ගම්පෙරළිය නව මුහුණුවරකින් යළිත්

0
33
ගම්පෙරළිය නව මුහුණුවරකින් යළිත්

ඔක්තෝම්බර් 26 අගමැති ධුරයට පත් මහින්ද රාජපක්ෂ මහතා විසින් නවතා දමා තිබූ ‘ගම්පෙරළිය’ වැඩසටහන යළි ආරම්භ කිරීම සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ඊයේ (02)ලැබිණි.

නව වසරේ මංගල කැබිනට් මණ්ඩලය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (02) පෙරවරුවේ දී ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි. මුදල් සහ ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර මහතා අදාළ කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කළේය.

මෙවර ඉදිරිපත් කෙරෙන ජනතාවාදී අයවැයෙන් ගම්පෙරළිය වැඩසටහන සඳහා එක් මැතිවරණ කොට්ඨාසයකට රුපියල් මිලියන 300ක් වෙන් කිරීමට අපේක්ෂිතය. ඒ අනුව මුළු දිවයිනේ සියලුම මැතිවරණ කොට්ඨාස සඳහා වෙන් කෙරෙන මුළු මුදල රුපියල් මිලියන 48000කි.

‍ගම්පෙරළිය වැඩ සටහන රට පුරා ක්‍රියාත්මක කිරීම අධීක්ෂණය කිරීම සඳහා මහ‍ලේකම් කාර්යාලයක් මුදල් සහ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ පිහිටුවිමටද එහි ප්‍රධානියා ලෙස ව්‍යෘපෘති අධ්‍යක්ෂවරයකු පත් කිරී‍මට ද කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබිණි.

ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු ඇමැතිවරයා වන අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත ගම්පෙරළිය වැඩසටහන සඳහා අවශ්‍ය මුදල් දිස්ත්‍රික් ලේකම්වරුන්ට ලබා දිමට කටයුතු කෙරේ.මේ මුදල් යොදා ගෙන ගම නගරය එක සේ දියුණු කිරිමට අවශ්‍ය කඩිනම් ව්‍යාපාථි ක්‍රියාත්මක කිරිම සහ අධීක්ෂණය කිරීම මහලේකම් කාර්යාලය වෙත පැවරෙන ප්‍රධාන වගකීම වේ.

පසුගිය වසරේදී කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් ඇරඹි ගම්පෙරළිය වැඩ සටහන සඳහා එක් මැතිවරණ කොට්ඨාසයකට රුපියල් මිලියන 200 ක් වෙන් කර තිබිණි. ඒ අනුව දිවයිනේ මැතිවරණ කොට්ඨාස160 සඳහා වෙන් කර තිබු මුළු මුදල රුපියල් මිලියන 32000 කි.

ගම්බද ජනතාවගේ මූලික අවශ්‍යතා සපුරාලන යටිතල පහසුකම් අංශ 12 ක් යටතේ ගම්පෙරළිය වැඩ සටහන ආරම්භ වූ අතර මෙම වසරේ එම අංශ වැඩි කෙරෙන බව මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි. ගමට පිවිසෙන මාර්ගයේ සිට ජලය,ඇලවේලි ගොවිබිම, කර්මාන්ත, සේවා , පාසැල්,සෞඛ්‍ය, පෝෂණ, ආගමික , සාමාජයික, ක්‍රීඩා, කලා කටයුතු ආදි අංශ ගම්පෙරළිය වැඩ සටහන යටතේ සංවර්ධනය කෙරේ.

දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ප්‍රධානත්වයෙන් ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස,ග්‍රාම නිලධාරි කොට්ඨාස හරහා මහජනතාවගේ සහ රාජ්‍ය නිලධාරින්ගේ සහභාගිත්වයෙන් මෙම ව්‍යාපෘතියේ වැඩසටහන් ක්‍රියාත්මක වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here