“පියවි සිහිය ලැබීමට පෙර සියල්ල හමාර කළ යුතුයි” – IMF න්‍යාය විද්වතුන් හෙළිකරයි !

0
54

රනිල් වික්‍රමසිංහ ජනාධිපති සහ පොහොට්ටුවේ ආණ්ඩුව විසින් මේ වනවිට ලාභ ලබන රාජ්‍ය ආයතන පවා විකුණා දමමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි ඉටු කිරීම “පියවි සිහිය ලැබීමට පෙර සියල්ල හමාර කළ යුතුයි” යන මිල්ටන් ෆීල්ඩ්මාන්ගේ න්‍යාය ක්‍රියාවට නැගීමක් බව ආර්ථික විද්වතුන් පෙන්වාදී තිබේ.

මේ සම්බන්ධයෙන් නවතම තොරතුරු ශ්‍රී ලංකා සබරගමු විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන අධ්‍යන අංශයේ මහාචාර්ය අරුණ ශාන්තආරච්චි විසින් පැහැදිලි කර දී ඇත. මාධ්‍යවේදී උපුල් වික්‍රමසිංහ මේ සම්බන්ධයෙන් අද (28) ලංකාදීප පුවත්පතේ පළකළ සම්පූර්ණ ලිපිය උපුටා ගෙන පහත දැක්වේ.


ශ්‍රී ලංකාව ආර්ථික අර්බුදයකට මැදිව සිටින අවස්ථාවක ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඩොලර් බිලියන 3 ක විස්තීරණ ණය පහසුකමක් ලබාදීම ගැන යම් පමණකට සතුටු විය හැකිය. එහෙත් අප අමතක නොකළ යුතු කාරණය නම්, මීට පෙර අවස්ථා 16 කදී ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය පහසුකම් ලබාගෙන ඇති බවය.

ඒවායෙන් අවස්ථා හතරකදී අපි විස්තීර්ණ නොහොත් දිගුකාලීන ණය ලබාගෙන ඇත්තෙමු. එම ආයතනය සමග එකඟ වූ කාරණා ඉෂ්ට නොකිරීම හේතුවෙන් අවස්ථා හතකදී අපට සම්පූර්ණ ණය මුදල් ලබාගැනීමට නොහැකි විණි.

එසේම එකී අවස්ථා 16 න් අවස්ථා 4 ක දී හැර සෙසු සියලු අවස්ථාවල බලයේ සිටියේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුය. එයින් පැහැදිලි වන්නේ එම පක්ෂය නව ලිබරල්වාදී ප්‍රතිපත්ති මත පදනම් වෙමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග කටයුතු කිරීමට වැඩි නැඹුරුවක් දක්වන බවය.

මෙවර අපට ලැබුණේ තවත් ණයකි. එබැවින් එහි සැමරීමට දෙයක් නැත. කෙසේවෙතත් එකී ණය පහසුකම ලබාගැනීම පිණිස පසුගිය මාස හයක කාලයේ දී අපට වෙහෙසකර ගමනක යෙදීමට සිදු විය. කිසියම් රටක් සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මාණ්ඩලීය මට්ටමේ එකඟතාව ලැබුණු දින සිට දින 50 ක් වැනි කාලයකදී එහි විධායක මණ්ඩලයේ අනුමැතිය හිමි වුවද ශ්‍රී ලංකාව වෙනුවෙන් විධායක මණ්ඩලයේ අනුමැතිය ලබාදීම සඳහා දින 180 කට වැඩි කාලයක් ගත විය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එකඟ වූ කාරණා ඉටු කිරීම පිණිස අපට එම මාස හයක කාලය ගත විණි.

එකී කාලය ඇතුළත ආණ්ඩුව විසින් ඉටු කරන ලද දේවල් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි ලෙස නොව එකඟතා වශයෙන් හැඳින්විය යුතුය. සාමාන්‍ය බැංකුවකින් ව්‍යාපාරික ණය මුදලක් අයැදුම් කිරීමේ දී සැලැස්මක් ලබාදිය යුතු පරිද්දෙන් මෙහිදීද සිදු වූයේ ශ්‍රී ලංකා රජය විසින් මූල්‍ය අරමුදල වෙත ණය වැය කරන ආකාරය පිළිබඳව පැහැදිලි කරමින් සැලැස්මක් ඉදිරිපත් කරනු ලැබීමය. පසුව එයට එම ආයතනයේ සංශෝධන ද ඇතුළත් කිරීමෙන් පසු මූලික එකඟතාවක් සකස් කෙරිණි.

