ජනාධිපති විසින් සමුහඝාතකයකු නිදහස් කිරීම “නිග්‍රහයක්” – එක්සත් ජාතීන්

0
31

පස් හැවිරිදි දරුවකු ඇතුළු දෙමළ භාෂාව කතා කරන ශ්‍රී ලාංකිකයන් අට දෙනකු ඝාතනය කිරීමේ අපරාධයට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියමවී සිටි හමුදා නිලධාරියෙක් ජනාධිපතිවරයා විසින් නිදහස් කරනු ලැබීම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ දැඩි දෝෂ දාර්ශනයට ලක්වී තිබේ.

සැකකාර හමුදා නිලධාරීන් පස් දෙනකුට නඩු පවරන ලද දශකයකට වැඩි කලක් දිග්ගැස්සුණු නඩු විභාගයකින් පසු දඬුවම් ලද එකම නිලධාරියා වූ ගජබා රෙජිමේන්තුවේ සුනිල් රත්නායක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් නිදහස් කර යැවීම මානව හිමිකම් සම්බන්ධ එක්සත් ජාතීන්ගේ ප්‍රධානතම ආයතනය විසින් හෙලා දැක ඇත්තේ “වින්දිතයන්ට කරන ලද නිග්‍රහයක්” ලෙසිනි.

“ජනාධිපති සමාව වින්දිතයන්ට කරන ලද නිග්‍රහයක් මෙන්ම යුද අපරාධ, මානව වර්ගයාට එරෙහි අපරාධ සහ වෙනත් බරපතල මානව හිමිකම් උල්ලංඝන වලට අර්ථ පූර්ණ වගඋත්තරකාරීත්වයක් සලසා දීම සඳහා වන ජාත්‍යන්තර මානව හිමිකම් වලට අදාළ වගකීම් සපුරා ලීමට ශ්‍රී ලංකාව දක්වන නොහැකියාව පිලිබඳ තවත් උදාහරණයකි,” යි මානව හිමිකම් කොමසාරිස් කාර්යාලයේ ප්‍රකාශක රූපට් කොල්විල් ජිනීවා නුවර සිට නිකුත් කළ දැඩි ස්වරයෙන් යුත් නිවේදනයක සඳහන් වේ.

“එවැනි කෙලෙසීම් හා අපරාධ සම්බන්ධයෙන් ප්‍රතිකර්මයක් ලබා ගැනීමේ අයිතියක් වින්දිතයන් සතුය. යුක්තිය සහ හානිපුරණය සමාන සහ ඵලදායී ලෙස සලසා ගැනීමේ අයිතිය මෙන්ම අපරාධකරුවන්ට ස්වකීය චර්යාවේ බරපතල කමට ගැලපෙන දඬුවමක් ලැබීමත් මීට ඇතුලත් වෙයි.”

යුද සමයේ සිදුකරන ලද කෘරකම් සම්බන්ධයෙන් දඬුවම් ලද එකම අපරාධකරුටත් සමාව දීමෙන් සිදුවී ඇත්තේ මානව හිමිකම් කෙලෙසීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව පවත්වාගෙන යන දණ්ඩ මුක්තිය සම්බන්ධයෙන් ඇති කරගෙන තිබෙන “සීමිත ප්‍රගතිය” ට හානි පැමිණවීමක් බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් කාර්යාලය වැඩිදුරටත් කියා සිටී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here