යහ පාලන කාලයේ දූෂණ වංචා හොයන්න ජනපති කොමිෂමක්, මෛත්‍රී පත් කරයි

0
31
යහ පාලන කාලයේ දූෂණ වංචා හොයන්න ජනපති කොමිෂමක්, මෛත්‍රී පත් කරයි

2015 ජනවාරි මස 15 වන දින සිට 2018 දෙසැම්බර් මස 31 වැනි දින දක්වා කාලය තුළ රජයේ ආයතනවල සිදුව ඇතැයි සැලකෙන දූෂණ, වංචා පිළිබඳ සොයා බැලීමට ජනාධිපති කොමිෂන් සභාවක් පත්කිරීමට ජනපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා කටයුතු කර තිබේ.

එම කාලය තුළ රජයේ ආයතනවල සිදු වී ඇතැයි සැලකෙන දූෂණ කි‍්‍රයා, වංචා, සාපරාධී ලෙස විශ්වාසය කඩ කිරීම, දේපළ සාපරාධී පරිහරණය, රැවටීම සහ බලය හෝ අධිකාරය, රාජ්‍ය සම්පත් හා වරප‍්‍රසාද අනිසි ලෙස භාවිතා කිරීම හෝ අවභාවිතය සහ එකී වරදවල් සහ වැරදි කි‍්‍රයාවන්ගේ ප‍්‍රතිඵලයක් ලෙස රාජ්‍ය වත්කම්වලට, රාජ්‍ය ආදායමට බරපතළ අලාභ හෝ හානි සිදුවී තිබීම සම්බන්ධයෙන් දේශපාලන පදවි දැරූ හෝ තවදුරටත් දරමින් සිටින පුද්ගලයන්ට සහ රජයේ සේවකයින් හා ව්‍යවස්ථාපිත මණ්ඩලයන් හි නිලධාරින් වශයෙන් සේවයේ නිරත ව සිටි සහ තවදුරටත් සේවයේ නිරතව සිටින පුද්ගලයන්ට එරෙහි බරපතළ චෝදනා පිළිබඳව මහජන පැමිණලි, තොරතුරු සහ සෙසු කරුණු කැඳවීම සහ ඒවා කඩිනම් අපක්ෂපාතී, පුළුල් විමර්ශනයකට ලක් කිරීම මෙම කොමිෂන් සභාවේ කාර්යභාරයයි.

එබඳු වරදවල් සම්බන්ධයෙන් නිතී ප‍්‍රකාරව වගකිව යුතුව සිටි හෝ වගකිව යුතු වන පුද්ගලයන් හඳුනා ගැනීම හා සාක්ෂි එක් රැස් කිරීම ද මෙම කොමිෂන් සභාව හරහා සිදු වේ.

මෙම ජනාධිපති පරික්ෂණ කොමිෂන් සභාවේ සභාපතිවරයා වශයෙන් විශ‍්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතා කටයුතු කරන අතර, විශ‍්‍රාමික මහාධිකරණ විනිසුරු සරෝජනී කුසලා වීරවර්ධන, විශ‍්‍රාමික විගණකාධිපති පස්දුන් කෝරළේ ආරචිචිගේ පේමතිලක, විශ‍්‍රාමික අමාත්‍යාංශ ලේකම් ලලිත් ආර්. ද සිල්වා, විශ‍්‍රාමික නියෝජ්‍ය පොලිස්පති එම්.කේ.ඩී. විජය අමරසිංහ යන මහත්ම මහත්මීන් එහි සෙසු සාමාජිකයෝ වෙති.

එහි පළමු අතුරු වාර්තාව මාස 03 ක් ඇතුළතත්, නිගමනයන් හා නිර්දේශයන් ඇතුළත් අවසන් වාර්තාව මාස 06 ක් ඇතුළතත් ජනාධිපතිවරයා වෙත  ඉදිරිපත් කිරීමට උපදෙස් දී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here