සිංහරාජයේ සත්ත්ව ජාන‍ සොරකමට 05 ක් මාට්ටු

0
20
සිංහරාජ සත්ත්ව ජාන‍ සොරකමට 05 ක් මාට්ටු

කෘමීන් හා සමනලුන් වර්ග රැසක් නීති විරෝධි ලෙස මෙරටින් රැගෙන යාමට උත්සාහ කළ චෙකොස්ලෝවෙකියානු ජාතිකයන් පස් දෙනෙකු සිංහරාජ වන රක්‍ෂිතයට අයත් කුඩව ප්‍රදේශයේ දී අද අත්අඩංගුවට ගෙන තිබේ.

වන සංරක්‍ෂණ නිලධාරීන් පවසන්නේ, ශ්‍රී ලංකාවේ වනාන්තර ආශ්‍රිතව මෙතෙක් අල්ලා ගෙන තිබූ විශාලතම කෘමීන් තොගය මෙය බවයි. කලවාන අඩවි වන නිලධාරීන් කණ්ඩායමක් ඊයේ (02) උදේ 10.00ට පමණ සිංහරාජ වැද්දාගල, කුඩව ප්‍රදේශයේ දී විදේශිකයන් පිරිස පරීක්‍ෂා කිරිමේ දී ඔවුන් සන්තකයේ සිටි කෘමීන් රැසක් සොයා ගෙන තිබේ.

කෘමීන් 234 දෙනෙකු සහ සිංහරාජයට ආවේණික සමනල වර්ගවලින් 50%ක් පමණ සොයාගත් බව, රත්නපුර, කලවාන අඩවි වන නිලධාරී ආර්.එම්.එල්.එම්. රත්නවීර මහතා ප්‍රකාශ කළේය. මෙම විදේශිකයන් රාත්‍රී කාලයේ විදුලි බුබුලු යොදා කෘමි සතුන් ඒ වෙත ආකර්ෂණය වීමට සලස්වා අල්ලා ගෙන විවිධ උපකරණ මගින් සතුන් සුරක්‍ෂිත බහාලුම් තුළට ඇතුළු කර විදේශයට යැවීමටයි උත්සාහ දරා ඇත්තේ.

ලැප්ටොප් පරිගණක, හිසේ පළඳින විදුලි පන්දම්, ලේසර් විදුලි පන්දම් මෙන්ම ඩ්‍රෝන කැමරාවක් ද කෘමීන් සහ සමනලුන් ළඟට යාමට යොදා ගන්නා විශේෂ ඇඳුමක් ද ඔවුන් සන්තකයේ තිබී සොයාගනු ලැබීය. සැකකරුවන් අද පස්වරුවේ රත්නපුර මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබිණ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here