අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය වෙනුවෙන්, පොලිසියට එරෙහිව තරුණ ජනමාධ්‍යවේදීන් මානව හිමිකමට යයි….

0
23

පොලිස් මාධ්‍ය කොට්ඨාසය විසින් අප්‍රේල් 01 දා නිකුත් කර තිබුණු, භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහස සම්බන්ධව මාධ්‍ය නිවේදනයක් සම්බන්ධයෙන්, තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට ලිපියක් යොමු කර තිබෙනවා….

එම ලිපිය පහතින්.


2020 අප්‍රේල් මස 05 වැනි දා

දීපිකා උඩගම මහත්මිය,
සභාපතිනිය,
ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව,
ආර් ඒ ද මැල් මාවත,
කොළඹ.

සභාපතිතුමියනි,

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ආරක්ෂා කර ඇති භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහස සීමා කිරීම සම්බන්ධවයි.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය අප්‍රේල් මස පළමු වැනි දා ‘අන්තර්ජාලය ඔස්සේ අසත්‍ය හෝ ද්වේශසහගත ප්‍රරකාශ පළ කරන පුද්ගලයින්ට එරෙහිව දැඩි නීතිමය පියවර’ නම් හිසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබිණි. එම මාධ්‍ය නිවේදනය ඇමුණුම 01 ලෙස මෙහි අමුණා ඇත.

එම මාධ්‍ය නිවේදනයේ ඇති කරුණු කෙරෙහි ගැඹුරින් අවධානය යොමු කළ විට පෙනී යන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ආරක්ෂා කර ඇති මූලික අයිතිවාසිකමක් කඩ කිරීමට රජය සහ / හෝ පොලිසිය සූදානම් වන බවයි.

එකී නිවේදනයේ පළමුවෙන්ම සඳහන් කර ඇත්තේ “කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරසය ශ්‍රී ලංකාව තුළ පැතිරීම වැලැක්වීම සඳහා රාජ්‍ය අංශයේ උපරිම දායකත්වය එම ආයතනවල සේවකයින් විසින් මනා කැපවීමකින් යුක්තව ලබා දෙනු ලබයි” යන්න ය. මෙය අතිශය විහිළු සහගතය. මෙම දරුණු වසංගතය මධ්‍යයේ රාජ්‍ය ආයතන සිය වගකීම් ඉටු කරන බව සත්‍යයක් නමුත් උක්ත ප්‍රරකාශයෙන් දැක්වෙන පරිදි එය ස්ථිර නොවන සාපේක්ෂ කාරණයකි. මේ වකවානුවේ අති බහුතරයක් රාජ්‍ය සේවකයන් කරන මෙහෙය අපි ඉතා අගේකොට සලක අතරේ වගකීම් කර අරින නිලධාරීන්ට සිටිය හැකි බව සඳහන් කිරීමට කැමැත්තෙමු.

“එම රාජකාරි විවේචනය කරමින් සහ එම නිලධරයන්ගේ සුළු අඩුපාඩු මතුකර පෙන්වමින් ඉතා බරපතල ලෙස එම රජයේ සේවකයින්ගේ රාජකාරියට බාධා කරමින් සහ ඔවුන්ට බැන තර්ජනය කරමින් අසත්‍ය හෝ ද්වේශසහගත ප්‍රරකාශ ඇතුළත් වීඩියෝ දර්ශන සහ වෙනත් පළකිරීම්, අන්තර්ජාලය තුළ ප්‍රසිද්ධ කරන බව වාර්තා වී ඇත.” යනුවෙන් පොලිස් මාධ්‍ය කොට්ඨාසය මගින් නිකුත් කරන ලද නිවේදනයේ සඳහන් කර තිබේ. එය බරපතළ තත්ත්වයකි. කිසිම හේතුවක් නිසා සුලුවෙන් තැකිය නොහැකි කරුණකි. රාජ්‍ය නිලධාරියෙකු අතින් වෙන අඩුපාඩුවක් සුළු අඩුපාඩුවක්ද නැද්ද යන්න තීරණය කිරීමේ හැකියාවක් සහ අයිතියක් පොලිසියට නැත. එමෙන්ම ප්‍රජාතන්ත්‍රීය සමාජයක පැවැත්ම සඳහා රාජ්‍ය ආයතනවල සහ රාජ්‍ය සේවකයන්ගේ අඩුපාඩු පෙන්වාදීම මෙන්ම විවේචනාත්මක සහාය ලබාදීම ද අතිශයින් වැදගත් කරුණකි.

