ගෝඨා ඝාතන කුමන්ත්‍රණ කතාව ප්‍රබන්ධයක්

0
32

ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ ඝාතනය කිරීමේ සූදානමක් පැවැතියේ යැයි පලෙයි රෝහලේ දී අත්අඩංගුවට ගත් වෛද්‍යවරයා පාපොච්ඡාරණය කළ බවට මේ දිනවල පැතිර යන තොරතුරුවල කිසිදු සත්‍යතාවක් නොමැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටී.

එසේම අත්අඩංගුවට පත් වෛද්‍ය නිලධාරී සින්නයියා සිවරූබන් නමැති සැකකරු මේ දක්වා කිසිම ප්‍රකාශයක් හෝ පාපොච්ඡාරණයක් කර නොමැති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාගේ නිවේදනයේ දැක්වෙයි.

මේ අතර රට පුරා එකවර තැනින් තැන සැක කටයුතු පුද්ගලයන් නොමැතිව ගිනි අවි, පැති බෝම්බ, පුපුරන ද්‍රව්‍ය හා පතොරම් අත්අඩංගුවට පත්වීම පිළිබඳව ද බරපතළ සැක මතු වන බව දේශපාලන නිරීක්ෂකයෝ සඳහන් කරති. පසුගිය 28දා කල්මුණේ මරඳමුණ ප්‍රදේශයෙන් එල්.ටී.ටී.ඊ. මතවාදය ප්‍රචාරය කළා යැයි පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට ගනු ලැබූ ගිනි අවි හා පුපුරන ද්‍රව්‍ය සොයා ගත් ස්ථාන ලෙස පුද්ගල නිවෙස් හෝ ආයතන නොවූ අතර සැකකරුවන් ද නොවීය. ඒවා බොහොමයක් හමු වූයේ පාළු ඉඩම් වැනි ස්ථාන වීම මෙම සැකය වර්ධනය කිරීමට හේතු වී තිබේ.

තමාව ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් පවතින බවට ගෝඨාභය රාජපක්ෂ විසින් පසුගිය දා ජනාධිපතිවරයාට දැනුම් දී තිබිණි. වත්මන් ජනපති මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඝාතනය කරන්නට සැලැස්මක් ඇති බවට පවසමින් පසුගිය සමයේ නාමල් කුමාර නමැති අයකු රට තුළ මහත්ආන්දෝලනයක් ඇති කළේය. නමුත්, ඒ පිළිබඳ පැවැති පරීක්ෂණවල දී එවැන්නක් පිළිබඳ කිසිදු සාක්ෂියක් හමු නොවූ අතර, සහකාර පොලිස් අධිකාරී ප්‍රසන්න අල්විස් ඝාතන කුමන්ත්‍රණයක් සම්බන්ධයෙන් පමණක් තොරතුරු වාර්තා වූ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට වාර්තා කර තිබුණේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here