මේ දරුවන්ට යුරෝපා සංචාරයට තලෙයිබාන් බලධාරීන්ගෙන් තවමත් අවසර නෑ

0
35

සහරා පතුලේ රන් හාරා නුඹ ඔටුනු බඳින්නෙපා
සාගර පතුලේ මුතු හාරා නුඹ පවුරු තනන්නෙපා…
Wake up wake up …the earth sings for you
Wake up wake up …the wind dances for you

නිල් දිය දිලිසෙන දිය ඇලි අහුරා කතරක් මවන්නෙපා
මල් නෙක ගැවසෙන ගහ කොල වනසා හීන දකින්නෙපා
තැන තැන දිවයන මුව පොව්වන් හට උගුල් තනන්නෙපා
අහසේ ඉගිලෙන තාරවන් වෙත හී සර විදිනු එපා..

Wakeup Wakeup… your heart looks for you
Wakeup Wakeup… your heart cries for you

සුදු හම කළු හම .. දෙවියන් නාමෙන් තැන තැන ගැටෙන්නෙපා
ගැලුවොත් රතු ලෙය නුඹගෙත් මාගෙත් වෙනසක් හොයන්නෙපා
මිහිලිය අවුළා අළුකොට දවලා සුරලොව සොයන්නෙපා
අහසට නැගලා නොපෙනී යන්නට මිහිකත දවන්නෙපා

සහරා පතුලේ රන් හාරා නුඹ කිරුළු බඳින්නෙපා
සාගර පතුලේ මුතු හාරා නුඹ කඳුළු තනන්නෙපා…
Wake up Wake up… the earth cries for you
Wake up Wake up… the wind screams for you

රේඩියෝ බෙගම් ( Radio Begum ) කියන්නෙ ඇෆ්ඝනිස්ථාන් කාන්තාවන් හා දරුවන් වෙනුවෙන් විකාශය වෙන
පුද්ගලික රේඩියෝ නාලිකාවක්.

තලෙයිබාන් පාලනයෙන් කොයිතරම් අවහිර කරදර ලැබුනත් මේ රේඩියෝ නාලිකාව නිර්මාණය කරපු හමීඩා අමාන්
( Hamida Aman) නෙවෙයි පහු බහින්නෙ. අද මිලියන ගණනාවක ඇෆ්ඝන් කාන්තාවන් හා දරුවන් මේ ගුවන් විදුලියට සවන් දෙනව.

හමීඩා කියන්නෙ ජීවිතය බේරගන්න ඇෆ්ඝනිස්තානයෙන් ස්විට්සර්ලන්තයට පලා ආපු පවුලක දැරියක්.
1980 අවුරුද්දෙ සෝවියට් දේශය විසින් ඇෆ්ඝනිස්තානය ආක්‍රමණය කිරීමත් එක්ක හමීඩා තමන්ගෙ අම්මයි තාත්තයි
එක්ක ජීවිතය බේරගන්න යුරෝපයට සංක්‍රමණය වෙන්නෙ සරණාගතයන් විදිහට.

ඉන් පස්සෙ.. ඉරානය… ඇමරිකානුවන්.. සෞදි අරාබිය… පකිස්ථානය.. මේ ඇෆ්ඝන් ජීවිත විනාශ කරද්දි අවසානයට
තකතීරු තලෙයිබාන් ගෝත්‍රිකයන් රජවෙනව ඇෆ්ඝන් බිමේ.

අද ස්විට්සර්ලන්තයේ වගේම ප්‍රංශයේත් පිලිගත් මාධ්‍යවේදිනියක් වන හමීඩා එක්ක එකට වැඩකරන්න අවස්ථාව ලැබුනෙ
ලොසාන් විශ්ව විද්‍යාලයත් එක්ක කරපු ඇෆ්ඝන් දරුවන් සම්භන්ධ වැඩසටහනකදීයි.

මේ දරුවන් කන්ඩායමට යුරෝපා සංචාරය සඳහා තවමත් අවසර ලැබෙන්නෙ නැහැ තලෙයිබාන් බලධාරීන්ගෙන්.
හමීඩාගෙ උවමණාව තිබුනෙ ඒ දරුවන් ලවා ගීත කීපයක් ගායනා කරවන්නත් ඒ හරහා ලෝකයට පණිවිඩයක්
දෙන්නත් යුරෝපයේ විවිධ රටවල වේදිකාවන්ගේ.

එයින් එක ගීතයක් ලියන්න ආරාධනා ලැබුනත් මාස ගානක ඉඳල ඒ ව්‍යාපෘතිය එක තැනම නතර වෙන්නෙ ඒ
කුඩා දරුවන් තවමත් කාබුල් නගරයට සීමා වෙල තියෙන නිසයි. ඉහත තියෙන්නෙ ඉංග්‍රීසි හා උර්දු භාශාවෙන ලියවුනු ගීතයේ සිංහල අනුවාදය.

මේ පද හරහා ඇෆ්ඝන් ඉතිහාසය… උරුමය හෝ දක්ශතාවය ගැන කියවෙන්නෙ නැති බව මගේ ඇෆ්ඝන් මිත්‍රයෙක් කියනව.
“නමුත් ලෝකයට අද අවශ්‍ය පෞඩ ඉතිහාසය ගැන දැනගන්නද.. නැතිනම් ලෝකයට අවදි වෙන්න කියන
පණිවිඩයක්ද” මම ඇහුව. ඒකට පිළිතුරු තවම ලැබුනෙ නැහැ.

දාරි හා පශ්තෝ කියන භාශා දෙකට මේ පද පරිවර්තනය කරන්නෙ මගෙ මිත්‍රයෙක් විසින්.මේ ගීතය පටිගත කරන්න බැරිවීම ගැන කණගාටුයි … ඒ ගැන කළකිරුනද..?
“කොහොමත් නෑ…. අපි කලේ අපෙන් ඉල්ලපු දේ විතරයි….
Time will come… one day some one will use those words and ideas at least. “

TheTime.lk

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here