ශ්‍රී ලාංකීය LGBTIQ ප්‍රජාවගේ කළා උළෙල මෙවරත් උත්කර්ෂවත්ව පැවැත්විය….

0
23

ලොවපුරා වසන සමරිසි, ද්විරිසි, සංක්‍රාන්ති සමාජභාවී, අන්තර්ලිංගික හා ප්‍රශ්ණභාවී (LGBTIQ) ප්‍රජාව සමරන අභිමානී (PRIDE) මාසයට සමගාමීව ශ්‍රී ලාංකීය LGBTIQ ප්‍රජාව සාර්ථක 15 වෙනි වරටත් “කොළඹ අභිමානය” (Colombo PRIDE) විචිත්‍රවත් අන්දමින් සැමරීම සිදුකරයි.

කොළඹ අභිමානය සැමරුමට අනුයුක්ත ගායන හා නර්තන ප්‍රසංගය (Music and Dance Festival) ජූනි මස 13 වන දින සන්ධ්‍යා යාමයේ බොරැල්ල නාමෙල් මාලිනී පුංචි තියටර් හීදී අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වූ අතර, පුරා පැය 3ක කාලයක් දක්වා දේදුනු වර්ණයෙන් ඒකාලෝක වූ එම ප්‍රසංගයේ ශ්‍රී ලාංකික තරුණ LGBTIQ සොයුරු සොයුරියන්ගේ ගායන හා නර්තන කුසලතා එළි දැක්විණ.

කොළඹ අභිමානය ගායන හා නර්තන ප්‍රසංගය අති සාර්ථකව පැවැත්වූ බවට වාර්තා වේ. උණුසුම් ප්‍රේක්ෂක ප්‍රතිචාර මධ්‍යයේ තම ගායන හා නර්තන කුසලතා එළි දැක්වූ ශ්‍රී ලාංකික LGBTIQ ප්‍රජාව කාලය, කෙණහිලිකම්, ප්‍රචණ්ඩත්වය හා යල්පැන ගිය බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදී පාලන ක්‍රමයෙන් උරුම වූ සාපරාධීකරණ නීති හමුවේ වැළලී යන ශ්‍රී ලාංකික කුයර සංස්කෘතියත් (queer culture), ඔවුන්ගේ ප්‍රජා අයිතිවාසිකම් පිළිබඳවත් කලාත්මක දෘෂ්ඨිකෝණයකින් යලි ආවර්ජනය කරන ලදී. කොළඹ අභිමානය ගායන හා නර්තන ප්‍රසංගය ශ්‍රී ලාංකික LGBTIQ ප්‍රජාව හා LGBTIQ නොවන ප්‍රජාව අතර පවතින සංහිඳියාව ශක්තිමත් කළ බව මොනවට ඔප්පු කරන ලදී.

ප්‍රසංගය නැරඹීම සඳහා ප්‍රජා පවුල් වල සාමාජිකයන්, හිතමිතුරන්, ප්‍රජා මූලික සංවිධාන, ස්වාධීන මානව හිමිකම් ක්‍රියාකාරීන්, ශ්‍රී ලාංකික LGBTIQ ප්‍රජාවට නන් අයුරින් සහයෝගය දක්වන දෙස් විදෙස් පුද්ගලයන්, හා විදෙස් තානාපති කාර්යාල නියෝජිතයින් කිහිප දෙනෙක් ම සහභාගී වන ලදී. ප්‍රසංගය ආරම්භ වී පැය භාගයක් ගතවන්නට මත්තෙන් රංග ශාලාව ප්‍රේක්ෂක ජනතාව ගෙන් පිරී ඉතිරී ගිය බවට වාර්තා වේ.

අභිමානය, නැතහොත් ප්‍රයිඩ්, යන සංකල්පය මුල්ම වරට ඉදිරිපත් වූයේ 1969 වර්ෂයේ ජූනි මස ඇමරිකාවේ ස්ටෝන්වෝල් හි සමරිසි, ද්විරිසි, සංක්‍රාන්ති සමාජභාවී ප්‍රජාව ඉලක්කකර ගෙන එල්ල වූ මැරප්‍රහාරය නිමිති කොට ගෙනය. ප්‍රයිඩ් යනුවෙන් අදහස් කරන ලද්දේ පුද්ගලයකුගේ ලිංගික දිශානතිය හා ස්ත්‍රී-පුරුෂ සමාජභාවී අනන්‍යතාව ඉදිරියේ අභිමානයෙන්, සමානාත්මතාවයෙන්, වෙනස්කොට හෝ කොන්කොට සැලකීමට ලක් වීමෙන් හෝ ප්‍රචණ්ඩත්වයට ලක්වීමෙන් තොරව ජීවත් වීමේ අයිතිය ලොවට පෙන්වා දීමටය. ප්‍රයිඩ් මාසය තුළින් LGBTIQ ප්‍රජාවගේ කළඑලි බැසීම සංකේතවත් කරන අතර, ඔවුන් හට ඔවුන් මෙන් සමාජයේ ජීවත්වීමට ඇති අයිතිය, සමාජ ගරුත්වය හා සමාන අයිතීන් ලබා ගැනීමේ අයිතිය පෙන්වා දෙයි. ප්‍රයිඩ් මාසයට සමගාමීව ලොව පුරා LGBTIQ ප්‍රජාව උත්කර්ෂවත් අන්දමින් විවිධ උත්සව පවත්වන අතර, එම ප්‍රජාවට සංකේතවත් වූ දේදුනු වර්ණයෙන් යුත් තේමාවන් එම උළෙල ගනු ලබයි.

අභිමානී මාසයට සමගාමීව කොළඹ පිහිටි ඇමරිකානු හා කැනේඩියානු තානාපති කාර්යාල ශ්‍රී ලාංකික LGBTIQ ප්‍රජාවට සහය දක්වනු පිණිස දේදුනු කොඩි තම කාර්යාල ඉදිරිපිට ලෙල දක්වන ලදී.

කොළඹ අභිමානය සැණකෙළියට සමගාමීව තවත් උළෙල කිහිපයක්ම ඉදිරි දින තුළ පැවැත්වෙනු ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here