සිංහල බෞද්ධ මවුවරුන් 4000ක් වඳ කිරීම පට්ටපල් බොරුවක්

0
20

සිසේරියන් සැත්කම්වලින් පසු – තව්හිද් ජමාත් දොස්තර සිංහල බෞද්ධ මවුවරුන් හාරදහසක් වඳ කරලා

– දිවයින, 2019 මැයි 23

2018 ජුනි 09 දින අඟහරු ග්‍රහයා මත ගඩොල් තොගයක්‌ තිබෙන බවද, 2016 අප්‍රේල් 13 දින “ජෝන් ඩෝ” නැමැත්තෙක් පැනමා කළු සල්ලි සොයාගත් බවද රටට හෙලි කරමින් පුවත් පත් ක්ෂේත්‍රයේ ජය කෙහෙලි නැංවූ දිවයින පුවත්පත විසින් අද දින සුවිශේෂ හෙලිදරව්වක් කර ඇත. මේ හෙලිදරව්ව ජාතික ආරක්ෂාවට, රටේ ආර්ථිකයට, පවත්නා දේශපාලන වියවුලට කෙතරම් බලපෑමක් එල්ල කරාවිදැයි සිතාගැනීමටත් නොහැක. කෙසේ නමුත් ඒ ගැන මේ ටික නොකියා බැරිය.

මේ පුවතට පදනම් වන කිසිදු පිලිගත හැකි මූලාශ්‍රයක් නැත. කනින් කොනින් ඇසූ කතා මත පදනම්ව පමණක් සංස්කරණය වුන මේ ප්‍රවෘත්තිය මුල්පිටුවේ සිරස්තලයක් ලෙස දැමීම දිවයින ඇතුලු වත්මන් මාධ්‍ය පරපුර අතේ තිබෙන න්‍යාය පත්‍රය මනාව පැහැදිලි කරන්නකි. එම පුවත අනුව යමින් පේජ් මල්ලිලා රංචුවක් සහ ගොසිප් වෙබ් රැසක් දැනටමත් මෙය දේව වාක්‍යයක් මෙන් ප්‍රමෝට් කරනු දක්නට ලැබේ. 13 වෙනිදා ඇතිවුන තත්වයට පෙර දින කීපයකදී මාධ්‍ය හැසිරීම ගත් කල මෙවැනිම ජනතාවගේ ලොමු බලෙන් දැහැගන්වන මාධ්‍ය රංගනයන් දක්නට ලැබුණි. එය කෙලවර වුනේ භින්නෝන්මාදය රෝගී තත්වයට සමාන අනිසි බියක් එන්නත් කරමිනි. බොහොමයක් හුදී ජනයා එවකට රාත්‍රියේ නින්දට ගියේ එහා ගමේ මුසල්මානුවන් පැමිණ තමන් ක.ඩු වලින් ක.පා දමනු ඇතැයි බියෙනි.

එම අවදානමට අමතරව මේ වගකීම් විරහිත මාධ්‍ය භාවිතය නිසා රටේ සෞඛ්‍ය සේවය කෙරෙහි ජනතාවගේ තිබෙන විශ්වාසයට දරුණු ප්‍රහාරයක් එල්ල වී ඇත. කොපමණ අඩුපාඩු තිබුණත් රාජ්‍ය සෞඛ්‍ය සේවයේ තිබෙන වගකීම් සහිත භාවය ගැන ලොකු විශ්වාසයක් මහජනතාවට ඇත. ” කාන්තාවට නොදැනී සූක්ෂම වඳ සැත්කම් කරන ” වැනි බියක් ජනිත කිරීම යනු වගකීම ගැන තිබෙන විශ්වාසය පලුදු කිරීමකි.