එහි යහපත් හා අයහපත් අංග කිහිපයක් හඳුනාගත හැකිය. ආදායම පදනම් කර ගත් මූල්‍ය ඒකාග්‍රතාව එකකි. පිරිවැය ආවරණය නොවන සේවා සඳහා පිරිවැය නිරූපණය වන මිල ක්‍රමයක් හඳුන්වා දිය යුතු බව එහි අදහසයි. ඒ අනුව, විදුලිය, ඛනිජ තෙල් සහ ජලය වැනි සේවාවලට ඒ ආකාරයේ මිල ක්‍රමයක් ගැළපිය යුතු බව සඳහන් වේ.

කෙසේවෙතත් එහිදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් එකී සේවා සපයන ආයතනවලට පාඩුව ආවරණය කර ගැනීමට නොහැකි වී තිබෙන්නේ ඇයිද යන්න ගැන නිවැරැදි විශ්ලේෂණයක් කරනු ලැබිය යුතුව තිබිණි. එවිට ඒවායෙහි පිරිවැය ඉහළ අගයක් ගැනීමට බලපා තිබෙන හේතු වටහා ගත හැකිය. එසේ නොකර වැඩි වී තිබෙන පිරිවැය ආවරණය කිරීම අරබයා මිල ගණන් ඉහළ නැංවීම යුක්ති යුක්ත නොවේ. එම ආයතනවල දැකිය හැකි අකාර්යක්ෂමතාව අඩු කිරීමෙන් පසු ශේෂ වන පිරිවැයට අදාළ වන පරිදි අය ක්‍රම වෙනස් කරන්නේ නම්, එය අනුමත කළ හැකිය.

උපයන විට ගෙවීමේ බද්ද සියයට 400 කින් වැඩි කර තිබේ. එයින් අපේක්ෂා කරන්නේ පසුගිය වසරට සාපේක්ෂව රුපියල් බිලියන 100 කින් බදු ආදායම ඉහළ නංවා ගැනීමය. එය කිරීමේදී ලංකාවේ දළ ආදායම සහ ශුද්ධ ආදායම අතර වෙනස සැලකිල්ලට ලක් කර නොමැත. සංවර්ධිත රටවල එකී ආදායම් පරතරය පවතින්නේ සියයට 10 ත් 20 ත් අතර අගයකය. එහෙත් ලංකාවේ දළ ආදායමට වඩා ශුද්ධ ආදායම සියයට 40 ක් අගයක පවතී.

එවැනි සන්දර්භයක උපයන විට ගෙවීමේ බද්ද වෘත්තිකයන් පීඩාවට පත් වන ආකාරයට සංශෝධනය කිරීම සාධාරණ නොවේ. ඒ අරබයා පැවති සාකච්ඡා කිහිපයකින් පසු ආණ්ඩුව එය යළිත් සංශෝධනය කිරීමට සූදානම් වුවද ඊට අදාළ ගැඹුරු විශ්ලේෂණයක් ඇති බවක් නොපෙනේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මේ අයුරින් ගැඹුරු විශ්ලේෂණයකින් තොරව නිර්දේශ කර ඇති තවත් එකඟතාවක් නම්, රාජ්‍ය ආයතන පෞද්ගලීකරණය කිරීමයි. පාඩු ලබන, දුර්වල සහ අසාර්ථක රාජ්‍ය ආයතන පෞද්ගලීකරණය කිරීම සම්බන්ධයෙන් අපි විරුද්ධ නොවෙමු. ඒ යටතේ ශ්‍රී ලංකන් ගුවන් සේවය පෞද්ගලීකරණය කර එයින් රජයට සහ භාණ්ඩාගාරය මත පැටවී තිබෙන බර නැති කළ යුතුය. කෙසේවෙතත් ලංකා විදුලි බල මණ්ඩලය සහ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පාඩු ලබන්නේ නම්, ඒවා පාඩු නොලබන තත්ත්වයට පත් කළ යුතුය. එසේවුවද රටක බලශක්ති ක්ෂේත්‍රය පෞද්ගලීකරණය ඉතාම භයානක බව මගේ අදහසයි. වෙසෙසින්ම විදුලි බලය, ඉන්ධන වැනි සේවා රජය යටතේ පැවතිය යුතුය. පාඩු ලබන සෙසු සියලු ආයතන පෞද්ගලීකරණය කළ යුතුය.

