සනත් නන්දසිරි අභාවප්‍රාප්ත වෙයි !

0
17

සංගීත් නිපුන් මහාචාර්ය සනත් නන්දසිරි අභාවප්‍රාප්ත වී තිබෙනවා.

81 වියේ පසු වූ ඔහු සිය නිවසේ දී අභාවප්‍රාප්ත වී ඇති බවයි වාර්තා වෙන්නේ.

හේරත් මුදියන්සේලා විලියම් පෙරේරාගේත්, දෝන අමලින් කටුගම්පළගේත් තුන්වන දරුවා ලෙස 1942 පෙබරවාරි 15 වැනිදා සනත් නන්දසිරි උපත ලැබූවා.

සනත් නන්දසිරි මහතාට වයස අවුරුදු හතර වනවිට පෙරවරුවේ ගොතටුව මධ්‍ය මහා විද්‍යාලයටත්, පස්වරුවේ ශාන්ත මැතිව් විදුහලටත් අධ්‍යාපනය සඳහා යොමු කරන තිබෙනවා.

ඔහුට වයස අවුරුදු පහේ දී පමණ එනම් 1947 දී ජීවිතයේ මුල්වර ගීතයක් ගැයුවේ ගමේ උත්සවයක දී සිය වැඩිමල් සොයුරිය වූ ඊඩා සමගයි.

ඒ් යමුනා යමුනා සෝබන ගංගා ගීතයේ තනුවට පායා පේනා චන්ද්‍රා පේමා නම් යුග ගීතය යි.

සනත් නන්දසිරි මහතා 1960 දී භාරතය බලා පිටත් වූයේ භාත්ඛණ්ඩ සංගීත් විද්‍යා පීඨයට ඇතුළුවීම සදහායි.

ජී. එන්. නාටු, මොක් ශුද් අලි, හරි ශංකර් මිශ්‍රා, රහිමුඩි ඛාණ්ඩාගර් මෙන්ම උස්තාද් අහමඩ් ජාන් තිරක්වා මහා තබ්ලා වාදකයාණන්ගෙන් ශිල්ප ශාස්ත්‍ර උගත් සනත් නන්දසිරි මහතා විශාරද උපාධිය ලබා 1966 දී යළි මෙරටට පැමිණෙනවා.

ශ්‍රී ලංකා ගුවන්විදුලිය සංස්ථාවේ ශාස්ත්‍රීය ගායනා පරීක්ෂණයකට පෙනී සිටි අවස්ථාවක විශාරද පී. ඩන්ස්ටන් ද සිල්වාගේ ඇරයුමින් විමල් අභයසුන්දර රචනා කළ නව දැලි හේන ගීත නාටකයේ නයන භාංගී නමැති ගීතය ගයමින් ඔහු සිය ගායන දිවිය ආරම්භ කරනවා.

1966 අම්පාර දිස්ත්‍රික්කයේ උහන විද්‍යාලයේ ද සංගීත උපදේශකවරයකු වූ ඔහු 1969 ගායනය පිළිබඳ රජයේ ලලිත කලා ආයතනයේ කථිකාචාර්යවරයකු බවට පත්වනවා.

විමල් ජයශාන්ත විසින් සත්‍ය අත්දැකීමක් පසුබිම් කොට ලියන ලද එදා මෙදාතුර කඳුළට විවර වූ දෑස් පියන් පත් කවුළු වසා ගීතය අදටත් ජනහද අමතන වියෝ ගීතයක් වනවා.

විමලධර්ම ජයවීර රචනා කළ ඇවිළුුණු ගිනිදැල් නිවි නිවි යද්දී ඈ මට හමුවූවා ගීතය එක් රැයකින් සනත් ජනප්‍රියත්වයේ ඉහළට ඔසවා තැබූ ගීයකි.

ආචාර්ය අජන්තා රණසිංහගේ ආදර සැමරුම් කැටි වූ, පෙමාතුර හැඟුම්, ජගදා නන්දන, දේදුන්නෙන් එන සමනලුනේ, කොහෝ කෙහෝ මහාචාර්ය සුනිල් ආරියරත්න ලියූ එක යායට මල් පීදුණු, වේතනා පරිශුද්ධ වූවත්, සීත රෑ යාමේ, බඹරු නොදුටු කරුණාරත්න අබේසේකරගේ මා හද අසපුව, ලස්සන නම් නෑ පෙනෙන්නේ, සඳ බලන්න බෑ, කුලරත්න ආරියවංශගේ මේ ප්‍රථම වසන්තයයි, සිත දන් දුන්නේ, මාලතී මල් මාවතේ සුනිල් ගුණවර්ධනගේ දඟකාර ඔය දැස, හිච්චි නගේ ඩෝල්ටන් අල්විස්ගේ කවුරුදෝ අර කවුළුවෙන් බුද්ධදාස ගලප්පත්තිගේ ගීතා, දයාබර ගීතා, දූ අනුරාධා, සුනිල් සරත් පෙරේරාගේ මගේ රටට දළදා හිමි සරණයි, යසෝදරා, සිනා සලන්නී, ධර්මරත්න පෙරේරාගේ ‘නුඹෙ සුවඳ පිරුණු පුංචි කාමරේ, දයා ද අල්විස්ගේ දහසක් පැතුමන්, ප්‍රියානන්ද විජේසුන්දරගේ බෝ මලුවේ මල් සුවඳක පැටලී, ඩබ්. ජයසිරිගේ නිදිකුම්බා මල් කැකුළි, දෙල්තොට චන්ද්‍රපාලගේ රත්ති අරන් උදැනැක්කේ ආදී ගීත සනත් නන්දසිරියන්ගේ අතිශය ජනප්‍රිය ගීත බවට පත් වූවා.

ගායනය, තබ්ලා වාදනය පිළිබඳ විශාරද උපාධි දෙකක් ද සංගීත් නිපුන් උපාධියද දිනූ සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ ප්‍රථම සංගීත පීඨාධිපති වූයේ සනන් නන්දසිරි මහතායි.

News19

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here