අනෙක් පහර එල්ල වන්නේ රටේ පවුල් සැලසුම් වැඩසටහන් වලටය. ක්ෂේත්‍රයේ වැඩ කරන උදවිය මේ පවුල් සැලසුම් වැඩසටහන් කරගෙන යන අපහසුව දනිති. මේ වැඩසටහන් වලට ලොකුම බාධාව එල්ල වන්නේ පුරුෂ පාර්ශවයෙනි. පෙති, එන්නත්, සම යටින් දමන ඉම්ප්ලාන්ට්, ලූප්, ව්‍යන්ධකරණය ආදී පවුල් සැලසුම් ක්‍රම එකිනෙකට වෙනස්‍ ය. මේවා නිර්දේශ කරන්නේ එක් එක් සේවා ලාභියාට සාපේක්ෂව ය. උදාහරණයකට අලුත විවාහක යුවලකට පෙති නිර්දේශ කලද දරුවෙක් උපන් පසු ඊලඟ ගර්භනීභාවය ලබන තෙක් අවුරුදු දෙකකවත් පරතරයක් තබා ගැනීම උදෙසා ඉම්ප්ලාන්ට් වැන්නක් භාවිත කරයි. තවත් දීර්ඝ කාලීන නමුත් තාවකාලික වන උපත්පාලන සැල්ස්මකට යන්නේ නම් ලූප් වැන්නක් භාවිත කරයි. ලූප් භාවිත කරන අයෙක්ට නැවත ගර්භනී වීමට අවශ්‍ය නම් ලූපය ඉවත් කර ඒ සඳහා යොමු විය හැක. ස්ථීර උපත් පාලන ක්‍රමය වන්නේ ව්‍යන්ධකරණ සැත්කම් පමණි. වඳ සැත්කමක් කල අයෙක්ට වුවද අවශ්‍ය නම් යම් තත්ව යටතේ නැවත ගර්භනීභාවයට යොමු විය හැක. මේ කරුණු මෙසේ වුවද වර්තමාන සමාජයේ, විශේෂයෙන් ගම්බද ප්‍රදේශ වල මේ ගැන තිබෙන නිවැරදි දැනුමට වඩා ඇත්තේ මිත්‍යා විශ්වාසය. එයත් බහුලව දක්නට ලැබෙන්නේ කාන්තාවන්ට වඩා ස්වාමි පුරුෂයන්ට ය. ඔවුහු සිතන්නේ මේ තාවකාලික උපත් පාලන ක්‍රම වලින් පවා තම බිරිඳ ස්ථීර වඳ තත්වයට පත්කල හැකියි කියා ය. බිරිඳගේ සහ තමාගේද ලිංගික ආශාවන් යටපත් කරනු ඇති කියා ය. බිරිඳට අනියම් සම්බන්ධතාවන් පැවැත්වීම සඳහා මේ ඖශධ අනුබලයක් වනු ඇත කියාය. මේවා විහිලු ලෙස පෙනුනත් ඔවුන් සැබෑවටම අදහන්නේ ඒ කරුණුය. සෞඛ්‍ය අංශ වලින් ලබා දෙන කරුනු වලට වඩා එහා නිවසේ මිතුරන්ගෙන් ලැබෙන කටකතා කෙරෙහි ඔවුහු විශ්වාසය තබති. තඹ වලින් සෑදූ ලූප් වලට අකුණු ආකර්ෂණය වන බව විශ්වාස කරන නිසා ඒවා ප්‍රතික්ෂේප කරන සැමියන්ද සිටී.

තමන් කන කෑම එකේ කලවම් කර ඇති ද්‍ර‍ව්‍යයක් නිසා තමන් වඳ වනු ඇති බවට විශ්වාස කරන, කාන්තා යට ඇඳුම් වල තිබෙන ජෙල් එකක් නිසා බිරිඳ වඳ වන බවට විශ්වාස කරන ජනතාවක් අතරට මෙවන් ප්‍රවෘත්තියක් පැතිරවීම නිසා වෙන්න නියමිත අනතුර ගැන වෙනම අධ්‍යනයක් කල යුතුය. ඊට පෙර නිසි බලධාරීන්, වෘත්තීය සංගම් මේ ගැන හැකි ඉක්මනින් ප්‍රකාශයක් කල යුතුය. මෙය අසත්‍යයක් වුවහොත් දිවයිනට එරෙහිව නඩු දැමිය යුතු ය. වන්දි බැරි නම් පවුල් සෞඛය ප්‍රවර්ධනය වෙනුවෙන් ප්‍රචාරණ ඉඩක් හෝ ලබාගත යුතුය.


වෛද්‍ය හසින්ද උදලාගම

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here