැප්තැම්බර් 17 වැනි දා පෙරවරු 08.00 ට මොරටුව, රාවතාවත්ත, සුරතාවියන්ගේ රාජේශ්වරියගේ දේවස්ථානයේ දී කතෝලික ආගමික වතාවත් පවත්වා බලකා ධජ වෙත සෙත් පැතීම.
  • සැප්තැම්බර් 19 වැනි දා පෙරවරු 10.00 ට අම්පාරේ එරගම, ජුම්මා දේවස්ථානයේ දී මුස්ලිම් ආගමික වතාවත් පවත්වා බලකා ධජයන් ට සෙත් ප්‍රාර්ථනා කිරීම.

සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ ඉදිරි දැක්ම

පසුගිය 2020 වසරේ දෙපාර්තමේන්තුව ඉපයූ ආදායම් රුපියල් මිලියන 978 ක් රාජ්‍ය භාණ්ඩාගාරයට ලබාදීමට හැකි වූ බව එහි අධ්‍යක්ෂ ජනරාල්, මේජර් ජනරාල් (විශ්‍රාමික) රන්ජන් ළමාහේවාගේ කියයි.

… මේ වනවිට 2021 වර්ෂයේ ලද ආදායමින් රුපියල් මිලියන 337 ක් අපි භාණ්ඩාගාරයට ලබා දී තිබෙනවා. තවමත් අපිට මේ වසරේ ආදායම් ලැබෙන්න තියෙනවා.. ඒ අනුව තවත් විශාල මුදලක් අපේ නිෂ්පාදන හා සේවා මගින් මේ වසරේ රජයට ලබාදෙන්න අපිට හැකියාව තියෙනවා..

… ආරක්ෂක ලේකම් මේජර් ජනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතා ඍජුව ම මැදිහත් වෙලා මේ ආයතනය නිසි පරිදි ගොඩ නගන්න මට අවස්ථාව සහ පහසුකම් ලබා දී තිබෙනවා. ඒ අනුව ඉදිරි දෙසතිය තුළ මට අවශ්‍ය කරන සම්පූර්ණ කාර්යය මණ්ඩලයේ සිට සියලු පහසුකම් ලැබේවි..

… මිනිස් ශ්‍රමය වෙනුවට යන්ත්‍ර සූත්‍ර භාවිතය සහ තාක්ෂණය ඉහළ නංවා මානව සම්පත ඔවුන් විසින් ම සිදු කළ යුතු වෙනත් ව්‍යාපෘති කරා යෙදවීම අපේ අරමුණයි. දැනටමත් අපේ රටේ කෘෂිකර්මාන්තයට අවශ්‍ය කරන නව නිර්මාණ රාශියක් බිහි වෙලා තියෙනවා..

… සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව තවත් එක දෙපාර්තමේන්තුවක් විය යුතු නැහැ. එය විශේෂ ආයතනයක් විය යුතුයි. එයත් අත්‍යවශ්‍ය සහ වැදගත් ආයතනයක් ලෙස ජනතාව අතරට යා යුතුයි..!

.. අංග සම්පූර්ණ, අභිමානවත් දෙපාර්තමේන්තුවක් ලෙස සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව නගා සිටුවීම සහ ඊට අවශ්‍ය කරන පරිසරය සකසා දීම මගේ අරමුණයි..!

ඔහු අධිෂ්ඨානශීලී ව පවසයි. එම ස්වරයේ හුදෙක් වචන කිහිපයකට එහා ගිය මනා දැක්මක් පෙනේ.

දසක කිහිපයකට පෙර බියෙන්, සංකාවෙන් තැති ගෙන සිය පවුල්වල නෑ හිත මිතුරන් හා ගේ දොර ඉඩකඩම් රැක ගැනීමට නුපුරුදු ගිනි අවියක් අතට ගත්, කැත්තේ උදැල්ලේ වැඩට උපන්ගෙයි වීරයින් වූ පරපුරක් චූල හමුදාවක් ලෙස මව්බිමේ සංවර්ධනයට උර දී සිටිති.

අද ඔවුන් සිය ජව සම්පන්න කාලය සහ ශ්‍රමය රටේ සංවර්ධනයට දායක කරති. ගොවිබිමේ සිට පුදබිම දක්වාත්, ඉහළ ආරක්ෂක සේවා උදෙසාත්, අකුරු කරන දුවා දරුවන් වෙනුවෙනුත් සිය දායකත්වය ලබා දෙති.

මෙරට සංවර්ධන සංග්‍රාමයේ  හැබෑ උරුමක්කාරයින් ලෙස දිදුලන මෙහෙවරක නිරතවීමට සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවට වඩ වඩා හැකියාව ලැබේවා!යි ප්‍රාර්ථනා කරමි.

 

– තිළිණි අතුකෝරල

(තොරතුරු ලබාගැනීමේ දී සහාය දැක් වූ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ (මාධ්‍ය) සහ මාධ්‍ය ප්‍රකාශක ලුතිනන් කර්නල් ඩී. ජේ. එස්. එල්. පොන්වීර සහ මාධ්‍ය සම්බන්ධීකාරක ලුතිනන් කොමාන්ඩර් රන්දික ජයවර්ධන මහත්වරුන්ට ස්තුතියි!)

 

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *