දේශපාලුවන් නිසා මුහුදට බිළිවන මීගමුවේ අසරණ මිනිසුන්ගේ දුප්පත් ගෙවල්

0
29

මේ තියෙන්නේ මීගමුවේ මෝරවල වෙරළ තීරය. ඇස් පනා පිට මුහුදට කඩා ගෙන වැටෙනවා. අසරණ මිනිස්සුන්ගේ ගෙවල් එක්කම.

සමුද්‍ර ඛාදනය එතරම්ම බලවත් වෙලා. පස් කුට්ටි පිටින් කැඩි කැඩි මහ මුහුදට හේදිලා යනවා. කළින් මිනිස්සු සෙල්ලම් කරපු සරුංගල් ඇරපු මුහුදු තීරයක් දැන් මුහුදට යට වෙලා. ඒ දවස් වල ගහපු බෝඩ් ලෑල්ලත් දැන් යට වෙන්න ලඟයි. හෙට අනිද්දා වෙනකොට ගෙවල් ටිකත් මුහුදටම තමයි. ඒ ගෙවල් වල අයිතිකාරයෝ තමන්ට තිබ්බ එකම බිම් අඟල දිය වෙලා අතුරුදහන් වෙනකං කරන්න දෙයක් නැතුව බලං ඉන්නවා.

අපේ සමහරු උජාරුවෙන් කතා කරනවා කොළඹ ඉදිවන චීන වරාය නගරය ගැන. Port City එක ගැන. මේ Port City එක හින්දත් අපේ මිනිස්සු දේශපාලනිකව දෙකට බෙදිලා. හදන්න මුල් වෙච්චි පැත්තට කැමති අය ඒක හරි කියනවා. නවත්වන්න හදපු කට්ටිය ඒකට වැරදි කියනවා. ඒ ඔක්කොම අදහස් එන්නේ රට ගැන හිතලම නෙවෙයි, තමන් ආසා කරන දේශපාලන කණ්ඩායම ගැන තියෙන කැමැත්ත නිසා.

Port City එක හදන්න ගොඩ කරන්න යන මුහුදු භූමිය අක්කර 1200ක් විතර ( එක එක තැන් වල එක එක ගණන්) මෙච්චර භූමියක්ගොඩ කරන්න හා එය පවත්වා ගන්න අවශ්‍ය වන මුහුදු වැලි ප්‍රමාණය වර්ග මීටර මිලියන 90 ක්. මේ ටික චීනා චීනයෙන් ගෙනාවේ නෑ. ඒ ටික ගත්තේ ලංකාවේ මුහුද හාරලා. ඔව් වර්ග කිමි 150 ක වපසරියකින් හාරලා ගත්තේ. බේරුවල සිට මීගමුවට යනකල් සීමාවේ මුහුද හාරලා වැලි පොම්පකරලා තමයි මේ නගරය ඉදි කරන්නේ.

එච්චර වැලි ගොඩක් මුහුදෙන් හාරනකං මුහුද නිකං ඉන්නේ නෑ. ඒ හාරපු වලවල් එයා නැවත පුරව ගන්න ඕනේ. ඒකට ලංකාවේ පොළොව හාරගෙන එයා පස් අරං යනවා. හරියට මහවැලි ගඟේ වැලි ගොඩ දානකොට ඉවුරු කඩං වැටෙනවා වගේ මුහුදත් තමන්ගේ ඇතුලේ හාරපු වැලි රික්තය ස්වාභාවිකව පුරව ගන්න ඕනේ. එයා ඉතිං දැන් මේක පටන් අරං.

මේක වැඩි පුරම බලපාල තියෙන්නේ මීගමුවට. මේ ඡායාරූප මීගමුවේ මෝරුවල වෙරළෙන්. වෙරළත් නෑ. ගෙවලුත් තව ටික දවසකින් නෑ. රට දිය කර කර, ඒ මිනිස්සුන්ගේ ගම් බිම්, ගෙවල් දොරවල් දිය කර කර මුහුද එයාගේ අඩුව පුරව ගන්නවා.

