පාස්කු ඉරිදා බෝම්බ පුපුරුවාගත් සහරාන් හෂීම් යනු අපේම රටේ ඉලන්දාරියකු බවත් තමන් වුවත් මුස්ලිම් ජාතිකයකු වී ඉපදුනේ නම් සමහර විට සහරාන් කෙනෙකු වීමට ද ඉඩ තිබුණු බවත් බොදුබල සේනා සංවිධානයේ ලේකම් ගලගොඩ අත්තේ ඥානසාර හිමි පවසයි.
තමන්ට සාම්ප්‍රදායික මුස්ලිම් ජනතාව සමඟ ගැටුමක් නොමැති බව පැවසූ එහිමි මේ රට ගෙයක් නම් ඒ ගෙදර තුළට විෂ ඝෝර සර්පයකු ඇතුළු වී සිටින බවත් සියල්ලන්ම එකතු වී ඒ විෂ ඝෝර සර්පයා විනාශ කළ යුතු බවත් සඳහන් කළේය.
තමන්ගේ හිත මහණ කර ඇතත් ජාතික ආවේගයකදී තම භූමිකාව වෙනස් බවත් එහිමි ප්‍රකාශ කළේය.
එක දිගට එක ආගමක් ආරක්ෂා කරගෙන පැමිණි ලෝකයේ එකම ඓතිහාසික ජාතිය වශයෙන් තමන් අද යම් තිගැස්මකට ලක්වී සිටින බවයි එහිමි පැවසුවේ.
“මහණෙනි නුඹලා මිත්‍යාදෘෂ්ටියට එරෙහිවව්….!” යනුවෙන් බුදුන් වහන්සේ දේශනා කර ඇති බවත් එහිමි සඳහන් කළේය.
ගලගොඩ අත්තේ ඥානසාර හිමි මේ බව පැවසුවේ ඊයේ (15) ගාල්ල ප්‍රදේශයේ විහාරස්ථානයක පැවති ආගමික උත්සවයක් අමතමිනි.