ජෝසප් පෙරේරා එදිරි නීතිපති නඩුවේ දී ශර්වානන්ද හිටපු අගවිනිසුරුවරයා භාෂණයේ නිදහස ගැන මෙසේ සඳහන් කර තිබේ. (ඇමිණුම 02)

“Without free political discussion, no public education, so essential for the proper functioning of the process of popular government, is possible. The welfare of the community requires that those who decide shall understand them. The right of the people to hear is within the concept of freedom of speech. Freedom of discussion must embrace all issues about which information is needed to enable the members of a society to cope with the exigencies of their period. It is essential to enlighten public opinion in a democratic state; it cannot be curtailed without affecting the right of the people to be informed through sources, independent of the government, concerning matters of public interest. There must be untrammeled publication of news and views and of the opinions of political parties which are critical of the actions of government and expose its weakness. Government must be prevented from assuming the guardianship of the public mind. Truth can be sifted out from falsehood only if the government is vigorously and constantly cross-examined.”

වර්ෂ 2016 දී ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් සමන්ති මනෝහරි පැලකැටිය එදිරි අධ්‍යාපන ලේකම් සහ වෙනත් අය තීන්දුවේ මෙසේ සඳහන් වෙයි. (ඇමිණුම 03)

// Freedom of speech is essential for the proper functioning of the democratic process. Public opinion plays a crucial role in modern democracy and it is of great importance. The fundamental right to the freedom of speech and expressions enshrine in Article 14(a) of our Constitution is based on the provisions of Amendment 1 of the Constitution of the United States of America and of Article 19(1) of the Indian Constitution and it would be legitimate and proper to refer to decision of the Supreme Court of US and India on freedom of speech and expression – Fundamental Rights in Sri Lanka – Justice S. Sharvananda Pg. 212.//

// I note the following case law gathered from the above Text Book and from other authorities.

Justice Brennan referred in New York Times Co. Vs. Sulliwin 376 US 254 (1964) to “a Profound Rational Commitment to the Principle that debates on public issues should be uninhibited, robust and wide open and it may well include vehement, caustic and sometimes unpleasantly sharp attack on government and public officials”.

“public opinion plays a crucial role in modern democracy. Freedom to form public opinion is of great importance. Public opinion, in order to meet such responsibilities demands the condition of virtually unobstructed access to and diffusion of ideas. The fundamental principle involved here is people’s rights to know. The Freedom of speech guaranteed by the Constitutions embraced at least the liberty to discuss publicly all matters of public concern without previous restraint or fear of subsequent punishments”. Thornhill Vs. State of Alabama 310 U.S. 88 //

// “Criticism of public measures or comment on Government action however strongly worded is within reasonable limits and is consistent with the Fundamental Right of Freedom of Speech and Expression. This right is not confined to informed and responsible criticism but includes the freedom to speak foolishly and without moderation. So long as the means are peaceful, the communication need not meet ‘standards of common acceptability’ Austin Vs. Keele (1971) 402 U.S. 415, 419.//

ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් මූලික අයිතිවාසිකමක් ලෙස පිළිගන්නා භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහස නඩුතීන්දු ගණනාවකින් ශක්තිමක් කර තිබේ. පොලිස් මාධ්‍ය කොට්ඨාසයේ නිවේදනය අනුව සුළු අඩුපාඩු පෙන්වන පිරිස් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස්පතිවරයා පොලිසිවලට උපදෙස් ලබා දී තිබේ. එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ආරක්ෂා කර ඇති මූලික අයිතිවාසිකම් උල්ලංඝණය කිරීමකි.

දරුණු වසංගත තත්ත්වයක් ලෝකයේ සහ රටේ ව්‍යාප්ත වන මෙවැනි වකවානුවක අසත්‍ය තොරතුරු පාලනය කිරීම සහ වෛරීසහගත ප්‍රකාශ පාලනය කිරීම අතිශයින්ම වැදගත් බව අපිද පිළිගනිමු. එහෙත් ඊට මුවා වී භාෂණයේ හා අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය සීමා කිරීමට ඉඩ දිය නොහැකිය.