මේකට කියන්නේ Coastal Erosion කියලා. මුහුදු ඛාදනය. Port City එකේ Environmental Impact Report එක හෙවත් පාරිසරික වර්ථාවේ පැහැදිලිව කියලා තියෙනවා ගල්කිස්සේ සිට මීගමුවට යනකල් අධික මුහුදු කෑමක් ඇති විය හැකියි කියලා. ඉතිං මේ සිද්ද වෙන්නේ ඇස් පනා පිටම ඒ දෙය තමයි.

මේත් එක්කම වර්ග කිමි 150 කින් මුහුද හාරනකොට අපිට නොපෙනුනාට මුහුද යට සිදු වන කොරල් විනාශය, මාළුන් බෝවන ස්ථාන විනාශය , මුහුදේ සැර බාල කරපු ගල් පර වල අස්ථායිතාව ආදිය නිසා බේරුවල සිට මීගමුව දක්වා ජීවත් වන 15,000 ක පමණ ධීවර ජනතාවට විශාල තර්ජනයක් ඇතිවෙලා. ඒ විතරක් නෙවෙයි ජෛව විද්‍යාත්මකව කොරළ් පර වල ඇති වන විනාශය ඉතාමත්ම අධිකයි.

අපිට මෙ Port City ව්‍යාපෘතිය නිසා ලැබුනු Chinese Investment එක ඩොලර් බිලියන 1.5යි. නමුත් මේ වැලි තොගයේ වටිනාකමම ඩොලර් බිලියන 3.2 ක් යැයි ගණන් බලා තිබෙනවා.

මුදල් වටිනාකම් කෙසේ වෙතත්, මෙම ව්‍යාපෘතිය නිසා අපට සිදුවන පරිසර හානිය ඉන් ශ්‍රී ලංකාවේ අපිට ලැබෙන ආර්ථික ප්‍රතිලාභයට වඩා බොහෝ අහයක් ගන්න බවයි සැළකෙන්නේ.

දැන් මුහුද ගොඩ කිරීම් ඉවරයි. වැලි හාරලත් ඉවරයි. නවත්වන්න දෙයක් නෑ. නවත්වන්න පුලුවන් තත්වෙකත් අපි නෑ.

නමුත් මේ වගේ තීන්දු තීරණ ගන්න අදූරදර්ශි නායකත්වය අපිත් එක්ක තාම තියෙනවා. මේක පටන් ගත්ත මහින්දවත්, නොනවත්වා කරගෙන යන රනිල්වත්, මුකුත් නොදන්නා මෝඩ සිරිසේන වත් මෙ රටේ මේ විනාශයට වගකියන්නේ නෑ. අඩු ගානේ මෝරවල මිනිස්සුන්ගේ දුම් ගැන විල්ලවත් අහන්නේ නෑ.

බොරු පාරිසරික වාර්ථා හදලා, ඒවා තඹදොයිත්තුවකට ගණන් නොගෙන සංවර්ධනයේ නාමයෙන් මව්බිමේ ස්වෛරීභාවය චීනයට උගස් කරපු ඔය නායකයෝ රැළම මට නම් මේ රටේ දේශද්‍රෝහියන්. මේ නගරය නිසා අපිට වාසියි කියලා හිතං ඉන්න ඔය දේශපාලන කණ්ඩායම් පසු පස යන උගත් බුද්ධිමත් මිනිස්සුන්ට කියන්න මට දෙයක් නෑ. සහරාන් ලා එක්ක බෝම්බ පුපුර ගත්තෙත් උගත්තු. උන්ගෙයි මුන්ගෙයි වෙනසක් අපිට නෑ.

ඒ කෙසේ වෙතත් මෙම විනාශය නිසා උපන් රටේම උන් හිටිතැන් අහිමි වන මීගමුවේ මෝරවල මිනිස්සුන්ට, ජීවීකාව අහිමි වන 15,000 ක ධීවරයන්ට සාධාරණයක් ඉෂ්ඨ කරලා දෙන්න අපිට වගකීමක් තියෙනවා.

ඒවා කර ගත්තත් ස්වභාවදහම කෙළෙසන මේ පාලකයන්ට, ස්වභාවදහමේ නීතීයට අවනත නොවන ඔවුනට ලැබෙන දඬුවම ගැන ආගම දහම විශ්වාස කරන අපිට හිතා ගන්න පුලුවන්.

එතකං අපි සැදී පැහැදී උගත් බුද්ධිමත් විදිහට නැවත උන් වම පත් කරලා හරිමු.


පැතුම් කර්නර්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here