‘බොදුබල සේනා’ මහින්ද අත්හැර, සිරිසේන සරණං ගච්ඡාමි!

0
27

අධිකරණයට අපහාස කිරීම, කාන්තාවකට ප්‍රසිද්ධියේ අවමන් කිරීම හා මරණ තර්ජන සිදුකිරීම වැනි චෝදනා යටතේ වරදකරුවකුව සිරදඬුවම් විඳි ගලගොඩ අත්තේ ඥාණසාර චීවරධාරී තැන ජනාධිපති සමාව යටතේ නිදහස ලැබීය.

මෙසේ ජනාධිපති සමාව ලබාදෙන ලෙස චීවරය දේශපාලන ප්‍රචාරක අවශ්‍යතා සදහා යොදාගත් භික්ෂුන් විසින් මින් පෙර කිහිප වරක්ම ජනාධිපතිවරයාගෙන් ලිඛිතව හා වාචිකව ඉල්ලා තිබිණි. මැයි 18 වැනිදා වෙසක් උත්සවය වෙනුවෙන් සිරකරුවන් 762කට වැලිකඩ බන්ධනාගාරයේදී ජනාධිපති සමාව ලබා දීමේදී ඥාණසාර භික්ෂුවටද සමාව ලැබේ යැයි අපේක්ෂා කෙරිණි. කෙසේවෙතත් එම අවස්ථාවට සහභාගී වූ ජනාධිපතිවරයා ඉන් අනතුරුව වැලිකඩ බන්ධනාගාර රෝහල වෙත ගොස් ඥානසාර භික්ෂුව සමග මිනිත්තු 45 කට ආසන්න කාලයක් සාකච්ඡාවක යෙදී තිබුණි. එහිදී ඉදිරි ජනාධිපතිවරණයට තරග කරන ජනාධිපතිවරයාට බොදුබල සේනා සංවිධානයේ සහාය හිමිවන බවට ඥානාසාරගෙන් පොරොන්දුවක් ලබා ද ඇති බවට දේශපාලන අංශවල කතාබහක් ඇති විය. ඒ අනුව මින් ඉදිරියට බොදුබල සේනා සංවිධානය රාජපක්ෂවාදී ක්‍රියාකාරිත්වයකට වඩා මෛත්‍රිපාල හිතවාදී වනු ඇති බවට අනාවැකි පළව තිබේ.

දේශපාලන වශයෙන් ජාතිවාදී මත ප්‍රකාශ කරමින් මහින්ද රාජපක්ෂ පාලනය යටතේ මුස්ලිම් විරෝධයක් අවුලුවමින් කටයුතු කළ ඥානසාර යනු බෞද්ධ භික්ෂුවක් නොවන බවත් මැරයකුට සමානකමක් මිස පැවිද්දකුට සමාන චර්යාවක් ඔහුගෙන් දක්නට නොලැබෙන බවටත් චෝදනා එල්ල විය. බෞද්ධ සමාජයේ අයුක්තිය අසාධාරණයට එරෙහි වූ භික්ෂුන් හා සසදමින් බෞද්ධ පිළිවෙතට විරුද්ධ චීවරධාරියකු භික්ෂුවක් ලෙස සැළකීම ලංකාවේ සමාජයේ ප්‍රශ්නයක් බවට ඇතැම් බෞද්ධ විද්වතුන්ද අදහස් පළ කරන ලදී.

කෙසේවෙතත් අප්‍රේල් 21 වැනිදා අන්තවාදී ප්‍රහාරයක් සිදුවූ පසුව එය වළක්වා ගැනීමට කිසිවක් නොකළ බවට චෝදනා ලැබූ ආරක්ෂක ඇමතිවරයා ලෙස ජනාධිපතිවරයාම එවැනි අන්තවාදයකට පාදක වූ භූමිකාවක සිටි මෙම චීවරධාරී තැනට සමාව දීම සරදම් සහගතය.

අධිකරණයට අපහාස කිරීම ඇතුලුව චෝදනා හතරකට වරදකරු කර තිබූ මෙම භික්ෂුව බරපතල වැඩ සහිතව වසර 19ක සිරදඬුවමක් 2018 අගෝස්තු 18 වැනි දා නියම කෙරුණේ වසර හයකින් ගෙවීයන පරිදි ලිහිල් කරමිනි.

මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා 2015 ජපානයේ කළ සංචාරයකට ඥානසාර රහසිගතවම සහභාගි වූ බව අනාවරණය වීමෙන් සිරදඩුවම විදින්නට සිදුවුවද ඉක්මනින්ම ජනාධිපති සමාව ලැබේ යැයි අපේක්ෂා කෙරිණි. විශේෂයෙන්ම බොදුබල සේනා සංවිධානය මහින්දගේ දේශපාලනයට මහයෝගය දැක්වීමෙන් අමාරුවේ වැටුණු බවද ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරමින් ඥානසාර මෛත්‍රිපාලගේ දේශපාලනයට සමීප වූයේ එම කාලය තුළය.


lankaviews වෙබ් අඩවියෙන් උපුටා ගන්නා ලද අතර ඉතා සුළු සංස්කරණයක් සිදුකරන ලදී

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here