සුනඛයෙකුටත් SMS News Alert ගැසූ වල පල්ලට යන අපේ රටේ ප්‍රවෘත්ති කලාව

0
25
සුනඛයෙකුටත් එස්.එම්.එස්. නිවුස් ඇලර්ට් ගැසූ වල පල්ලට යන අපේ රටේ ප්‍රවෘත්ති කලාව

නිවසක කූඩු කර සිටි සුනඛයෙකු භූමි තෙල් දමා ගිනිතබා මරණයට පත්කිරීමේ සිදුවීමක් පසුගිය දිනවල මෙරට මාධ්‍ය විසින් ජාතික මට්ටමේ පුවතක් බවට පත්කර තිබුණි. එය රූපවාහිනී මාධ්‍යවල ප්‍රධාන පුවත් විකාශ තුළ මෙන්ම ප්‍රවෘත්ති වෙබ් අඩවි තුළ ද වඩා වැඩි අවකාශයක් වෙන් කරමින් ප්‍රචාරය කෙරිණි. එපමණක් නොව ඇතැම් මාධ්‍ය ආයතන ඒ සම්බන්ධයෙන් එස්.එම්.එස්. නිවුස් ඇලර්ට් පවා ක්ෂණිකව ප්‍රචාරය කර හරිමින් ඒ දිනවල රටේ ජනතාවට වඩාත් වැදගත්ම පුවත බවට එය පත් කළේය. මෙම සිදුවීම අපේ රටේ ජනමාධ්‍යවල ප්‍රවෘත්ති ප්‍රවර්ධනය කිරීමේ එක් නිදසුනකි. එසේම ප්‍රවෘත්තිවල ගුණාත්මක තත්ත්වය මෙන්ම ප්‍රවෘත්තියක් පොදු සමාජ යහපතට හේතුවීම කෙසේ වෙතත් ප්‍රවෘත්ති අලෙවි කරමින් මාධ්‍ය ආයතන හුදු පැවැත්ම උදෙසා ප්‍රවෘත්ති අවභාවිතයට ගනිමින් කටයුතු කිරීම සම්බන්ධයෙන් දහසකුත් සිදුවීම් අතරින් තවත් එක් සිදුවීමක් පමණි.

මට අනුව නම් සුනඛයා සම්බන්ධ එම පුවත ජාතික මාධ්‍ය තුළ ප්‍රධාන පුවතක් බවට පත් කිරීමට තරම් හෙබි ජාතික වැදගත්කමකින් යුතු පුවතක් නොවේ. එහෙත් අපේ රටේ මාධ්‍ය තුළ ප්‍රවෘත්ති නිර්මාණය කිරීමේ දී යොදා ගන්නා මූලික සාධකයක් වන ජනතාව තුළ සංවේදී හැඟීම් ඉස්මතු කිරීමට එම සිදුවීම යොදා ගැනීමට හැකිවීම හේතුවෙන් එය ජාතික මට්ටමේ පුවතක් බවට පත්ව වඩාත් සංවේදී ආකර්ෂණීය පුවතක් ලෙස ජාතික තලයේ මාධ්‍ය අවකාශය පමණක් නොව සමාජ මාධ්‍ය අවකාශය ද අත්පත් කර ගැනීමට සමත්විය. එබැවින් එම පුවත අපේ රටේ ප්‍රවෘත්ති කර්මාන්තයේ ගුණාත්මකභාවය පිරීහීම සම්බන්ධයෙන් මෑතක පෙන්වා දිය හැකි වඩාත්ම ගැළපෙන පුවතක් ලෙස මම දකිමි.

මේ දක්වා ඇත්තේ හිරු මාධ්‍ය ජාලයේ Gold FM සහ සිරස මාධ්‍ය ජාලයේ News 1st, News Alerts සේවාවන් වලින් ලැබුණු පණිවුඩ පමණි. නමුත් තවත් බොහෝ News Alerts සේවාවන් වලින් මේ පණිවුඩ ලැබී තිබුණි.

මාගේ මෙම අදහස් දැක්වීම අසරණ සුනඛයෙකු පිළිබඳ පුවතකට විරෝධය දැක්වීමක් ලෙස පටු සීමාවකින් අර්ථ දක්වා නොගන්නා ලෙසද පවසමි. එනම් සුනඛයා පිළිබඳ පුවත අපේ රටේ වර්තමාන ප්‍රවෘත්ති කලාවේ පිරීහීම සම්බන්ධයෙන් උදාහරණයක් දැක්වීම සඳහා යොදා ගත් පුවතක් මිස සුනඛයෙකු ගිනි තබා මරණයට පත්කිරීම අනුමත කළ යුතු බවට එමගින් මම කිසිසේත් ප්‍රකාශ නොකරමි. සුනඛයා නිකරුණේ අමානුෂික අන්දමින් මරණයට පත්කිරීම සම්බන්ධයෙන් මිනිසුන් සංවේදී වීම පිළිබඳ මම දහස් වතාවක් එකඟ වෙමි. එහෙත් එය ජාතික පුවතක් ලෙස මෙරට ජාතික මට්ටමේ මාධ්‍ය විසින් ගෙන හැර දැක්වීම පිළිබඳ මම දසදහස් වතාවක් විරුද්ධ වෙමි.

