සිංහරාජයේ කුඩුමීරිය වැසි වනාන්තරයේ ගස් විෂ රසායන දමා විනාශ කරයි

0
33

රත්නපුර දිස්ත්‍රික්කයේ කලවාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටා ඇති කුඩුමීරිය වැසි වනාන්තරය සිංහරාජ පරිවාර වනන්තරයක් වන දෙල්වල වලන්කන්ද රක්ෂිතයේ නිරිතදිග බෑවුමට මුහුණලා ඇත. මෙම රක්ෂිතය මෑත කාලයේ මිනිස් ක්‍රියාකාරකම් නිසා විශාල වශයෙන් එළිපෙහෙළි වන්නට පටන් ගෙන ඇත. පසු ගිය කාලයේ දිගින් දිගටම විනාශයන් වූ අතර එය වැළක්වීමට රාජ්‍ය ආයතන විශාල වෙහෙසක් ගන්නා ලදි. එවන් පසුබිමක සදාහරිත ප්ලාන්ටේෂන්ස් ලිමිටඞ් සමාගම විසින් මේ වනවිට එම රක්ෂිතය විෂ රසායන ද්‍රව්‍ය යොදාගනිමින් විනාශ කරන බවට ගම්වාසීන් පවසයි.

වටිනාකමින් ඉහළ විශාල ගස් සැලසුම් සහගත පිරිසක් මගින් යන්ත්‍ර යොදාගනිමින් සිදුරු කර ඒ තුළට විස රසායන ද්‍රව්‍ය යොදා ඉතාමත් ම්ලේච්ඡ අයුරින් මරාදමා ඇත. ගස් සිදුරු කර ඒ තුළට රසායනයක් ඇතුළුකර ගස් මරාදැමීම මගින් මේ ගස් ස්වාභාවිකව මැරුණු බව පෙන්වීමට උත්සාහ ගෙන ඇත. සාමාන්‍ය පුද්ගලයෙකු විසින් සිදු කළ හැකි කාර්යයක් නොවන අතර එය මහා පරිමාණ සැලසුම් සහගත අයතනනයක හෝ ව්‍යාපාරයක ක්‍රියාවක් ලෙස හොඳාකාරවම දැකිය හැකි බව වැසි වනාන්තර සුරකින්නන්ගේ සංවිධානය පවසයි.

දැනටමත් විශාල හානියක් සිදු වී ඇති කුඩුමීරිය වැසි වනාන්තරය වාහනයකින් ළඟාවීමට අපහසු දැඩි කඳුකර කඳුවළල්ලකින් සැඟව ඇති භූමියකි. කුඩා ගඟත්, දෙල්ගොඩ ගඟත් පෝෂණය කරන ප්‍රධාන ජල පෝෂක ප්‍රදේශයක්ය. එය වටා වැද්දාගල, කත්ලාන, රඹුක ඇතුළු ගම්මාන රැසක් පිහිටා ඇති අතර එම ගම්මාන තුළ ජීවත් වන දහස් ගණනකගේ ජීවනෝපාය වන කෘෂිකර්මාන්තයේ පැවැත්මට කුඩුමීරිය වැසි වනාන්තරය ඍජුවම දායක වේ. එසේම, වනාන්තරය මරාදැමීමට යොදනු ලබන රසායන ද්‍රව්‍ය ජලයට එකතුවී ජනතාව පරිභෝජනය කරන ජලමුලාශ්‍රවලට ඇතුළු වීම තුළින් ඔවුන් විශාල සෞඛ්‍ය තර්ජනයකට මුහුණ දිය හැකිය.

මෙම රක්ෂිත ප්‍රදේශයේ ජෛව විවිධත්වය සලකා බලා පරිසර සංවේදී කලාපයක් ලෙස නම් කිරීමට අවශ්‍ය කටයුතු සියල්ල මධ්‍යම පරිසර අධිකාරිය මගින් මේ වනවිට සිදු කර ඇති අතර අදාළ ප්‍රදේශයේ ක්ෂේත්‍ර පරීක්ෂාවක්ද කර වාර්තාවන් සකසා ඒ පිළිබඳ අදාළ කටයුතු කෙරෙමින් පවතී. එසේ සිදුවන වටපිටාවක් තුළ මෙම වනාන්තරය විෂ රසායන මගින් විනාශ කිරීම බරපතළ අපරාධයකි.
ඒ අනුව වැසිවනාන්තර සුරකින්නන්ගේ සංවිධානය විසින් සදාහරිත ප්ලාන්ටේෂන්ස් ලිමිටඞ් සමාගම දිගින් දිගටම දැනුවත් කර ඇති අතර මෙම විනාශය පිළිබඳවද එම සමාගමට හා අදාළ ආයතන කීපයක් වෙත ලිපි යොමුකර ඇත. මෙලෙස වටිනා රක්ෂිත කලාපයක් ඉතාමත් සාහසික අයුරින් විනාශ කරන අයවළුන් පිළිබඳ සොයා බලා ඔවුන්ට නීතිය ක්‍රියාත්මක කරන මෙන් අදාළ බලධාරීන්ගෙන් වැසිවනාන්තර සුරකින්නන්ගේ සංවිධානය ඉල්ලා සිටියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here