‘මට ඕනෑ විදිහට නඩු අහපන් ’කියා මන්ත්‍රී පහර දී විනිසුරු රෝහලේ !

0
71

පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහීම් සහ ඔහුගේ ඥාතියෙකු තමන්ට පහර දුන් බව කියමින් පුත්තලම කාති උසාවිය විනිසුරුවරයෙකු රෝහල් ගත වී ඇත. මේ සම්බන්ධයෙන් විනිසුරුවරයා විසින් පුත්තලම මූලස්ථාන පොලිසියට ද පැමිණිලි කරමින් කියා ඇත්තේ මන්ත්‍රීවරයා සහ ඔහුගේ බෑනා තමාට අමානුෂික ලෙස පහර දුන් බවයි.

විනිසුරු ධුරයේ වැඩ බාරගත් පසු ලැබුණු පණිවුඩයක් මත අලි සබ්රි රහීම් මුණ ගැසීමට ඔහුගේ නිවසට ගිය අවස්ථාවේ මෙම පහරදීම සිදු කරන ලද බවද විනිසුරුවරයා පොලීසියට කරන ලද පැමිණිල්ලේ දැක්වෙයි.

‘කාති උසාවියේ උඹට ඕනේ විදිහට වැඩ කරන්න බෑ. මට වුවමනා ආකාරයට විය යුත්තේ’ යනුවෙන් මන්ත්‍රීවරයා තමන්ට පහර දුන් බව ද හෙතෙම සඳහන් කරයි.

නමුත් මන්ත්‍රීවරයා මෙම චෝදනා ප්‍රතික්ෂේප කරමින් සඳහන් කරන්නේ ඉකුත් දා තමන් හමුවීමට මෙම විනිසුරුවරයා පැමිණ සිටි නමුත් තමන් එම අවස්ථාවේ මළගෙදරක යා යුතුව තිබූ නිසා පසුව එන්නැයි දැනුම් දුන් පසු ඔහු යළි රාත්‍රියේ පැමිණි බවයි.

එසේ පැමිණි කාති විනිසරුවරයා තමන්ට තර්ජනය කරමින් තමා අසුන්ගෙන සිටි පුටුව ද තල්ලු කර දැමූ අතර එම අවස්ථාවේ ඔහු නිවසින් පිටතට දැමූ නමුත් කිසිලෙසකින් පහර දීමක් නොකළ බව අලි සබ්රි රහීම් සඳහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here