මේ වන විට පෞද්ගලීකරණය කිරීම සඳහා යෝජනා වී ඇති ටෙලිකොම් ආයතනය 2022 වසරේ දී රුපියල් බිලියන 8.46 ක ශුද්ධ ලාභයක් වාර්තා කර ඇත. එම සන්දර්භයේ මෙම ආයතනය පෞද්ගලීකරණය කරන්නේ ඇයිද යන්න අප ඇසිය යුතු ප්‍රශ්නයයි. දැන් වාර්තා කරන ලාභයට වඩා වැඩි මුදලක් ඉපැයීමේ අරමුණින් මේ කටයුත්ත කරන බව ආණ්ඩුව පවසන්නේ නම්, අපට ඊට විරුද්ධ විය නොහැකිය. කෙසේවෙතත් ජනාධිපතිවරයා ඉකුත් දිනෙක ප්‍රකාශ කළේ ගත් ණය ගෙවාගත නොහැකි නම් නිවෙසේ ඇති භාණ්ඩයක් හෝ අලෙවි කර එම ණය ගෙවිය යුතු බවය.

මේ සියලු රාජ්‍ය ආයතන විකුණා ඉපැයීමට බලාපොරොත්තු වන්නේ ඩොලර් බිලියන 4.5 ක මුදලක් බව වාර්තා වේ. එසේනම් මෙම ආයතන විකුණා ලබන මුදලින් ණය ගෙවන්නේ නම් එය අතිශය භයානකය. එයින් හැඟෙන්නේ ආණ්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ එකඟතාවලට මුවා වෙමින් රාජ්‍ය ආයතන අභිමතය පරිදි විකුණා දැමීමට සැරසෙන බවකි. නයෝමි කෙලීන් (Naomi Klein) විසින් රචනා කරන ලද ආපදා ධනවාදයේ නැගීම (The Rise of Disaster Capitalism)නමැති කෘතියෙහි රටක් ආර්ථික වශයෙන් කඩා වැටුණු පසු නව ලිබරල්වාදී අදහස් ක්‍රියාත්මක කරන්නේ කෙසේද යන්න පැහැදිලි කර තිබේ.

මූල්‍ය අරමුදලේ එකඟතාවලට මුවා වෙමින් ආණ්ඩුවට අවශ්‍ය පෞද්ගලීකරණ ක්‍රියාවලිය දැඩි කිරීමට අවශ්‍ය පසුබිම සකසමින් සිටින බවක් පෙනේ. ලාභ ලබන ආයතන ද පෞද්ගලීකරණය කිරීම අදූරදර්ශී තීරණයකි. නිදසුනක් ලෙස පෞද්ගලීකරණය කිරීමට යෝජනා කර තිබෙන ලංකා හොස්පිටල්ස් ආයතනය ලාභ ලබන ආයතනයකි. එය 2022 වසරේ වාර්තා කර ඇති ලාභය රුපියල් බිලියන 3.2 කි. මිල්ටන් ෆ්‍රීඩ්මාන් (Milton Friedman) වරෙක ප්‍රකාශ කළේ නිර්වින්දනයට ලක්ව සිටින ජනයා පියවි සිහිය ලැබීමට පෙර සියල්ල හමාර කළ යුතු බවය. ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව සිදු කරමින් සිටින්නේ ද එයයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් හිමි වන ණය මුදල නිසි ප්‍රමුඛතා ලැයිස්තුවක් අනුව ක්‍රමානුකූලව පරිහරණය කළ යුතුය. එහෙත් එහි ආරම්භයම සතුටු විය නොහැකි බව කිව යුතුය. මහ බැංකුවේ විදේශ විනිමය ශක්තිමත් කරගනිමින් ඒ ඔස්සේ ඩොලරයේ රුපියල් අගය උච්චාවචනය වීම පාලනය කිරීමත් ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම්වලින් ඉහළට පැමිණීමට අදාළ පරිසරය සකස් කිරීමත් සිදු විය යුතුය. එසේවුවද මෙම මුදල් අයවැය හිඟය පියවීම සඳහා යොදා ගැනීම භයානකය.

එසේ කිරීමෙන් යළිත් වතාවක් දූෂණය, නාස්තිය සහ වංචාව සඳහා මග විවර වනු ඇත. මූල්‍ය අරමුදලෙන් ලැබෙන සමස්ත ණය මුදලෙන් ඩොලර් මිලියන 147 ක් අඩු ආදායම්ලාභී සහ අවදානම්සහගත පුද්ගලයන් රැක බලා ගැනීම පිණිස යොදවන බව පැවසේ. එහි ප්‍රශ්නයක් නැත. ඊට හේතුව නම්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එහි සාමාජික රටවල් සම්බන්ධයෙන් ගත් ප්‍රතිපත්තිමය තීරණ නිසා දුප්පත් ජනතාව තවත් පීඩනයට පත්ව තිබීමය.