අපේ රටේ ප්‍රවෘත්ති කර්මාන්තයේ දෛනික ආකෘතිය තීරණය කරන්නේ මෙරට මාධ්‍ය ආයතන දෙක තුනක් විසිනි. ඔවුහු ඔවුන්ට කැමති පුවත් ඉදිරිපත් කරති. නොඑසේනම් පුවත් නිර්මාණය කරති. ඒවා හුදෙක්ම මාධ්‍ය න්‍යාය පත්‍ර අරමුණු කර ගනිමින් නිර්මාණය කරන පුවත් මිස ජනතාවට හෝ සමාජයට වැදගත් නොවන කිසිදු ගුණාත්මක බවකින් තොර ජාතික පුවතකට ලබා දිය යුතු වැදගත්කම ලබා දීමට කිසිසේත් නුසුදුසු හුදු ඕපාදූප ආකෘතියේ විකිණීමට හැකි තොරතුරු රැසක් පමණි. ඒවා දෛනිකව පරිභෝජනය කිරීම තුළින් ජනතාවට, සමාජයට මෙන්ම රටට අත්වන කිසිදු සෙතක් නොමැත.

මෙරට මාධ්‍ය ආයතන ගණනාවක ප්‍රවෘත්ති විකාශවලට සම්බන්ධව මා සේවය කර ඇති බැවින් මා මෙහිදී සාකච්ඡා කරන කරුණට අදාළ වන මාගේ මතකයට නැගෙන එක් පුවතක් පිළිබඳ මෙසේ ප්‍රකාශ කළ හැකිය. එනම් මෙරටේ ජනප්‍රිය පෞද්ගලික රූපවාහිනී නාලිකාවක දහවල් පුවත් විකාශයේදී ඉදිරිපත් කිරීමට තෝරාගත් පුවතක් වූයේ නිවසකට පැමිණි ගැරඬියෙකු දැලක පැටලී සිටීමේ සිදුවීමයි. රටේ ප්‍රධාන පෙළේ නාලිකාවක ප්‍රධාන පුවත් විකාශයක වටිනා ගුවන් කාලය දැලක පැටලුණු ගැරඬියෙකු වෙනුවෙන් වෙන් කිරීම සුදුසු යැයි තීරණය කරන මාධ්‍ය කර්මාන්තයක් තුළ ගුණාත්මක ප්‍රවෘත්ති සම්බන්ධයෙන් සුළු හෝ අපේක්ෂාවක් තැබීමේ අර්ථ විරහිත බව අමුතුවෙන් පැවසිය යුතු නැත.

මෙහිදී තවත් එක් වැදගත් කරුණක් පැවසිය යුතුය. එනම් මෙසේ ගුණාත්මක බවින් තොර පුවත් විකාශය කිරීම සඳහා අපේ රටේ විද්‍යුත් මාධ්‍ය අවභාවිත කරමින් ඉන්නේ ජනතාව සතු පොදු දේපළක් වන සංඛ්‍යාත පද්ධතියයි. ඒ පිළිබඳ කිසිදු තැකීමක් මාධ්‍ය ආයතනවලට නොමැත. තම මාධ්‍යවල අරමුණු සාධනය කර ගැනීමේ අරමුණින් ඔවුන්ට වාසිදායක පුවත් ප්‍රවර්ධනය කරමින් අවාසිදායක පුවත් අවවර්ධනය කරමින් මෙසේ සූදු කෙළමින් සිටින්නේ මහ ජනතාවගේ පොදු දේපළක් සමඟ බව මාධ්‍ය ආයතන තරයේ අවබෝධකර ගත යුතුය.

අවසාන වශයෙන් පැවසිය යුතු වන්නේ ප්‍රවෘත්ති මැදිරිවල පසුබිම ජාත්‍යන්තර ප්‍රමිතියෙන් නිර්මාණය කිරීම හෝ ප්‍රවෘත්ති විකාශ තුළ AR (Augmented Reality) තාක්ෂණය යොදාගැනීම මගින් හුදු තාක්ෂණික සංවර්ධනයක් අපේ රටේ මාධ්‍ය තුළ ඇතිවී ඇති බව දැකිය හැකි වුවත් මෙතෙක් මාධ්‍යවල ප්‍රවෘත්ති තුළ අන්තර්ගතය අතින් කිසිදු ගුණාත්මක සංවර්ධනයක් ඇතිවී නොමැති බවයි. ඒ සඳහා බලාපොරොත්තු තැබිය හැකි යම් යම් උත්සාහයන් දැරීමට විවිධ පාර්ශව විවිධ අවස්ථාවල කටයුතු කළ ද මාධ්‍ය ආයතනවල බලපෑමෙන් ඒවා යටපත් වීම මිස ඒවා යථාර්ථයක් බවට පත් නොවුණි. එබැවින් ගුණාත්මක මාධ්‍ය භාවිතයක් සඳහා ජාතික අරගලයක් ආරම්භ කිරීමේ කාලය දැන් පැමිණ ඇත.


සුරෝෂන ඉරංග

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here