මහානායකගේ ‘ගල් කතාවට’ විරෝධය….!

0
36

අස්ගිරි පාර්ශ්වයේ මහනායක වරකාගොඩ ශ්‍රී ඥානරතන හිමියන් විසින් පසුගිය දා කළ ප්‍රකාශයට දසතින්ම විරෝධතා එල්ල වන්නට පටන් ගෙන තිබේ. එම ප්‍රකාශය සම්බන්ධයෙන් පණිවුඩයක් පළ කරමින් අමාත්‍ය මංගල සමරවීර පවසා ඇත්තේ, “සියලු දෙනාට සාමය සහ ආදරය පතුරුවන ශ්‍රේෂ්ඨ දර්ශනයට එරෙහි ක්‍රියාකාරීත්වයට එරෙහිව දැන් ම සැබෑ බෞද්ධයින් එක්විය යුතු” බවය. “මිනිසකු ගල් ගසා මැරිය යුතු බව පැවසීමට කිසිදු බෞද්ධයකුට නොහැකි,” බව ද එහි දැක්වේ.

මේ අතර, අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා twitter පණිවුඩයක් පළ කරමින් සඳහන් කර ඇත්තේ, අස්ගිරි නාහිමියන් සිය ප්‍රකාශය “ඉල්ලා අස් කර ගත යුතු” බවය. බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලයේ බෞද්ධ සංස්කෘතික අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, ආචාර්ය චන්ද්‍රාණි මුණසිංහ අස්ගිරි මහනා හිමියන්ගේ ප්‍රකාශය සම්බන්ධයෙන් අදහස් පළ කරමින් පවසන්නේ බුදු දහමට අනුව ගල් ගහලා මරන්න කිසිම කෙනෙකුට අයිතියක් නැති බවයි.

මීට අමතරව සමාජ මාධ්‍ය තුළ ද අස්ගිරි මහ නාහිමියන්ගේ වෛරී ප්‍රකාශයට විරෝධය පල කරමින් විවිධ අදහස් පළ වෙමින් තිබේ.

පසුගිය ජූනි 15 වන දා දොඩම්වල දියකෙළිනාවළ කිත්සිරිමෙවන් රජ මහ විහාරස්ථානයේ පැවති උත්සවයක් අමතමින් “මාත් කියනවා මුස්ලිම් කඩවල්වලට යන්න එපා. ඒ කඩවල්වලින් කන්ට බොන්ට එපා කියලා. මොක ද ඒක ප්‍රසිද්ධ කාරණයක්. අපිට අපේ ජනතාවට වස විස දීපු අපේ ජනතාව විනාශ කරන්න උත්සහ ගත්ත පිරිසක් කියන එක ඉතා පැහැදිලිව පේනවා. ඒ නිසා, අපේ බෞද්ධ ජනතාව ආරක්ෂා වෙන්න ඕන. ඒ කඩවල්වලට යන්නත් එපා. ඒවා ගන්ඩත් එපා. ඒවා කාපු බාල පරම්පරාවට මං හිතනවා අනාගතයේ දූ දරුවො නැති වෙයි කියලා…. ඒ වගේම අර මාතලේ දොස්තර මහත්තයෙක් කරපු වීර ක්‍රියාව පිළිබඳව කවුරුත් දන්නවා. ලක්ෂ ගාණක් අපේ දරුවෝ විනාශ කරලා. ඔය වාගේ ජාති ද්‍රෝහීන්ට නිදහසේ ඉන්න දෙන්න හොඳ නෑ. අර කවුද උපාසක අම්මලා වගයක් කිව්වා ගල් ගහල මරන්න ඕන කියලා. මම ඒක කියන්නේ නෑ. නමුත් කළ යුත්තේ ඒක තමයි. ඒ විදිහේ වැරැද්දක් කළා නම් අපේ මනුස්සයෙක් අපි පෙති ගහලා දානවා. ඔය නීතිරීති ඕවා හරියන්නෙ නෑ” යනුවෙන් වෛරී ප්‍රකාශ සිදු කළ බව මීට පෙර මාධ්‍ය මගින් වාර්තා කර තිබුණි.


චතුර දිසානායක

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here