ෆේස්බුක් හරහා වතු කම්කරු සටන මෙහෙයවූයේ කවුද?

0
36
ෆේස්බුක් හරහා වතු කම්කරු සටන මෙහෙයවූයේ කවුද?

ඉංග්‍රීසීන් මෙරට තමන්ගේ පාලනයට නතු කර ගනිද්දී මෙරට ජනතාව සතු ඉඩකඩම්ද අත්පත් කර ගත්තේ සිය ව්‍යාපාරික ආයෝජනයන් වෙනුවෙනි. පසු කලෙක ඒ ඉඩම් තේ සහ කෝපි වගාවන් ව්‍යාප්ත කිරීම සඳහා වෙන් විය. එතෙක් ඉඩම් අයිතිව තිබූ ස්වදේශිකයන්ට එම වතු වගාවන්හි කුලී කම්කරුවන් ලෙස සේවය කරන්නට සිදු විය. එහෙත් තමන්ගේ ඉඩම්වල කුලීකරුවන් ලෙස සේවය කරන්නට ඔවුන් අකැමැති වීමේ ප්‍රතිඵලයක් ලෙස දකුණු ඉන්දියාවෙන් ගෙන්වාගත් කම්කරුවන් එම ඉඩම්වල පදිංචි කරවමින් කුලීකරුවන් ලෙස සේවයෙහි යෙදවීමට ඉංග්‍රීසි ආණ්ඩුව පියවර ගත්හ. එපමණක් නොව එම දකුණු ඉන්දීය කුලී සේවකයන් බාහිර සමාජයෙන් ඈත් කර තබමින් ඔවුන් හුදු කම්කරුවන් ලෙස පමණක් සලකමින් ඉතා සුළු වැටුපක් ලබා දීමටද ඉංග්‍රීසි ආණ්ඩුව කටයුතු කරන ලදි.

එහෙත් පසු කලෙක දේශපාලන උවමනාවන් ඉදිරියට පැමිණෙමින් දකුණු ඉන්දීය කුලීකරුවන්ට ඡන්ද අයිතිය ලබාදීමත් ඔවුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටීමත් ගැටලු රැසකට මුල කිරීමක් විය. පසුගියදා රුපියල් 1000ක දෛනික වැටුපක් ඉල්ලා ගෝල්ෆේස් පිටියේදී පැවැත්වුණු වතු කම්කරු උද්ඝෝෂණයද එහි දිග හැරුමක් ලෙස හඳුන්වාදිය හැකිය.

එහෙත් එය වතු කම්කරු ඉල්ලීම් වෙනුවෙන් මෙතෙක් සිදු කළ වැඩ වර්ජනයන්ට හා උද්ඝෝෂණයන්ට වඩා වෙනස්ය. මෙතෙක් වතුකම්කරු වැඩ වර්ජනයන් සිදු වූයේ දේශපාලන නායකත්වයේ ආශිර්වාදයෙනි. වැටුප් වැඩි වුණේ දේශපාලන පොරොන්දු මතය. විශේෂයෙන් වතු කම්කරු නායකයන් ලෙස දේශපාලනයට පිවිසි තොන්ඩමන්ලා නිරන්තරයෙන් වතුකම්කරු ජනතාව දේශපාලන පලිහක් ලෙස යොදා ගනිමින් නිරන්තරයෙන් මැති ඇමතිකම්හි රස බැලූ අතර ඊට විරුද්ධව නැගී සිට වතු කම්කරු නායකයන් ඔවුන්ගේ බලය හීන කරන්නට සමත් වූහ. වර්තමානයේ තොන්ඩමන්ලා ජාතික දේශපාලනයේ අවලංගු කාසි බවට පත් වෙමින් සිටින්නේ එහෙයිනි.

මේ කතාව තොන්ඩමන්ලා ගැන නොවේ. පසුගියදා කොළඹදී පැවති වැඩ වර්ජනය පිළිබඳවය. මෑතකාලීන දේශපාලනයේ බොහෝ පෙරළිකම් සිදු කරනු ලැබුවේ සමාජ මාධ්‍යයයි. ලිබියාවේ ගඩාෆි පාලනයට විරුද්ධව මාධ්‍යයේ සුවිසල් කැරැල්ලක් ඇතිවිය. එය අරාබි වසන්තය නම් විය. මෙරට දේශපාලනයටද එය පූර්වාදර්ශයක් වූයේ මහින්ද පාලනය පරදවා මෛත්‍රී පාලනය වෙනුවෙන් වූ දේදුනු විප්ලවයයි. මෙවර වතුකම්කරු උද්ඝෝෂණයද එවන් සමාජ මාධ්‍යයන්හි කැරැල්ලකි. කැරලිකරුවන්ට අනුව සුපුරුදු දේශපාලනය මෙවර වතු කම්කරු උද්ඝෝෂණයේ නැත. තොණ්ඩමන්ලා, දිගම්බරන්ලා නැත. මෙය හුදෙක් වතුකම්කරුවන්ගේම සටනකි.