ජාතීන් අතර අසමගිය ඇතිවන ආකාරයේ සහ වෛරීසගත පළ කිරීම් සහ ක්‍රියා පාලනය කිරීමට ශක්තිමත් නීති පද්ධතියක් රටේ ඇත. එසේ තිබිය දී රජය හෝ රාජ්‍ය නිලධාරීන් විවේචනය කිරීම නතර කිරීම සඳහා එම නීති භාවිත කිරීම බරපතළ තත්ත්වයකි.

ආචාරධාර්මික මාධ්‍ය භාවිතාවක් ඇති කිරීම උදෙසා වසර හයක පමණ කාලය සිට දැඩි වෙහෙසක් දරන සහ ඒ සඳහා වැඩසටහන් රැසක් සිදු කර තිබෙන ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය තවදුරටත් ඒ වෙනුවෙන් කැපවී සිටී. එසේම ජාතීන් අතර අසමගිය ඇතිවන ආකාරයෙන් කටුයුතු කිරීමට එරෙහිව අවස්ථා ගණනාවකදී අප සංගමය අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන තිබේ. මෙම කොමිෂන් සභාවට ද පැමිණිලි කර තිබේ. ජාතීන් අතර අසමගිය ඇතිවන ආකාරයේ ජාතිවාදී කටයුතු වලට එරෙහිව රජය සහ/හෝ පොලිසිය ගන්නා ක්‍රියාමාර්ගවලට සංගමයක් ලෙස අපේ උපරිම සහයෝගය ලබා දෙමු. එහෙත් ඊට මුවාවී රජය හෝ නිලධාරීන් විවේචනය කිරීමට, අඩුපාඩු පෙන්වා දීමට ඇති අයිතිය උල්ලංඝණය කිරීමට ගන්නා උත්සාහයට එරෙහිව ද සංගමයක් ලෙස දැඩිව සිටිමු.

එසේ හෙයින් පොලිස් මාධ්‍ය කොට්ඨාසයේ මාධ්‍ය නිවේදනය සහ එහි සඳහන් වන ආකාරයට පොලිස්පතිවරයා විසින් පොලිසිවලට යවන ලද නියෝග ගැන වහාම විමර්ශනයක් පවත්වන ලෙසත්, භාෂණයේ සහ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට එරෙහිව ගැනෙන ක්‍රියාමාර්ග නතර කිරීමට සහ ජාතිවාදය අවුස්සමින් ජාතීන් අතර ගැටුමක් ඇති කිරීමට දරණ උත්සාහයන් නතර කිරීමටත් අවශ්‍ය නිර්දේශ නිකුත් කරන ලෙස ඉල්ලා සිටිමු.

පැමිණිල්ල – ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය

වගඋත්තරකරුවෝ –
01. චන්දන වික්‍රමරත්න මහතා, වැඩබලන පොලිස්පති, පොලිස් මූලස්ථානය, කොළඹ.
02. ජාලිය සෙනෙවිරත්න මහතා, අධ්‍යක්ෂ, පොලිස් මාධ්‍ය කොට්ඨාසය.

ස්තුතියි.
මෙයට,
අත්සන් කළේ
ආදිල් අලි සබ්රි (සභාපති)
සඳුන් ප්‍රියංකර විතානගේ (උප ලේකම්)

පිටපත්
01 ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ සියලුම කොමසාරිස්වරුන් වෙත
02 අධ්‍යක්ෂ – විමර්ශන , ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව.
03 චන්දන වික්‍රමරත්න මහතා, වැඩබලන පොලිස්පති, පොලිස් මූලස්ථානය.
04 සභාපති / ලේකම්, ශ්‍රී ලංකා නීතීඥ සංගමය.
05 සභාපති / ලේකම්, තරුණ නීතීඥවරුන්ගේ සංගමය (YLA)
06 සභාපති, ජාතික පොලිස් කොමිෂන් සභාව.

[email protected] / [email protected]

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here