නොබෙල් ත්‍යාගලාභී ආර්ථික විද්‍යාඥයකු වන ජෝසප් ස්ටිග්ලිට්ස් (Joseph Stiglitz) ඔහුගේ “ගෝලීයකරණ සහ එහි අතෘප්තිය” (Globalization And its Discontents) නමැති කෘතියේදී පෙන්වා දෙන්නේ ලෝකයේ දුප්පත්ම රටවල අසාර්ථක ආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේ මූලික වැරැදිකරු ජාත්‍යන්තර මූල්‍ය අරමුදල බවය. ඊට දැක්විය හැකි මනා නිදසුන නම්, ග්‍රීසියයි.

දෙවැනි වතාවටත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය ගැනීමට ග්‍රීසියේ අග්‍රාමාත්‍යවරයා සූදානම් වූ විට ඊට විරෝධය පළ කරමින් එරටේ මුදල් අමාත්‍යවරයා ධුරයෙන් ඉවත් විය. මෙපරිදි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නව ලිබරල්වාදී ප්‍රතිපත්ති ක්‍රියාවට නංවන විට රටවල දුප්පත් ජනයා වඩාත් පීඩාවට පත් වේ. එම සන්දර්භයේ මෙවර ලංකාව සඳහා ණය පහසුකම අනුමත කිරීමේදී දුප්පත් ජනයා රැක බලා ගත යුතු බවට වූ එකඟතාවක් පනවන ලදී.

වෙනත් කිසිදු සාමාජික රටකට ණය ලබා දීමේදී ලබා නොදෙන සහනයක් එනම්, ණය මුදල අයවැය ප්‍රශ්නයට ද යොදා ගැනීමට අවසර ලබා දීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කටයුතු කළේ වෙනත් අරමුණක් ඇතිව බව මගේ වැටහීමයි. එනම්, ලංකාවේ අලුත් දේශපාලන බලවේගයක් බලයට පත්වන බවත් එය එම ආයතනයට හෝ යුරෝපා රටවලට අවැසි ආකාරයට පාලනය කළ නොහැකි බවත් මූල්‍ය අරමුදල තේරුම් ගත් නිසාය.

මෙරට මුළු විදේශ ණයවලින් සියයට 38 ක් පමණ තිබෙන්නේ ස්වෛරීත්ව බැඳුම්කර හරහා ලබා ගත් ණය වශයෙනි. එම ණයවල සියලුම හිමිකරුවන් වෙසෙන්නේ ඇමෙරිකාවේ සහ එක්සත් ජනපදයේය. ලංකාවේ ආර්ථිකය කඩාවැටුණහොත් එමගින් එම ණය හිමියන්ගේ ව්‍යාපාරවලට බලපෑම් එල්ල වේ. මේ සන්දර්භයේ උපායමාර්ගික වශයෙන් ලංකාවේ අලුත් දේශපාලන බලවේගයක් බලයට පත්වීම වැළැක්වීමේ අරමුණින් මෙම ණය පහසුකම මිනිසුන්ට සහන ලබා දීමටත් අයවැය ප්‍රශ්නයට යෙදවීමටත් අවසර ලබා දෙමින් නිදහස් කර තිබේ.

අපේ මුළු විදේශ ණය ප්‍රමාණය ඩොලර් බිලියන 54 ක් පමණ වේ. ඊට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලැබෙන ඩොලර් බිලියන 3 ක් එකතු වේ. එබැවින් අපට තවදුරටත් ණය මත යැපෙන ආර්ථිකයක් නඩත්තු කිරීම ගැන උදම් ඇනිය නොහැකිය. ණය පොලි වාරික වශයෙන් සෑම වසරකට අප ඩොලර් බිලියන 6 කට වැඩි මුදලක් ගෙවිය යුතු බව අප අමතක නොකළ යුතුය. එහෙත් මේ වන විට එම ගෙවීම් තාවකාලිකව අත්හිටුවා තිබේ.

අප්‍රේල් මැයි කාලය වන විට එම ණයවල තිරසරභාවය ඇති කර ගත යුතු වේ. ඒවා ප්‍රතිව්‍යුහගතකරණය කළ යුතුය. ශ්‍රී ලංකාවේ ද්වීපාර්ශවික ණය හිමියන් ඊට කෙසේ එකඟ වනු ඇත්දැයි අපි නොදනිමු. කොපමණ කාලයක් අපට ණය නොගෙවා සිටීමට හැකිදැයි නිශ්චිතව කිව නොහැකිය.

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය කළ යුතු යැයි කිවහොත් එය අපට විශාල අභියෝගයකි. මේ සියලු අභියෝගාත්මක තත්ත්ව හමුවේ තවදුරටත් ණය මත පදනම් වෙමින් ආර්ථිකය පවත්වා ගෙන යෑම අතිශය භයානකය. ඒ වෙනුවට ඩොලර් ආදායම් වැඩි කර ගැනීමට අදාළ උපායමාර්ග වෙත යොමු විය යුතුය.

Lankadeepa

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here