උද්ඝෝෂණය පැවතියේ 24 වනදා වුවත් එහි ආරම්භය එදිනම නොවේ. ඔක්තෝබර් මස 1 වැනි දින මෙහි ප්‍රථම වෙඩි මුරය නල්ලතන්නි පොලිස් බලප්‍රදේශයට අනුව මරේ වතු යායේදී පැය දෙකක වැඩ වර්ජනයක් දියත් කරමින් ඉල්ලා සිටියේ රුපියල් 1000ක අවම වැටුපක් කරන ලෙසය.
එහි උච්චතම අවස්ථාව බවට පත් වූයේ කොළඹදී පැවති උද්ඝෝෂණයයි. මීට පෙර වතු කම්කරුවන් කොළඹදී මෙවන් උද්ඝෝෂණයක් සිදු නොකර තිබීමද විශේෂත්වයකි.

උද්ඝෝෂණය සංවිධානය කළ සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් විසින් මෙම අයිතිවාසිකම් දිනා ගැනීමේ සටන වෙනුවෙන් දේශපාලකයන් සම්බන්ධ වීම ප්‍රතික්ෂේප කරනු ලැබ තිබිණ. ඊට හොඳම උදාහරණය වන්නේ වසර ගණනාවක් තමන්ගේ කම්කරු නායකයෙකු ලෙස සැලකූ ආරුමුගම් තොණ්ඩමන් මෙම ඉල්ලීම් සම්බන්ධ ෆේස්බුක් හි පෝස්ටුවකට ඉදිරිපත්කරන ලද මතයක් ඉල්ලා අස්කර ගන්නා ලෙස සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයන් සිදුකරන ලද බලපෑමයි. එහිදී ඔවුන් පවසා ඇත්තේ තොණ්ඩමන් මහතාට ඒ පිළිබඳව අදහස් දැක්වීම් සිදු නොකරන ලෙසයි.

වතුකම්කරු ජනතාව තවදුරටත් මෙරට දේශපාලනය හෝ දේශපාලකයන් විශ්වාස නොකරන තැනකට පත් වීමත්, තමන් විසින්ම තමන්ගේ අයිතිවාසිකම් දිනා ගැනීමට කටයුතු කිරීමත් ඉතා සාධනීය ලක්ෂණයකි. සෑම දෙයක්ම දේශපාලකයන්ගේ බලපෑම් මතින් දිනා ගන්නට උත්සාහ දරන මහා සමාජයටද එය කදිම ආදර්ශයකි.

එහෙත් මේ ආකාරයේ දැවැන්ත කාර්යභාරයක් වතු කම්කරුවන් තුළින් මතුව ආ සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයන්ට සිදුකළ හැකි දැයි යළිත් ගැටලුවක් ඇති වන්නේ ඊට කවුරුන් හෝ නායකයෙකු සිටිය යුතු යැයි අනුමානයක් සලසමිනි. ඒ නායකයා සමාජ මාධ්‍ය පිළිබඳ දැනුමක් ඇති සහ රටේ වර්තමාන දේශපාලන වටපිටාව පිළිබඳ දැනුමක් ඇත්තෙකු විය හැකිය. ඒ පිළිබඳ පුළුල්ව විමර්ශනය කිරීමේදී කලක් දේශපාලකයෙකු ලෙස කටයුතු කළ පුද්ගලයෙකුගේ භූමිකාව පිළිබඳව ඇති වන්නේ යම් සැකයකි. ඔහු මාධ්‍යවේදියෙකි. දේශපාලනයට පිවිසෙන්නේද මාධ්‍යවේදී භූමිකාව ඉදිරියට දමමිනි. වර්තමානයේද මෙරට පෞද්ගලික අංශයට අයත් මාධ්‍ය ආයතනයක සේවය කරන ඔහු මේ සඳහා යොමු වූයේ ඊළඟ දේශපාලන පිම්මට යැයි කියන්නට තවමත් කල් වැඩිය. එහෙත් එය එසේම යැයි අනුමාන කිරීමට එය හොඳටම ප්‍රමාණවත්ය.

කෙසේ වුව සටන තවමත් පිටියේය. වතු මුදලාලිලා රුපියල් 600ක උපරිම මිලක් ලබා දෙන්නට එකඟ වී ඇති පරිසරයක් තුළත් රුපියල් 1000ක දෛනික වැටුප වෙනුවෙන් ඔවුන් තවමත් සටනේය. දැන් ඒ වෙනුවෙන් බොහෝ දේශපාලකයන් පෙනී සිටිති. තොණ්ඩමන්ලා, දිගම්බරන්ලා, වඩිවේල් සුරේෂ්ලා ඒ පිළිබඳව මාධ්‍ය ඉදිරියේ කතා කරති. හෙට දවසේ කුමක් සිදුවේ දැයි කියන්නට තවමත් කල්වැඩිය. රුපියල් 1000ක් කෙසේ වෙතත් දැනට ලබාදෙන රුපියල් 500ක වැටුප අනිවාර්යයෙන් වැඩි විය යුතුය. ඒ පිළිබඳව විවාදයක් නැත.

එහෙත් අහිංසක වතු කම්කරුවන් මතින් බලයට එන්නට දඟලන බොර දියේ මාළු බාන පුද්ගලයන් පිළිබඳව නම් අපට ඇත්තේ විවාදයකි. ඒ පුද්ගලයන් හෙට දවසේ හෝ මතු දවසක සමාජයට නිරාවරණය වනු ඇත. එතෙක් ජේ.ශ්‍රී යන අකුරු පමණක් මතක් කර ගැනීම ප්‍රමාණවත් වනු ඇත.


අසංක ධර්ම ශ්‍රී

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here